Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සඳට ගිය ඇපලෝ 12 ගගනගාමීන් ලංකාවට එයි

1969 ජූලි 20 වන දින UTC කාල කලාපයෙන් 20:17ට එතෙක් කාලයක් උල්කාපාත පහස පමණක් ලද චන්ද්‍රයාට මිනිසාගේ ආගමනය අත්විඳින්නට හැකි වුණා. නීල් ආම්ස්ට්‍රෝං, බzස් ඕල්ඩ්‍රින්, සහ මයිකල් කොලින්ස් යන ගගනගාමීන් තිදෙනා රැගත් ඇපලෝ 11 යානය සඳ මතට ගොඩ බැස්සා. ඉන් පැය 6කුත්, මිනිත්තු 39කටත් පසුව සඳ මත පා තැබූ ප්‍රථම පුද්ගලයා බවට පත්වන්නට නීල් ආම්ස්ට්‍රෝංට හැකි වුණා. ‍ලොව පුරා රූපවාහිනී නාලිකා එම උත්කර්ෂවත් අවස්ථාව සජීවිව විකාශව කළ අතර, “මෙය මිනිසකුට එක් කුඩා පියවරක් නමුත්, මිනිස් වර්ගයාට එක් යෝධ පිම්මක්” යන වැකිය කිරි පැණි වෙනුවට සඳ‍ෙන් පෘථිවියට දායාද වුණා.

මෙම සඳ ගමන, 35 වන ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි නියම කරන ලද ජාතික ඉලක්කයක් සපුරා ගැනීම සඳහා, ඇමරිකාවේ ජාතික ගුවන් හා අභ්‍යවකාශ පරිපාලන නියෝජිතායතනය (NASA) විසින් මෙහෙයවන ලද තුන්වන මානව අභ්‍යවකාශ වැඩසටහනේ (ඇපලෝ මෙහෙයුමේ) කොටසක් වුණා. “මේ දශකය නිමවෙන්නට කලින් මිනිසෙක්ව සඳට යවා නැවත පෘථිවියට ගෙන්වා ගන්නවා,” යි කෙනඩි දිවුරා තිබුණා.

ඇපලෝ වැඩසටහන විසින් 1972 දෙසැම්බර් මාසය වන තෙක් ක්‍රියාත්මක කෙරුණු තවත් අභ්‍යවකාශ ගමන් පහක දී, ගගනගාමීන් 32ක් සඳ මතට යැවුණා. ඉන් 12 දෙනෙකු සඳ මතට පා තැබුවා. චාර්ල්ස් “පීට්” කොන්රැඩ් ජූනියර්, රිචඩ් එෆ් ගෝඩන් ජූනියර්, සහ ඇලන් එල්. බීන් එවන් තිදෙනෙක් වුණා. ඔවුන් දෙවන වරට, ඇපලෝ 12 වන මෙහෙයුම සමග 1969 නොවැම්බර් 14 වැනිදා සඳට ගොඩ බසින්නට සමත් වුණා.

අනතුරුව, 1970 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාද්වීපය (එකල “සිලෝන්”) වෙත පා තබන්නටත් මේ තිදෙනාට අවස්ථාව උදා වුණා. ඒ, සඳට ගොස් නැවත පැමිණීමේ ප්‍රීතිය සමරමින් කළ රටවල් 20ක සංචාරයේ තවත් එක් සුවිශේෂී නැවතුම්පොළක් ලෙස යි. 

සිලෝන් වෙත ඇපලෝ 12 ගගනගාමීන්ගේ පැමිණීම වාර්තා කළ ඩේලි මිරර් මුල් පිටුව (1970 මාර්තු 13). ඡායාරූපය: Roar Media/යනික් සිත්තම්පලම්

සිරිලක මත පා තැබීම

1970 මාර්තු 13 වනදා කොන්රැඩ් ජූනියර්, ගෝඩන් ජූනියර්, බීන්, සහ ඔවුන්ගේ බිරින්දෑවරු අමෙරිකානු ජනාධිපතිවරය‍ා භාවිතා කරන ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොලෙන් ‘සිලෝන්’ වෙත ගොඩබැස්සා. ඔවුන් පිළිගැනීමට රාජ්‍ය අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන, එක්සත් ජනපද තානාපති ඇන්ඩෘ කෝරි, කොළඹ නගරාධිපති වින්සන්ට් පෙරේරා යනාදීන් පැමිණ සිටි අතර, පාසල් සිසුවියන් 5,000කින් යුත් පිරිසක් ජයමංගල ගාථා ගායනා කරනු ලැබුවා.

