Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවැනි එලිසබෙත් රැජන ගැන නොදත් කරුණු 15ක්

දෙවන එලිසබෙත් රැජන ලොව දීර්ඝත ම කාලයක් තිස්සේ රජ කිරුළ දරන තැනැත්තිය ලෙස මේ වන විටත් ඉතිහාසයට එකතු වී හමාර ය. දීර්ඝතම කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ පුද්ගලයන් කිහිපදෙනා ගැන මේ සටහනත් කියවන්න. 1926 වසරේදී එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ලෙස එවකට යෝක්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය (පසුව හයවැනි ජෝර්ජ් රජු සහ එලිසබෙත් රැජන) ට දා ව උපත ලැබූ දෙවන එලිසබෙත් රැජනට මාග්‍රට් නමින් තවත් සහෝදරියක් ද වූවා ය.

ලොව දිගු කලක් තිස්සේ රජ කිරුළ දරන තැනැත්තිය

දෙවන ලෝක යුද්ධය පැවැති සමයේ ට්‍රක් රථ රියදුරුවරියක ලෙස සේවය කළ කාලයේ සිට වර්තමානය දක්වා ඇය සුවිශාල මහජන අවධානයක් දිනාගැනීමට සමත් ව ඇති බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. දෙවන එලිසබෙත් රැජනගේ සාමාන්‍ය තොරතුරු පිළිබඳ බොහෝ දෙනකු දන්නා බැවින් ඇය පිළිබඳ වන තරමක් අප්‍රසිද්ධ කරුණු කිහිපයකි මේ.

දෙවන එලිසබෙත් රැජන – harpersbazzar.com

 රැජනගේ අන්වර්ථ නම්

දෙවන එලිසබෙත් රැජන හඳුන්වන අන්වර්ථ නාම අතරට ‘ලිලිබත්’ සහ ‘කැබේජ්’ යන්න ඇතුළත් වේ. ඇයට කුඩා කල තමන්ගේ නම එලිසබෙත් යන්න උච්ඡාරණය කිරීමට අපහසු වූ බැවින් ඇය නම සඳහන් කර ඇත්තේ ‘ලිලිබත්’ යනුවෙනි. ඒ අනුව කුඩා කල ඇයට ‘ලිලිබත්’ යන නම, අන්වර්ථ නාමයක් ලෙස යොදාගැනීමට ඇයගේ සමීපතමයන් කටයුතු කර තිබේ. ඊට අමතර ව රැජනගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ හි ආදිපාද, පිලිප් කුමරු සිය බිරිය ‘කැබේජ්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා තිබූ බව ද වාර්තා වේ.

රැජනගේ අත් අකුරින් ලියූ ලිපියක් – businessinsider.com

අධ්‍යාපනය ලැබීම

උපතේ සිට සියලු සැප සම්පත් මැද දිවි ගෙවුවත් ඇය ඉගෙනීමට දැක්වුයේ අසීමිත කැමැත්තකි. එම නිසා ඇය ව්‍යවස්ථාමය ඉතිහාසය සහ නීතිය හැදෑරුවා ය. බ්‍රිතාන්‍යයේ එවකට සිටි එම විෂයයන් සම්බන්ධ හොඳ ම උපදේශකයන් නිවෙසට පැමිණ රැජනට උගන්වා ඇත. එම විෂයයන් හැදෑරුවේ ඇයගේ අනාගත භූමිකාවන් සඳහා සුදානම් වීමක් ලෙස බව සඳහන් ය. එම විෂයයන්ට අමතර ව කැන්ටබරිහි රදගුරුතුමන්ගෙන් ඇය ආගම ද ඉගෙන ගත්තා ය.

රැජන තම අසුන් පිට යමින් – getty images

දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වීම

ඇය දෙවන ලෝක යුද්ධය පැවැති සමයේදී ට්‍රක් රථ රියදුරුවරියක සහ කාර්මික ශිල්පිනියක ලෙස හමුදා සේවයෙහි යෙදුණා ය. ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස හමුදා සේවයට බැඳුණු ප්‍රථම බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාව ලෙස ඇය ඉතිහාසයට එකතු වේ.

එළිසබෙත් රැජන සහ පිලිප් කුමරු – getty images

පිලිප් කුමරුන් හමුවීම

ඇයගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු සහ මහරැජන පළමුවරට මුණ ගැසුණේ ඇයට වයස අවුරුදු 8 දී ය. කුඩා දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති බොහෝ උත්සව අවස්ථාවන්වලට සහභාගී වුවත්, ඔවුන් දෙදෙනා නිල වශයෙන් හමු වුයේ 1934 වර්ෂයේදී ග්‍රීසියේ පැවැත්වූ මරිනා කුමරියගේ සහ කෙන්ට් හි ආදිපාද ජෝර්ජ් කුමරුගේ විවාහ මංගල්‍යයේ දී බව කියැවේ.

