Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අධිරාජිණියගේ පෙම්වතා හෙවත් රාත්‍රී අධිරාජයා

දහ අටවන සියවසේ රුසියාව පාලනය කළ අධිරාජිණියක අවිවාහකව සිය ජීවිතය ගෙවා දැමුවා. ඊට හේතු වූයේ එකල රජපවුලේ සිදු වූ පෙරළි හේතුවෙන් ඇයට සුදුසු විවාහයක් කරගැනීමට නොහැකි වීම යි. නමුත් ඇයට එක්තරා පෙම්වතෙකු සිටියා. ඉතින්, ඇතැමුන් ඔහුව නම් කළේ රාත්‍රී ආධිරාජයා යනුවෙන්. කොහොම නමුත් ඔහුගේ අවසන් ඉරණම නම් එක්තරා ආකාරයක ශෝචනීය වූ එකක්.

මහා පීටර් අධිරාජයාගේ මරණින් පසුව රුසියාවේ උදා වූයේ රාජ්‍ය පාලනය අතින් තරමක් ව්‍යාකූල කාලයක්. පීටර්ගේ පුත්‍රයා වූ අලෙක්සේයි පියාට එරෙහිව කුමන්ත්‍රණය කළ චෝදනා මත සිරගත කළ පසු මියයාම​ හේතුවෙන් පීටර්ගෙන් පසුව රාජ්‍යත්වය හිමි වන්නේ කාට ද යන ගැටළුවක් මතු වීම ඊට හේතුව වුණා. පීටර් එම ගැටළුවට විසඳුමක් ලෙස 1724 දී තම බිරිඳ වූ කැතරින්ව (යෙකතෙරීනා) සම අධිරාජ තනතුරට පත් කළා. ඒ අනුව 1725 දී පීටර් මියගිය පසු කැතරින් රුසියාවේ අධිරාජිණිය බවට පත් වුණා.

කියවන්න: රුසියාව බටහිරට යොමු කළ මහා පීටර් අධිරාජයා

කෙසේ නමුත්, පළමුවන කැතරින් අධිරාජිණියගේ සමයේ සිට දෙවන කැතරින් අධිරාජිණිය බලයට පැමිණීම දක්වා සමය රුසියාවේ රාජ්‍ය කුමන්ත්‍රණවලින් අනූන සමයක් වුණා.

බෑණාගේ ආදරය

පළමු කැතරින් අධිරාජිණියගේ මරණින් පසු 1727 දී බලයට පැමිණියේ මහා පීටර් අධිරාජයාගේ මුණුබුරා හෙවත් අලෙක්සේයි කුමාරයාගේ පුත්‍රයා වූ පීටර් අලෙක්සෙයෙවිච් කුමාරයා යි. ඔහු දෙවන පීටර් ලෙස අධිරාජ්‍යයා බවට පත් වූයේ වයස අවුරුදු 12 දී යි. නමුත් ඔහුව පාලනය කළේ රාජවාසලේ ප්‍රබල රදලයකු වූ අලෙක්සන්දර් මෙන්‍ෂිකොෆ් විසිනුයි. දෙවන පීටර්ට රජකම් කිරීමේ අවශ්‍යතාවයක් වූයේ නෑ.

මෙන්‍ෂිකොෆ් අසනීප වූ අවස්ථාවක දෙවන පීටර් තවත් රදලයකු වූ ඉවාන් දල්ගරූකොෆ්ගේ බලපෑමට හසු වුණා. මෙන්‍ෂිකොෆ් බලයෙන් විසිවූ අතර දල්ගරූකොෆ් පීටර්ව තම ග්‍රහණයට තදින් අල්ලා ගත්තා. මේ අතර පීටර් කෙරෙහි සැබෑ ඇල්මක් දැක්වූ එකම පුද්ගලයා වූ ඔහුගේ සොයුරිය නතාලියා මියගියා.

අපේ කතාවට මූලික වන අධිරාජිණිය මේ අවස්ථාවේ පීටර්ගේ ජීවිතය හා සම්බන්ධ වනවා. ඇය එලිසවෙතා (ඉංග්‍රීසි උච්ඡාරණය එලිසබත්) පෙත්‍රොව්නා කුමරිය යි. මහා පීටර්ගේ දියණිය වන ඇය දෙවන පීටර්ගේ නැන්දණිය යි. මේ වනවිට 14 හැවිරිදි වූ දෙවන පීටර් තුළ, එලිසවෙතා පෙත්‍රොව්නා පිළිබඳ ආලයක් ඇති වුණා. මේ සමයෙහි එලිසවෙතා 20 හැවිරිදි වුණා.