සිලෝන් ඩේලි නිව්ස් පුවත්පත් කර්තෘ ප්‍රෙමිල් රත්නායක වාර්තා කරන්නේ ‍පැමිණ සිටි ගගනගාමීන්ගෙන් විනෝදකාමියකු වූ බීන්, ගුවන්යානයෙන් පිටතට පැමිණෙත්ම “හායි!” කියමින් තම දෑත අහසට ඔසවා ජනතාවට ආචාර කළ බවත්, ඊට ප්‍රතිචාර ලෙස රැස්ව සිටි අය ද ජයඝෝෂා නැගූ බවත්.

“මේක ලංකාවේ ඉතිහාසගත වන අවස්ථාවක්. සඳ මත පා තැබූ වීරයන් හැබැහින් දැකගන්නට හැකිවීම අපේ ජීවිතයේ ලද හැකි සුවිශේෂී අවස්ථාවක්,” ජේ. ආර්. පැවසූ බව සිලෝන් ඩේලි මිරර් වාර්තා කරයි.

මෝටර් රථ පෙළපාලියේ විවෘත කැඩිලැක් රථයක සිටි ගගනගාමීන් තිදෙනා, ඔවුන් බැලීමට රැස්ව සිටි සමූහයා වෙත ආචාර කරමින්. ඡායාරූපය: Roar Media/යනික් සිත්තම්පලම්

ගුවන්තොටුපොළේ සිට ගගනගාමීන් මෝටර් රථ පෙළපාලියකින් කොළඹට පැමිණෙද්දී, මඟ දෙපස රැස් වූ ජනතාව ඇමරිකානු ධජ වනමින්, “ජය ශ්‍රී!” කියමින් තම හරසර පළකළා. මෙම රථ පෙළපාලිය ස්ථාන කිහිපයක දීම නවත්වනු ලැබූ අතර, ඉන් එකක් වූයේ සුගතදාස ක්‍රීඩාංගණයේ තිබූ මහජන ප්‍රදර්ශනය යි. ගොක්කොළවලින් සැදූ චන්ද්‍ර යානයක් එහි ප්‍රදර්ශනය කර තිබුණා.

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති මහජන පිළිගැනීමේ උත්සවයට සහභාගී වූ ගගනගාමීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් බී. ආර්. පියදාස සහ කේ. ජී. සෝමපාල යන මහත්වරුන් ඉදිකළ චන්ද්‍ර යානයේ ගොක්කොළ ආකෘතිය නරඹමින්. ඡායාරූපය: Roar Media/යනික් සිත්තම්පලම්

කොළඹට පැමිණි ගගනගාමීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරු ඔවුන් නවාතැන් ගැනීමට නියමිතව තිබූ ගාලු මුවදොර හෝටලයට පැමිණියා. “මට මතකයි කැඩිලැක් වාහන පෙළපාළිය ගාලු මුවදොර ළඟ පාරට ආපු හැටි. පාර දෙපැත්ත මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියා. හැමෝම ඔල්වරසන් දුන්නා. ඒක නියම දර්ශනයක්,” හෝටලයේ එකල නවක අධ්‍යක්ෂක ලලිත් රොද්‍රිගෝ පවසයි.

