Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සික් භටයන් අතින් ඝාතනය වූ අගමැතිනි, ඉන්දිරා ගාන්ධි

ඉන්දියාවේ පළමු අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි, ඇයගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක භටයන් දෙදෙනෙක් අතින් මරණයට පත් වෙනවා. ඒ නව දිල්ලියේ තම නිවස ඉදිරිපිට දී යි.

මෙම ඝාතනය සිදුකරන්නේ ඇයගේ ආරක්ෂාවට සිටි සික් ජාතික ආරක්ෂක භටයින් දෙදෙනෙක් විසින්. ඊට හේතුව මීට පෙර සික්වරුන් සඳහා වූ වෙන ම රාජ්‍යක් යන සංකල්පය යුධමය අතින් පරාජයට පත් කිරීම යි. ඒ අනුව සන්නද්ධ අරගලයක යෙදුණු සික් ජාතික කණ්ඩායමක් ඔවුන්ගේ ආගමික ස්ථානයක් වූ රන් දෙවොල් භූමිය තුළ දී ඝාතනය කිරීම සඳහා ඉන්දියානු මධ්‍යම රජයේ ආරක්ෂක අංශවලට ඇය විසින් අණ කරනවා.

මෙම ප්‍රහාරය තුළ දී සික් ජාතික සටන්කරුවන් මෙන්ම සාමාන්‍ය වැසියන් ලෙස දිවි ගෙවූ සික් ජාතිකයන් විශාල පිරිසක් ද මරණයට පත් වෙනවා. ඒ පිළිබඳ ව සම්පූර්ණ ලිපියක් අපි ඔබ වෙත මීට පෙර දී ගෙන ආවා.

එසේ සික්වරුන්ට කළ අපරාධයට එරෙහිව ඇයගේ ම ආරක්ෂක කණ්ඩායමේ සේවය කළ සික් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු අතින් ඝාතනය වීමට ඉන්දිරා ගාන්ධිට සිදුවෙනවා.

මෙම ඝාතනයත් සමග හින්දු හා සික් දෙපාර්ශවය අතර නැවතත් සිවිල් ගැටුම් දළු ලා වැඩෙන අතර, දින හතරක් පමණ සිදු වූ ගැටුම් හේතුවෙන් ඉන්දියාව පුරා මරණයට පත් වූ සික් ජාතිකයන් ප්‍රමාණය 3000කට අධික බව පැවසෙනවා.

වෙනම රාජ්‍යක් සඳහා වූ සික් සන්නද්ධ ව්‍යාපාරය

විනාශ වූ රන් දෙවොල් භූමිය (indiatvnews.com)

ඉන්දියාවේ සිටින සික් ජාතිකයන් ප්‍රමාණය මුළු ජනගහනයෙන් 2%ක් පමණ යි. නමුත් ඉන්දියානු හමුදාවේ සික් නියෝජනය 15% තරම් විශාල යි. ඉන්දියානු සික්වරුන් සඳහා වෙන ම රාජ්‍යයක් අවශ්‍ය බව පවසමින් සික් ජාතිකයන් කණ්ඩායමක් ආයුධ සන්නද්ධ ව රැගෙන ගිය විමුක්ති ව්‍යාපාරයක් යුධ ක්‍රියාවලියකින් අවසන් කිරීමට ඉන්දියානු මධ්‍යම රජය කටයුතු කරනවා. ඒ 1984 වසරේ ජූනි මාසයේ 5 වන දා යි.

ඒ, පන්ජාබයේ අම්රිස්‌තාර් ප්‍රදේශයේ පිහිටි සික් ආගමික මුදුන්මල්කඩ වූ රන් දෙවොල් භූමියේ දී යි. ලුතිනන් ජෙනරාල් කුල්දිප් සිං බ්‍රාර් ගේ නායකත්වය යටතේ රන් දෙවොලට කඩා වදින ඉන්දීය හමුදාව, සික් නායකයා ප්‍රමුඛ කැරලිකරුවන් 150කට අධික ප්‍රමාණයක් ඝාතනය කරනවා.