සාර් දෙවන පීටර් (Gregory D. Molchanov)

කෙසේ වෙතත් එලිසවෙතා විවාහ කරගැනීමට පීටර් අලෙක්සෙයෙවිච්ට අවස්ථාවක් වූයේ නැහැ. එක් අතකින් පවුල තුලම එවැනි සම්බන්ධයකට පල්ලිය අනුමැතිය දුන්නේ ද නැහැ. එමෙන්ම මෙවන් සම්බන්ධයක් පිළිබඳ කැමැත්තක් දල්ගරූකොෆ් පවුලට වූයේ නැහැ. ඔවුන් මේ වෙද්දීත් පීටර්ට බිරිඳක් තෝරාගෙන සිටියා. ඒ ඉවාන් දල්ගරූකොෆ්ගේ සොහොයුරිය වූ කැතරින් දල්ගරූකෝවා යි. එලිසවෙතා ඒ වෙද්දීත් ආරක්ෂක හමුදා නිලධාරියකු හා ආදරයෙන් බැඳී සිටිතැයි ඉවාන් දල්ගරූකොෆ් පීටර්ට දැනුම් දුන්නා. මේ අනුව පීටර් සහ කැතරින් අතර විවාහ ගිවිස ගැනීම සිදු වුණා.

නමුත් 1730 ජනවාරියේ දී පීටර් රෝගී ව මියගියා. ඔහු හා විවාහ ගිවිසගෙන සිටි කැතරින්ව ඔහුගේ අනුප්‍රාප්තිකයා කරන පරිදි වන අන්තිම කැමැත්තක් සඳහා, ඔහු ලෙඩ ඇඳේ සිටිය දී ඔහු ලවා අත්සන් ගැනීමට ඉවාන් දල්ගරූකොෆ් සැලසුම් කළා. නමුත් එසේ අත්සන් කිරීමට පෙර පීටර් මියගියා.

තෝරා නොගැනීම​

දෙවන පීටර් විසින් තම අනුප්‍රාප්තිකයකු නම් කර නොතිබූ හෙයින් මීළඟ සාර්වරයා තේරීම භාර වූයේ උත්තරීතර ප්‍රිවි කවුන්සිලයට යි. පළමු කැතරින් සහ දෙවන පීටර් යන දෙදෙනාගේ පාලන සමයන්හි රට ඇත්තෙන්ම පාලනය කළේ මෙම කවුන්සිලය යි. රාජ සභාවේ රදළයන් කිහිප දෙනෙකු එහි සාමාජිකයන් වුණා. පීටර් මිය යද්දී එහි සාමාජිකයන් හය දෙනෙක් සිටියා.

පීටර්ගේ මරණින් පසු රොමානොෆ් පවුලේ අවසන් පිරිමි පුරුක ද මියගියා. ඒ අනුව ප්‍රිවි කවුන්සිලය හැරුණේ එම පවුලේ කාන්තාවන් වෙත යි. එහිදී එලිසවෙතා ද රජකමට සුදුසු අයකු වුණත් ප්‍රිවි කවුන්සිලයට ඇය රජකමට පත්කිරීමට අවශ්‍ය වූයේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වූයේ තම සිතැඟි අනුව නවාගත හැකි අයෙක්.

මහා පීටර් අධිරජයාගේ රාජ්‍ය කාලයේ මුල දී ඔහුගේ අර්ධ සහෝදරයා වූ පස්වැනි ඉවාන් ඔහුගේ සම සාර්වරයා වුණා. මෙම ඉවාන්ට ආන්නා (ඉංග්‍රීසි උච්ඡාරණය ඇනා) නම් වූ දියණියක සිටියා. වයස අවුරුදු 17 දී වැන්දඹුවක වූ ඇය ජීවත් වුණේ වර්තමාන ලැට්වියාවේ රීගා නගරය අසළ වූ මැදුරක යි. ඇය මොස්කව්වලින් ඈත ජීවත් වූ, මොස්කව්හි මිතුරන් නැති, මුදල් ද නැති අයෙකු වුණා. ප්‍රිවි කවුන්සිලයේ තේරීම වූයේ ඇය යි.

අධිරාජිණී ආන්නා (Public Domain)

බලයට පැමිණි පසු ආන්නා අධිරාජිණිය කටයුතු කළේ ප්‍රිවි කවුන්සිලයට අවශ්‍ය පරිදි නොවේ. ඇය තමාට හිතවත් අය ළං කරගෙන තමන්ට අවශ්‍ය පරිදි පාලනය ගෙනගියා.

මෙහිදී එලිසවෙතා පෙත්‍රොව්නා පිළිබඳ කරුණු දෙකක් සිදු වුණා. එක් අතකින් ඇය තමාට සිටින ප්‍රධානම අභියෝගය බව ආන්නා දැන සිටියා. මහා පීටර්ගේ දියණිය ලෙස ඇයට සැලකිය යුතු නමක් තිබුණා. මේ අනුව ආන්නා නිරන්තරයෙන් එලිසවෙතා පිළිබඳ අවධානයෙන් කල් ගතකළා.