මේ ලංකාව දුටු පළමු වතාව නොවේ

ගගනගාමීන් අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව හමුවීමට රැජිණි මන්දිරය (දැන් ජනාධිපති මන්දිරය) වෙත ගිය අතර, පසුව අරලියගහ මන්දිරයට ගොස් එය නිල නිවාසය කරගත් අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක, සහ තවත් දේශපාලනඥයන් කිහිප දෙනෙක් මුණ ගැසුණා. සිලෝන් ඩේලි නිවුස් වාර්තා කළේ සමාජ සේවා අමාත්‍ය අශෝක කරුණාරත්න “සූර්ය දේශයට” ගගනගාමීන්ව සාදරයෙන් පිළිගනිමින් හඳ ගැන තතු ඇසූ බවයි. “එහෙත් මරු,” විනෝදකාමී බීන් ප්‍රතිපිළිතුරු දුන්නා. කොන්රැඩ් ජූනියර් තමා මේ සිලෝන් දකින ප්‍රථම අවස්ථාව නොවන බව හඟවමින්, “මම ජෙමිනි V මෙහෙයුමේ දී අභ්‍යවකාශයේ ඉඳලා මේ දූපත දැක්කා. ඒ ගමනේ දී මම දැකපු ලස්සනම දර්ශනය තමයි ඒක,” යි කීවේ ය.

මෙම අවස්ථාවේ දී ගගනගාමීන් ලංකාවට අපූරු තිළිණයක් ලබා දෙන්නටත් අමතක කළේ නැහැ. ඒ, ඔවුන්ට පෙර අවස්ථාවේ එනම්, ඇපලෝ 11 මෙහෙයුමේ දී රැස් කරගත්, හඳ‍ෙන් ගෙනා ධූලි කොටස් 4ක්. එම එක් කොටසක් මිලිග්‍රෑම් 0.05ක පමණ බරින් යුතු වෙනවා. අමෙරිකානු ජනපති රිචඩ් නික්සන්ගේ ත්‍යාගයක් වූ මෙය දැනටත් කොළඹ ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා තිබෙනවා. නමුත්, එය නරඹන්නට අවස්ථාව ලැබෙන්නේ විශේෂ අවස්ථාවන්වල දී පමණයි.

ගගනගාමීන්ගේ ලංකා ගමන දින තුනක් පුරාවට පැවැත්වුණා. එහිදී ඔවුන් මහනුවරට ද සංචාරය කළා. 

මාර්තු 14 දා මහනුවරට ආ ගගනගාමීන් සහ ඔවුන්ගේ භාර්යාවන් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නරඹා, එහි අනුස්මරණ ශාකයක් ලෙස Byrsonima crassifolia රෝපණය කළා. අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට ගොස් ධාතු මන්දිරයට මල් පූජා කළා. 

ඇපලෝ 12 ගගනගාමීන් මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට දී. ඡායාරූපය: Roar Media/යනික් සිත්තම්පලම්

ලංකාව ගැන මොකද හිතන්නේ?

“අපි මෙතෙක් (ලංකාවේ) දැකපු දේවල් විශිෂ්ට යි. මේ ගස්, එළවළු හොඳ කොළ පාටට සරුසාරව වැවිලා තියෙනවා. මිනිස්සුත් එහෙමයි,” බීන් මහනුවර දුම්රිය ගමනේ දී ඔවුන් සමග එක්වූ සිලෝන් ඩේලි මිරර් වාර්තාකරුට පවසනවා. “ඕන කෙනෙක්ට මේ පරිසරයේ සතුටින් ඉන්න පුළුවන්. මේ ලස්සන කඳු, පහළ බැලුවාම කඳු නිම්න කොයි තරම් නම් මනස්කාන්ත ද!”

මේ අතරේ කොන්රැඩ් ජූනියර් තමා ලද අත්දැකීම් විස්තර කරමින් පවසා ඇත්තේ “මං හිතන්නේ ලෝකෙන්ම හොඳම පිළිගැනීමක් අපිට ලැබුණේ ලංකාවේ දී යි. මෙහේ අය හැමෝම සතුටින් ඉන්න එකට හේතුව පැහැදිලියි,” කියා යි. එසේම, ඔහු මාසයක්වත් ලංකාවේ රැඳ‍ෙන්නට තිබුණා නම් අගෙයි කියාත් පවසා ඇති බවටත් වාර්තා වෙනවා. “බලන්න ආස හිතෙන රටක්! අපි හැමෝටම මේ අත්දැකීම නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ,” යි සිලෝන් ඩේලි මිරර් වෙත ඔහු පවසනවා. 

