Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රිකට් රසික පර්සි ගැන අප නොදත් කතා 5ක්

පර්සි අබේසේකර යන නම ඇසුණු සැණින් අපට මතක් වන්නේ ජාතික කොඩිය අතින් ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කරන පුද්ගලයෙක්. ඒ පර්සි අබේසේකර නම් ක්‍රිකට් ලෝලියා දශක ගණනාවක සිට අපේ ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් සහාය නිසා යි.

70 දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී තරග දිරිමත් කරන්නකු ලෙසින් කටයුතු කළ පර්සි වැඩි කාලයක් යන්නට පෙර ලොව පුරා ප්‍රසිද්ධියට පත්වුණා. 

පර්සි 1982 ශ්‍රී ලංකා-එංගලන්ත මංගල ටෙස්ට් තරගයේ දී – reddit.com

 

පර්සි එතරම්  ප්‍රසිද්ධියට පත්වුණේ  සිය රටේ ක්‍රීඩකයන්  දිරිමත් කිරීම සඳහා ඔහු භාවිත කළ අපූරු වදන් නිසා යි. එපමණක් නොව ප්‍රතිවාදී කණ්ඩායම්වල ක්‍රීඩකයන් කෝපයට පත්වන අයුරින් වදන් පැවසීමට ද ඔහු දක්ෂයෙක් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ක්‍රිකට් රසිකයාට  විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවුණා. පර්සිගේ ක්‍රිකට් දිවිය පුරා බැඳුණු එවන් රසවත් සිදුවීම් රැසක් අපට හමුවෙනවා. ඒ අතුරින් 1989 බ්‍රිස්බේන් ටෙස්ට් තරගය සම්බන්ධ සිදුවීමක් සහ 1983 කළු ජූලිය අවස්ථාවේ ගාෆීල්ඩ් සෝබර්ස්ගේ ජීවිතය බේරාගැනීම පිළිබඳ ත්‍රාසජනක සිදුවීම අප මීට පෙර ඔබ වෙත ඉදිරිපත් කළා. පර්සිගේ ක්‍රිකට් දිවිය හා බැඳුණු තවත් අපූරු සිදුවීම් පෙළක් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

1). 1979 ලෝක කුසලානය සංචාරයේ මතක සටහන් 

1979 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ දී පැවැත්වුණා. ඒ සඳහා තරග දිරිගන්වන්නකු ලෙසින් සහභාගි වීමට පර්සිට අවස්ථාව ලැබුණා. එම සංචාරය සඳහා පර්සිට අනුග්‍රාහකත්වය ලබාදුන්නේ AMW (Associated Motorways) පුද්ගලික සමාගම යි. එදා එම සමාගම් නාමය මුද්‍රණය කළ නිල ටී ෂර්ට් එකක් ද පර්සිට ලැබුණා. ඒ වාගේ ම ඩේලි නිවුස් පුවත්පත ද එම ගමනට මුදල් එකතු කිරීම සඳහා අරමුදලක් පිහිටුවා තිබුණා. ඒ හරහා ද පර්සිට සැලකිය යුතු තරම් මුදලක් ලැබුණා. එය පර්සිගේ මුල් ම විදෙස් තරග සංචාරය බවට පත්වුණු නිසා ඔහු තරමක චකිතයකින් පසුවුණා. එංගලන්තය බලා යාමේ අරමුණ ඇතිව කටුනායක ගුවතොටුපොළ වෙත ගිය පර්සිට දුලිප් මෙන්ඩිස් සහ සුනිල් වෙත්තමුණි යන ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළගේ බිරියන් මුණ ගැසුණා. ඉන් පසු ඔවුන් තිදෙනා එකම ගුවන් යානයෙන් එංගලන්තය බලා පිටත් ව ගියා. 

දුලිප්ගේ බිරියගෙන් ලැබුණු උදව්ව 

එම කාල වකවානුව වන විට පර්සිගේ නෑනා කෙනෙක් කෙන්ට් ප්‍රාන්තයේ පදිංචි ව සිටියා. පර්සි සිය එංගලන්ත සංචාරය පිළිබඳ කල් වේලා ඇතිව ම ඇයට දන්වා තිබුණා. එදා පර්සිගේ සැලැස්ම වී තිබුණේ පළමු තරගය ආරම්භ වීමට පෙර දින සිය ඥාතී සහෝදරිය හමුවීමට යාමට යි. එවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව මුලින් ම තරග වැදුණේ නවසීලන්තයට එරෙහි ව යි. එම තරගය නොටිංහැම් නුවර ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.

පර්සිගේ  සැලැස්ම පිළිබඳ හෙළිදරව් වීමෙන් පසු දුලිප්ගේ බිරිය පර්සිට පවසා සිටියේ කෙන්ට් සහ නොටිංහැම් යන ප්‍රදේශ අතර විශාල දුර පරතරයක් තිබෙන බව යි. ඒ පිළිබඳ දැන ගැනීමෙන් පසු පර්සි කෙන්ට් ගමන අතහැර දැමුවා. ඉන් පසු දුලිප්ගේ බිරිය නොටිංහැම් හි වාසය කළ ඇයගේ මාමා කෙනකු වුණු වෛද්‍ය බාට්ලට්ට කතා කළා. ඒ පර්සිගේ නවාතැන් ප්‍රශ්නය විසඳා දීම සඳහා යි. පර්සිට වෛද්‍ය බාට්ලට්ගේ නිවසේ නවාතැන් ගැනීමට අවසානයේ දී අවස්ථාව ලැබුණා.