අනෙක් අතට එලිසවෙතාට හොඳ විවාහයක් කරගැනීමේ අවස්ථාව ඇයට නැති වුණා. දැන් පවතින තත්ත්වය අනුව ඇයට රජකමට සුදුසුකමක් වූයේ නැහැ. එහෙයින් ඇය විවාහ කරගැනීමට විශාල උනන්දුවක් රදල පවුල්වල හෝ රජ පවුල්වල වූයේ නැහැ. අනෙක එවන් විවාහයක් පිළිබඳ ආන්නා ද කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ අනුව එලිසවෙතා මාලිගයේම වියපත් වෙමින් කල් ගතකළා.

ආන්නාට අවශ්‍ය වුණේ තම පියාගේ පරපුර තුළම රජකම තබා ගන්න යි. ඒ අනුව ඇය​, ඇගේ සොයුරිය කැතරින් ගේ දියණිය වූ ආන්නා ලියෝපොල්ඩොව්නා විවාහ වී පුතෙකු ලදහොත් ඔහුට රජකම උරුම වන්නේයයැ යි තීරණය කළා. ආන්නා ලියෝපොල්ඩොව්නා විවාහ වී පුතකු ලද අතර ඉන් මාස දෙකකට පසු අධිරාජිණී ආන්නා මියගියා. ආන්නා ලියෝපොල්ඩොව්නාගේ පුත්‍රයා හයවන ඉවාන් ලෙස රජ වූ අතර ඇය ඔහු වෙනුවෙන් සාර් තනතුරෙහි වැඩ බැළුවා.

ඉන් අවුරුද්දකට පසුව එලිසවෙතා පෙත්‍රොව්නා ක්‍රියාත්මක වුණා. ඇය රජ මාලිගයේ ආරක්ෂක භටයින්ගේ සහාය ලබාගෙන බලය අල්ලාගත්තා.

එලිසවෙතා පෙත්‍රොව්නා (Vigilius Eriksen)

එලිසවෙතා පෙත්‍රොව්නා තම පාලන සමය තුළ තමන් බලයට ගෙන ආ ප්‍රෙයොබ්‍රසින්ස්කි රෙජිමේන්තුවට වගේම ඇගේ රදල මිතුරන් කිහිප දෙනකුටම පක්ෂපාතීව කටයුතු කළා. ඇගේ සමීපතමයා වූයේ අලෙක්සේයි රසුමොව්ස්කි නම් වූ තැනැත්තා යි.

අලෙක්සේයි රසුමොව්ස්කි

උතුරුදිග යුක්‍රේනයේ කොසැක් ගොවි පවුලක අයෙකු වූ අලෙක්සේයි රොසුම් උපන්නේ 1709 දී යි. ඔහු සිය ගමේ ගීතිකා කණ්ඩායමට බඳවා ගැනුණේ ඔහුගේ කටහඬ නිසා යි. ආන්නා අධිරාජිණියගේ සමයේ දී අලෙක්සේයිගේ ගම්මානය හරහා ගමන් කරමින් සිටි රජවාසල ප්‍රභූවරයෙකු ඔහුගේ හඬ පිළිබඳ පැහැදී ඔහුව රජවාසල දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමට බඳවා ගත්තා. ඔහුට එලිසවෙතා පෙත්‍රොව්නා හමුවන්නේ ඒ අයුරිනුයි.

රසුමොව්ස්කි සහ එලිසවෙතා පෙත්‍රොව්නා අතර සමීප සබඳතාවක් ගොඩ නැගුණ අතර 1741 දී එලිසවෙතා බලයට ගෙනා කුමන්ත්‍රණයේ දී ඔහු වැදගත් කාර්යයභාරයක් සිදු කළා.

රසුමොව්ස්කි ප්‍රබෝධමත්, සන්සුන්, සහ විශ්වාසනීය අයෙකු වුණා. ඔහු එලිසවෙතා අධිරාජිණියට ඉතා වැදගත් සහායක් බවට පත් වුණා. ඔවුන් දෙදෙනා එකිනෙකාට ඉතා සමීපව සිටි අතර ඔහු ඇයට යුක්‍රේන ආහාර පිළිබඳ රුචියක් ඇති කළා.