අභ්‍යවකාශ ගවේශනය සම්බන්ධ ජනතා හදවත් පුබුදුවාලූ බ්‍රිතාන්‍ය විද්‍යා ප්‍රබන්ධක ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ ඉල්ලීම පරිදි ගගනගාමීන්ගේ සංචාරය තවත් දිනකින් දීර්ඝ කෙරුණා. ඔහු පත්‍ර වාර්තාකරුවන්, ජනතාව ආදී සියලු බාධක ඉවත් කොට, ගගනගාමීන්ට ත්‍රිකුණාමල වෙරළ තීරයේ පහස නිදහසේ විඳගන්නට අවස්ථාව සලසා දුන්නා. 

ඇපලෝ 11 යානයෙන් ගෙන ආ චන්ද්‍ර ධූලි කොළඹ ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ආකාරය. මේවා ප්‍රදර්ශනය කෙරෙන්නේ විශේෂ අවස්ථාවන්හිදී පමණි. ඡායාරූපය: තිළිණ හීනටිගල

තම ‘Odyssey’ ස්වයං චරිතාපදානයෙහි ආතර් සී. ක්ලාක් මේ ත්‍රිකුණාමල සවාරිය සම්බන්ධ අත්දැකීමක් ලියා තිබෙනවා. ඔහු ජලය යට ඡායාරූප ගත හැකි කැමරාවක් බීන් වෙත ලබා දෙමින් පවසා ඇත්තේ “ඇලන්, ඔන්න මේක නම් ඉර දිහාට මානන්න එපා,” කියා යි. මන්ද, සඳ ගමනේ දී බීන් අත්වැරදීමකින් හිරු දෙසට කැමරා කාචය යොමු කළ අවස්ථාවේ, එම අධි මිල කැමරාව විනාශ වී සජීවී රූපවාහිනී විකාශය ද නැවතී ගියා. නමුත් බීන් ඒ විහිළුවට එතරම් කැමති නොවූ බව ක්ලාක් මෙසේ දක්වනවා: “එයා ඒකට එච්චර හිනා වුණේ නැහැ. ඒත් කිමිදීමෙන් ලැබුණු අපූරු අත්දැකීමට ඔවුන් බොහොම කැමති වුණා.”

ත්‍රිකුණාමලයේ සිට ගගනගාමීන් කොළඹට පැමි‍ණියේ ගුවන්යානයකිනි. අනතුරුව ඔවුන් බුරුමයේ (වත්මන් මියන්මාරය) රැන්ගූන් වෙත තම ලෝක සවාරිය දියත් කළා. 

සෝවියට් සමූහාණ්ඩුව සහ එක්සත් ජනපදය අතර තිබුණු ‘අභ්‍යවකාශ තරගය’ එදිරිවාදිකම් හා ගැටුම් නිසා ඇරඹුණත්, ඉන් ලොවට කිසිදා අමතක නොවන ජයග්‍රහණය රැසක් ලැබුණා. “මානව ඉතිහාසයේ (මේ) සුවිශේෂී සංධිස්ථානයට මුළු ලෝකයේම ජනතාවට හිමිකම් කියන්න පුළුවන්,” නැවත පැමිණෙමින් සිටි ගගනගාමීන්ට ජනාධිපති නික්සන් ධවල මන්දිරයේ සිට දුරකථනයෙන් පැවසුවේ ඔවුන්ට සුරක්ෂිතව නැවත පෘථිවියට පැමිණීමට හැකි වේවා යි ප්‍රාර්ථනා කිරීමටත් පෙර යි.

අභ්‍යවකාශ තරගය නිරූපණය කරමින් Elephant House පළ කළ වෙළඳ දැන්වීමක්. ඡායාරූපය: Roar Media/යනික් සිත්තම්පලම්

තම සමුදීමේ කථාවේ දී ජේ. ආර්. ජයවර්ධන ඇමරිකාවටත්, ගගනගාමීන් තිදෙනාටත් “අපේ ජනතාවට, විශේෂයෙන් තරුණ පරපුරට මේ ගැන උනන්දුව වැඩිකරන්නට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන්,” මෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවෙනුත් ස්තූති කළ බව සිලෝන් ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කරනවා.