භාෂා හැකියාව

දෙවන එලිසබෙත් රැජන කුඩා කාලයේදී ම ප්‍රංශය සහ බෙල්ජියම වැනි රටවල දී ප්‍රංශ භාෂාව කතා කිරීමට ඉගෙන ගත්තා ය. ඇය බොහෝ විට එම රටවල සංචාරය කරන විට ප්‍රංශ භාෂාවෙන් කථා කරන අතර, 2014 දී රාජ්‍ය භෝජන සංග්‍රහයේදී ප්‍රංශ භාෂාව කතා කරමින් බොහෝ දෙනකු මවිතයට පත් කළා ය. රාජ්‍ය නායකයන් සහ තානාපතිවරුන් සමඟ කතා කිරීමේදී ඇය ප්‍රංශ භාෂාව භාවිත කරන අතර කැනඩාවේ ප්‍රංශ භාෂාව වැඩි වශයෙන් භාවිත කරන ප්‍රදේශවලදී ද ප්‍රංශ භාෂාවෙන් කතා කරයි.

රැජනගේ නාමයෙන් නිකුත් කරන බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රය – pinterest

රියදුරු බලපත්‍රය

එලිසබෙත් රැජන 1945 වසරේ දී පමණ වාහන පැදවීමට ඉගෙන ගත් අතර විශේෂ ම කරුණක් වන්නේ ඇයට රථ වාහන බලපත්‍රයක් නොමැතිව වුව ද වාහන ධාවනය කළ හැකි වීමයි. එමෙන් ම ඇයට ගුවන් ගමන් බලපත්‍රයක් අවශ්‍ය නොවීම ද තවත් වැදගත් කරුණකි. මහා බ්‍රිතාන්‍යයේ සියලු ම ගුවන් ගමන් බලපත්‍ර රැජනගේ නාමයෙන් නිකුත් කරන බැවින් ඇයට ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීම අවශ්‍ය නොවේ.

එලිසබෙත් රැජන ඇගේ ලෑන්ඩ් රෝවරය පදවමින් – getty images 

 

ලැබෙන ලිපි

එලිසබෙත් රැජනට දිනකට ලිපි 200ත් 300ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර වසරකට ලිපි 70,000කට අධික ප්‍රමාණයක් ලැබෙන බව වාර්තා වේ. ඇය ඉන් කිහිපයක් පෞද්ගලික ව කියවීම සඳහා තෝරා ගන්නා අතර ඉතිරි ලිපි ඇයගේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් කියවයි. විශේෂ ලිපි සඳහා රැජින සිය අත්සන ද යොදා පිළිතුරු සපයන අතර බොහොමයක් ලිපිවලට පිළිතුරු ඇයගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අත්සන් තබා යොමු කරයි. ඇයට ලිපි නිතර ම යවන, ඇයට කැමැත්තක් දක්වන අය ලොව පුරා සිටින අතර ශ්‍රී ලංකාවේ ද එවන් පුද්ගලයන් ගණනාවකට ද රැජන පිළිතුරු ලිපි එවීමේ සිදුවීම් වාර්තා වේ. රැජන, ලිපි සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වන බව ද වාර්තා වේ.

එලිසබෙත් රැජන උපන් දින දෙකක් සමරයි – getty images

උපන් දින දෙකක්?

එලිසබෙත් රැජන උපන් දින දෙකක් සමරයි. 1926 වසරේ අප්‍රේල් 21 දින රැජන උපත ලැබුවත් ඇය සිය උපන් දිනය සමරන්නේ සෑම වසරක ම ජුනි මස දෙවැනි සෙනසුරාදා දිනයි. එය ඇයගේ නිල උපන් දිනය ලෙස සැලකෙන අතර දෙවැනි ජෝර්ජ් රජු 1748 වසරේදී එම සම්ප්‍රදායය ඇති කළ බව වාර්තා වේ. එතැන් පටන් බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජන උපන් දින දෙකක් සමරයි.

රැජින සතුව සිටින සුරතල් බල්ලන් – – getty images

රැජනගේ සුරතල්ලු

රැජන සතු ව සිටින සුරතල් බල්ලන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින්දෝ එක්සත් රාජධානියේ ජලයේ සිටින සියලු ම හංසයන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ හිමිකාරිත්වය ද ඇය දරයි. ඊට අමතර ව එක්සත් රාජධානියේ සිටින සියලු ම මෝරුන් ද රැජනට අයත් වන බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම හිමිකාරිත්වය හුදෙක් ම ඇයගේ ගෞරවනීය බව පිළිබිඹු කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි.