රසුමොව්ස්කිට රාත්‍රී අධිරාජයායැ යි ද ඇතමුන් නම් තබා ඇත්තේ ඔහු මෙසේ එලිසවෙතාට සමීප වී සිටි නිසා යි. නමුත් මෙම යෙදුම එතරම්ම නිවැරදි නැහැ. එලිසවෙතා බොහෝ රාත්‍රී වනතෙක් මාලිගයේ සාදවලට සහභාගී වූවකු වූවා මෙන්ම ඇය නින්දට යාමට ද ප්‍රමාද වුණා. රාත්‍රියේ මාලිගා කුමන්ත්‍රණ පිළිබඳ ඇයට වූයේ තද බියක්. එහෙයින් ඇය අළුයම වනතෙක් පිබිදී ඉන්නට හුරුව සිටියා. ඇය පිට පිට රැයවල් දෙකක එක් කාමරයක නින්දට ගියේ නැහැ. එමෙන්ම ඇගේ මලිගයේ සැලැස්ම නිතරම වෙනස් කෙරුණා. මෙකල රසුමොව්ස්කි ඇගේ ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් පසුවන්නට ඇති අතර ඔවුන් රහසේ විවාහ වූ බව ද සැකයක් පවතිනවා.

එහෙත් එලිසවෙතාගේ ජීවිතයේ අවසන් සමයේ දී රසුමොව්ස්කි සහ එලිසවෙතා අතර සබඳතාව පළුදු වුණා. ඊට හේතු වුණේ වෙනත් තරුණයෙක්. ඔහුගේ නම ඉවාන් ෂුවාලොෆ්.

ඉවාන් ෂුවාලොෆ්

ඉවාන්ව ඇය වෙත යොමු කළේ ඔහුගේ ඥාති සොයුරන් දෙදෙනා යි. ඔවුන් ඒ වෙද්දිත් එලිසවෙතාට සමීප වූ දෙදෙනකු වූ අතර ඇගේ උපකාරයෙන් විවිධ වාසි සලසාගෙන තිබුණා. එහෙත් ඉවාන් සහ එලිසවෙතා අතර මිත්‍රත්වයෙන් තමන් වෙත අමතර වාසියක් අත්කර ගැනීම යි ඔවුන්ට අවශ්‍ය වුණේ. නමුත් ඉවාන් ඔවුන්ට ඕනෑ විදියට කටයුතු කළේ නෑ. ඔහුට ද තනතුරු ආදිය අවශ්‍ය වූයේ නැහැ.

ඉවාන් ෂුවාලොෆ් (F. Rokotov)

ෂුවාලොෆ් සහ එලිසවෙතා සමීප වීමත් සමග රසුමොව්ස්කිට වූ තැන පහත වැටුණා. කෙමෙන් කෙමෙන් එලිසවෙතා රසුමොව්ස්කිගෙන් ඈත් වුණා. මේ අවස්ථාවේ රසුමොව්ස්කි කෝප ගත්තේ නැහැ. ඔහු එලිසවෙතාගේ කැමැත්තට ඉඩ දී ඈත්ව ගියා.

එලිසවෙතා 1762 දී මියයන තෙක් ෂුවලොෆ් ඇය සමීපව සිටියා. එමෙන්ම රුසියාවේ අධ්‍යාපනය දියුණු කිරීම පිළිබඳ පියවර කිහිපයක්ම ඔහුගේ බලපෑම මත එලිසවෙතා විසින් ගනු ලැබුනා.

දරුවන් පිළිබඳ කතා

එලිසවෙතා සහ රසුමොව්ස්කි රහසේ විවාහ වූ බවට සැකයක් වේයැ යි අප කලින් සඳහන් කළා. එපමණක් නොව ඔවුන් දෙදෙනාගේ දරුවන් ලෙස පසු කාලවල දී ඇතැමුන් පෙනී සිටියා. යම් හෙයකින් මේ කරුණු සත්‍ය වී නම් එම පුද්ගලයින්ට රාජ්‍යත්වය පිළිබඳ උරුමයක් තිබෙන හෙයින් එවන් ප්‍රකාශයන් ඉතා බරපතල ලෙස සලකනු ලැබුණා. මෙවන් උරුමක්කරුවන් පෙනී සිටියේ එලිසවෙතාගේ මරණින් පසුව යි.

මෙසේ සිහසුනට උරුමකම් පෑ ප්‍රකට දෙදෙනකු වූයේ තරකනෝවා කුමරියන් දෙදෙනා යි. මෙයින් එක් තරුණියක් කන්‍යා සොයුරියක් බවට පත් වුණා. අනෙක් තැනැත්තිය වූ එලිසවෙතා තරකනෝවා ඉතාලියේ සිටිය දී රුසියාවට ගෙන්වාගෙන සිර කරනු ලැබුණා. ඇය ක්ෂය රෝගය වැළඳී මියගියා. ඇය එලිසවෙතා අධිරාජිණියගේ දියණියයැ යි කියා සිටියත් එය තහවුරු වූයේ නැහැ. ඇත්තෙන්ම ඇය කවරෙකුදැ යි අද වනතුරු තහවුරු වී නැහැ.

Cover Image: අලෙක්සේයි රසුමොව්ස්කි (vesty.spb.ru)

Related Articles