එහි හා අවට රැඳී සිටි සාමාන්‍ය වැසියන් 500කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූ බවට රජය විසින් නිවේදනය කළත්, මියගිය සාමාන්‍ය සික් ජාතිකයන් ප්‍රමාණය 1000කට අධික බව පැවසෙනවා.

අන්තවාදයට එරෙහිව ගත් තීරණයක් ලෙස එවකට ඉන්දියානු රජය මෙම මෙහෙයුම නම් කර දක්වනවා. නමුත් ලොව පුරා දේශපාලන, යුධ විචාරකයන් හා ස්වේච්ජා සංවිධාන මෙය සුළු ජාතිකයන්ට එරෙහිව කළ ඝාතන ක්‍රියාවලියක් බව ප්‍රකාශ කරනවා.

සික්වරුන්ගේ වෛරය

ඉන්දිරා ගාන්ධි (Cultural India)

සික් ජාතිකයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම හා අමිත්සාර් හි රන් දෙවොල විනාශ කිරීම යන විනාශයන්ට වගකිව යුත්තේ ඉන්දිරා ගාන්ධි බව සික්වරුන් අතර පැවති මතයක් ලෙස ගෙන හැර දැක්විය හැකි යි.

විශේෂයෙන් ඉන්දියානු තරුණ සික් ප්‍රජාව මේ මතයේ තදින් එල්බී සිටියා. මේ පිළිබඳ ව කරුණු රැස් කරන ඉන්දීය බුද්ධි අංශ, ඉන්දිරා ගාන්ධි අගමැතිවරියගේ පෞද්ගලික ආරක්ෂාව භාර සික් භටයන් වහා ම ඉවත් කළ යුතු බවට තීරණය කරනවා.

නමුත් මෙම තීරණය හා එකඟ නොවන ඉන්දිරා ගාන්ධි එලෙස ඉවත් කිරීමෙන් තමා ජාතිවාදය හා වර්ගවාදයට අනුබල දෙන නායිකාවක් වන බවත්, මෙම සටන කළේ ත්‍රස්තවාදයට එරෙහිව මිස සික් ජාතිකයන්ට එරෙහිව නොවන බවත් අවධාරණය කරනවා.

නමුත් අගමැතිවරියගේ ආරක්ෂාව භාර සිටින භට කණ්ඩායමේ සිටින සික් ජාතික ආරක්ෂකයින් පිළිබඳ ව බුද්ධි අංශ සෑම විට ම විමසිල්ලෙන් කටයුතු කරනවා.

මැෂින් තුවක්කුවෙන් සිදුරු වූ ඉන්දිරා ගාන්ධිගේ සිරුර

පුවත්පතක සඳහන් වූ අයුරු (Washington Post)

1984 වසරේ ඔක්තෝම්බර් 31 වන දා ඉන්දිරා ගාන්ධි හා හොලිවුඩ් නළුවෙක් වන  Peter Ustinov සමග රූපවාහිනී සාකච්ඡාවක් පැවතීමට නියමිත ව තිබුණු අතර, ඒ සඳහා උදෑසන ම පිටත් වීමට සුදානම් වෙන ඇය, දිල්ලියේ පිහිටි තම නිවසේ ගේට්ටුව කරා පිය නඟනවා.

එදින එම ගේට්ටුව අසල ආරක්ෂක රාජකාරියේ නියතුව සිටින්නේ සික් ජාතික භටයන් දෙදෙනෙකු වන පොලිස් පරීක්ෂක බීන්ත් සිං (Beant Singh) හා සත්වන්ත් සිං (Satwant Singh) නැමති පොලිස්‌ කොස්‌තාපල්වරයා යි.

ඉන්දිරා ගාන්ධි පසු පස තවත් ආරක්ෂක භටයන් පස් දෙනෙක් ගමන් කරනවා. ඉදිරි ගේට්ටුව අසල සිටි මෙම සික් ජාතික භටයන් දෙදෙනාගෙන් වහා ක්‍රියාත්මක වන බීන්ත් සිං අගමැතිනිය ඉලක්ක කර තෙවරක් වෙඩි තබනවා. එසේ වෙඩි තබන්නේ ඔහුගේ රිවෝලරය භාවිතා කරමින්. ඒ සමග ම අසල සිටින සත්වන්ත් සිං, තමන් සතු ව තිබූ මැෂින් තුවක්කුවෙන් අගමැතිනියට වෙඩි තබන අතර, ඔහු වෙඩි උන්ඩ 30ක් මුදා හැරීමට සමත් වෙනවා.