දැන් හඳට නොයන හේතුව

අභ්‍යවකාශ යුගයේ ඇරඹුම සනිටුහන් කරමින් ලෝක ජනතාවගේ බලාපොරොත්තු සහ හැඟීම් උද්දීපනය කරන්නට මේ ජයග්‍රහණයන් සමත් වුවත්, ක්‍රමයෙන් උනන්දුව සහ මුදල්වල අඩුවීම නිසා නාසා ආයතනයට මෙම වැඩසටහන අවසන් කරන්නට සිදුවුණා. සඳමතට ගිය අවසාන අවස්ථාව බවට 1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුම පත් වූ අතර, එය චන්ද්‍රයා මතුපිට මෙන්ම කක්ෂයේ වැඩිම වේලාවක් (පැය 74, විනාඩි 56, තත්පර 38) ගත කළ අභ්‍යවකාශ ගමන වශයෙන් ඉතිහාසයට එක් වන්නටත් සමත් වුණා. 

චන්ද්‍රයාගෙන් ලද හැකි ප්‍රායෝගික ප්‍රයෝජන, සහ වාසිවල අඩු බවත්, සීතල යුද්ධයේ අවසානයත් මේ අභ්‍යවකාශ වැඩසටහන්වල අවසානය සනිටුහන් කරන්නට මුල් වූවා පමණක් නොව, 2003 දී කොළොම්බියා අභ්‍යවකාශ ශටලය පුපුරා ගොස් ගගනගාමීන් 7 දෙනෙකුගේ ජීවිත අහිමිවීමත් සමග නාසා ඇතුළු සියළුම ආයතන තම ව්‍යාපෘතිවල ප්‍රමාණය අවම කරමින් මිනිසුන් රහිත මෙහෙයුම් වෙත යොමු වීමට උනන්දු වුණා.

කෙසේ නමුදු, 20 වන සියවසේ ජනතාවට සඳ මත පා තැබීමේ අග්‍රගණ්‍ය අත්දැකීම සමග තම පරිකල්පනය විහිදුවාලන්නට අවස්ථාව උදාවී තිබෙනවා. ආරක්ෂාව, තාක්ෂණය, ඖෂධ, භූ විද්‍යාව, පුරා විද්‍යාව, සාගර විද්‍යාව වැනි ක්ෂේත්‍ර රැසක නවෝත්පාදනයන් බිහි කරන්නටත් අභ්‍යවකාශ ව්‍යාපෘති සමත් වුණා. කෘත්‍රීම ගාත්‍රා, සූර්ය පැනල, ගිනි නිවන උපකරණ, රැහැන් රහිත උපාංග, ජල පෙරහන් ආදිය ලොවට ලැබුණේ අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් කළ පර්යේෂණ නිසා යි.

වැඩිදුර කියැවීමට: නාසා ආයතනය නිසා ලොවට බිහි වුණු අපූර්ව දේවල් 5ක් 

දකුණු ආසියාව ද දැන් අභ්‍යවකාශ ගවේෂණ වෙත යොමුව තිබෙන අතර, ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO), 1975 දී “ආර්යභාතා” නමින් සෝවියට් සමූහාණ්ඩුවේ සහාය ද ඇතිව තම ප්‍රථම චන්ද්‍රිකාව අහසට නැංවූවා. අනතුරුව ඔවුන් තවත් යානාවන් බිහි කරන්නට සමත්වූ අතර මෑතක දී චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවීය කලාපය ගවේශනය කිරීමට චන්ද්‍රයාන්-2 පිටත් කර යැව්වා. ඉන්දියාව පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආතර් සී. ක්ලාක් නූතන තාක්ෂණ ආයතනය (ACCIMT) සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ නියෝජිතායතනය (JAXA) එක්ව 2019 දී රාවණා-1 නමින් අපගේ ප්‍රථම චන්ද්‍රිකාව අහසට නංවා අභ්‍යවකාශලෝලී ජාතීන් අතරට එක්වුණා.

1970 දී ජේ. ආර්. තම සමුදීමේ කථාවේ දී කීවාක් සේ, “අද කොන්රැඩ්, බීන්, ගෝඩන් ඇතුළු අභ්‍යවකාශ වැඩසටහනේ අනෙකුත් සාමාජිකයන් දැරූ මහන්සියට දිනෙක අනුපමේය වටිනාකමක් එකතු කරනු ඇත්තේ, අනාගත පරම්පරාව යි.”

Related Articles