රැජන සාදයක් අතරතුර – vanityfair.com

ප්‍රියත ම පාන වර්ග

රැජනගේ ඥාති සොහොයුරියක වන මාග්‍රට් රෝඩ්ස් වරක් රැජනගේ ෂැම්පේන් සහ වයින් භාවිතය සම්බන්ධයෙන් එක්තරා සඟරාවකට ප්‍රකාශයක් කර තිබේ. ඇය සඳහන් කර ඇති ආකාරයට රැජින දිවා ආහාරය ලබාගැනීමට ප්‍රථම ලෙමන් කැබැල්ලක් සහ අයිස් කැට රැසක් දමා ජින් පානය කරන අතර දිවා ආහාරය සමඟ වයින් පානය කරයි. ඊට අමතර ව ඇය සවස් කාලයේ ද ෂැම්පේන් වීදුරුවක් සමඟ වයින් පානය කරන්නී ය. මෙම පුරුද්ද බොහෝ දෙනකු විමසිලිමත් වන ඇයගේ නිරෝගී සහ දීර්ඝායුෂ සහිත ජිවිතයේ රහස්වලින් එකක් විය හැකියි.

අමුතු සංඥා

ඇගේ පසුම්බිය ඇගේ කාර්ය මණ්ඩලයට විවිධ සංඥා ලබාදීම සඳහා ද යොදා ගනියි. එලිසබෙත් රැජන සැමවිටම දැකිය හැක්කේ ඇයගේ අත් බෑගය හෝ පසුම්බියක් වැනි දෙයක් සහිත ව වන අතර එය ඇයගේ බඩු බාහිරාදිය දැමීම සඳහා පමණක් යොදාගන්නා එකක් නොවේ. ඇයගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට සංඥා කිරීම සඳහා ද එය යොදා ගනී. උදාහරණයක් ලෙස යම් හෙයකින් ඇය සිය අත් බෑගය මේසය මතින් තබන්නේ නම් ඉන් සංඥා කරන්නේ ඇය විනාඩි පහක් වැනි කාලයක් ඇතුළත එම ස්ථානයෙන් පිටත් වන බවයි.

ඇගේ පසුම්බිය ඇගේ කාර්ය මණ්ඩලයට විවිධ සංඥා ලබාදීම සඳහා ද යොදා ගනියි – getty images

පුද්ගලික කවියෙක්?

ඇයට පෞද්ගලික කවියෙක් සිටී. රැජිනට නිල “කවි සම්මානලාභියකු” ඇත. එය මහා බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින විසින් පිරිනමනු ලබන ගෞරවනීය තනතුරකි. කැරොල් ඇන් ඩෆි නම් තැනැත්තිය 2009 වසරේදී පළමුවරට එම තනතුරට පත් වූ අතර ඇයට පැවරෙන රාජකාරිය වනුයේ රැජනගේ හෝ අනිකුත් රාජකීය පවුලේ සාමාජිකයන්ගේ, එමෙන් ම රජ පවුලේ විශේෂ අවස්ථා සඳහා කවි නිර්මාණය කිරීමයි. විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ විවාහ මංගල්‍යය, එලිසබෙත් රැජනගේ 60 වන රාජාභිෂේක සංවත්සරය වැනි අවස්ථාවල දී ඇය කවි නිර්මාණය කරනු ලැබිණි කළා ය.

පරිසරයට ඇති ඇල්ම – getty images

සිතුවම්

ඇය සිය පාලන සමයේදී තමන්ගේ සිතුවම් 129 කට අධික සංඛ්‍යාවක් සඳහා වාඩි වී තිබේ. ඇයගේ දීර්ඝ පාලන කාලය තුළ විවිධ අවස්ථාවලදී ඇය සිතුවම් සඳහා පෙනී සිටි අතර ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් ඇයගේ සිතුවම් ගණනාවක් නිර්මාණය කර ඇත.

රජ පවුල – getty images

බදු ගෙවා රැජන දුන් ආදර්ශය

රැජින සියලු බදු ගෙවිම්වලින් නිදහස් කර ඇති නමුත් ඇය ස්වේච්ඡාවෙන් ම බදු මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකාව වැනි රටක බොහෝ දෙනකු බදු ගෙවීමෙන් වැලකීම සඳහා විවිධ උපාය මාර්ග භාවිත කරන පසුබිමක ඇය බදු මුදල් ගෙවීම සඳහා ස්වේච්ඡාවෙන් ම  ඉදිරිපත් වීම සැබවින් ම අගය කළ යුතු ක්‍රියාවකි.

කවරයේ ඡායාරූපය- දෙවන එලිසබෙත් රැජින - getty images

මුලාශ්‍ර-

insider.com

natgeokids.com

rmg.co.uk

royal.uk

Related Articles