වෙඩි උණ්ඩවලින් සිදුරු වී ගිය ශරීරය ඇති ඉන්දිරා ගාන්ධි එතනම මරණයට පත්වෙන අතර, තම අතේ වූ ආයුධ බිමට දමන සික් ජාතික භටයන් දෙදෙනා යටත් වෙනවා.

අවිය බිමට දමන බීන්ත් සිං “මම මගේ වැඩේ කළා. දැන් නුඹලාගේ වැඩේ කරන්න”යැ යි හඬ නඟා අනෙකුත් ආරක්ෂක භටයන්ට පැවසූ බව සඳහන්. වහා ම ක්‍රියාත්මක වෙන භටයන් ඔවුන් දෙදෙනා ව ප්‍රධාන මුර කුටියට ගෙන යනවා. එහි දී බීන්ත් සිං හදිසියෙන් ම ආරක්‍ෂක භටයකු අත තිබූ අවිය උදුරා ගැනීමට උත්සාහ කරන අතර, සත්වන්ත් සිං තලප්පාවේ තිබූ පිහියක් එළියට ගන්නවා.

එවිට දෙදෙනා ම ආරක්‍ෂක භටයන්ගේ වෙඩි පහරවලට ලක්‌ වන අතර, එහි දී බීන්ත් සිං ක්‍ෂණිකව ම මරණයට පත් වෙනවා. සත්වන්ත් සිං බරපතල ලෙස තුවාල ලබනවා. පසුකාලයේ දී ඔහු ව එල්ලා මැරීමට ඉන්දියානු අධිකරණය විසින් නියෝග කරනවා.

උප පොලිස් පරීක්ෂකයා වසර 10ක් තිස්සේ ඉන්දිරා ගාන්ධිගේ ආරක්ෂක බලකායේ සේවය කළ ඇයට හිතවත් නිලධාරියෙක් වූ අතර, 22 හැවිරිදි කොස්තාපල්වරයා මීට මාස කිහිපයකට ප්‍රථම අගමැති ආරක්ෂක අංශයට එක් වූ පුද්ගලයෙක්.

සැලසුම් සහගත මරණයක්

ඉන්දිර ගාන්ධිගේ දේහය, පසෙකින් සිටින්නේ රජිව් ගාන්ධි යි. (Nonstop 80s)

සික් ජාතිකයන් දෙදෙනා, අගමැතිවරිය ඝාතනය කිරීම සඳහා මෙසේ ක්‍රියා කරන්නේ හදිසි කුමන්ත්‍රණයක් මත නොව මාස කිහිපයක් තිස්සේ කළ සැලසුම් සහගත ඝාතන ක්‍රියාවලියකින් බවට ඔප්පු වෙනවා.

තව ද, මෙම භටයන් දෙදෙනාට විවිධ සැක කටයුතු චෝදනා කාලයක් තිස්සේ එල්ල වූවත්, ඊට විරුද්ධ ව පියවර නොගැනීම පිළිබඳ ව ඉන්දීය ආරක්ෂක හමුදාවට ජනතාවගේ අප්‍රසාදය එල්ල වෙනවා.

සික්වරුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය (Quartz)

ඝාතනය වීමෙන් අනතුරුව ගත වන පැය 72ක කාලසීමාව, ඉන්දියානු ඉතිහාසයේ ජාතිවාදී අදුරු කැළලක් නිර්මාණය කිරීමට සමත් වෙනවා. එසේ ඇති වූ හින්දූන් හා සික්වරුන් අතර ජාතිවාදී කෝලාහලය සමතයකට පත් කිරීමට ඉන්දියානු රජයට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවෙනවා.

කවරයේ පින්තූරය: The Indian Wire

මූලාශ්‍රයයන්:

warwick.ac.uk

freepressjournal.in

indiandefencereview.com

history.com

Related Articles