1979 ICC කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  -gettyimages.com

 

ක්‍රීඩාංගණය සොයා ගැනීමට ගොස්  සිදුවුණු ජරමරය 

වෛද්‍ය බාට්ලට් ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් ඇලුම් කළේ නැහැ. එනිසා ඔහු ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණය පිහිටා තිබුණු ස්ථානය පිළිබඳ නිශ්චිත ව ම දැනගෙන සිටියේ නැහැ. එනිසා මාර්ගයේ ගමන් කරමින් සිටි මහළු පුද්ගලයකුගෙන් ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණය තිබෙන ස්ථානය පිළිබඳ ඔහු විමසා සිටියා. එම අවස්ථාවේ ඔහු ලබා දුන් මාර්ග විස්තරය ඔස්සේ ගිය පර්සි සහ බාට්ලට් අවසානයේ නතර වුණේ පැසිපන්දු ක්‍රීඩාංගණයක් ඉදිරිපිට යි. ඒ වන විට තරගය ආරම්භ කිරීමට නියමිත ව තිබුණු වේලාව ඉක්මවා ගොස් තිබුණු නිසා පර්සි දැඩි ලෙස නොසන්සුන් වී සිටියා.

එම අවස්ථාවේ පැසිපන්දු ක්‍රීඩාංගණය අසලින් තරුණයන් දෙදෙනෙක් ගමන් කළා. පර්සි වහාම  ක්‍රියාත්මක වී ඔවුන් දෙදෙනා ගෙන් ක්‍රීඩාංගණය තිබෙන ස්ථානය ගැන අසා සිටියා.  තරුණයන් දෙදෙනාට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයට යන මාර්ගය  පර්සිට නිවැරදි ව පවසා සිටියා. අවසානයේ දී ක්‍රීඩාංගණය වෙත ගිය පර්සි සිය කණ්ඩායම දිරිමත් කරමින් තරගය නැරඹුවා. නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 9ක පරාජයක් එදා ලැබුවා. එම තරගය නිමාවට පත්වී දින 4ක් ගෙවුණු පසුව ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් ඕවල් පිටියේ දී තරග වැදීමට සූදානමින් සිටියා. අවසන වර්ෂාව නිසා එම තරගය අත්හැර දැමීමට සිදුවුණා.

ශ්‍රී ලංකා-නවසීලන්ත තරගයේ දී අනුර තෙන්නකෝන් පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ වික්‍රමය 

මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු අවසන් තරගය ඉන්දියාවට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ දීත් පර්සි සුපුරුදු පරිදි සිය කණ්ඩායම දිරිමත් කළා. එදා තරගය නැරඹීමට පැමිණ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් පර්සි සමඟ එකතු වුණා. ඔවුන් “රත්න ලංකා” නම් නෞකාවේ සේවය කළ පිරිසක්.

එම නෞකාව තරගයට පෙර දින උදෑසන එංගලන්තයට පැමිණ තිබුණා. පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 60 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 238ක් ලබා ගත්තා. එහි දී සුනිල් වෙත්තමුණු ලකුණු 67ක් ලබා ගනිද්දී දුලිප් මෙන්ඩිස් පන්දු 57කින් වේගවත් ලකුණු 64ක් ලබා ගත්තා. 

දුලිප් මෙන්ඩිස් එදා – gettyimages.com

 

දුලිප් ලකුණු 30 ගණන්වල පසුවෙද්දී එල්ල කළ පහරක් හතරේ සීමාව අසල දී උඩපන්දුවක් ලෙසින් රැක ගැනීමට බිෂන් බේඩි උත්සාහ කළා. එම අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වුණු පර්සි “බේඩි ඔන්න උඹේ පිටිපස්සෙන් තඩි බල්ලෙක් ඉන්නවා” යැයි මහා හඬින් කෑගැසුවා. එවිට අනිත් ශ්‍රී ලාංකිකයන් පිරිස ද “බේඩි  උඹ දැන් නාකි හින්ද ඕක අල්ලගන්න බැහැ” යනුවෙන් හඬ නැගුවා.

එම අවස්ථාවේ දී අන්දමන්ද වුණු බේඩි උඩපන්දුව අතහැරියා. එනිසා දුලිප්ට ලකුණු 64ක් ලබා ගැනීමට හැකි වුණා. එදා ලකුණු 239ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියානුවන්ට සියලු ම පිතිකරුවන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 191ක් පමණ යි. එය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ මංගල ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා. ඒ වාගේ ම ටෙස්ට් වරම් නොලද රටක් ටෙස්ට් වරම් ලැබූ රටකට එරෙහි ව ලබාගත් මුල් ම ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා. 

බිෂන් බේඩි – gettyimages.com

ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම අවසන් වීමෙන් පසු ව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පර්සිට අමෙරිකානු ඩොලර් 100ක තිළිණයක් ලබා දුන්නා. ඒ තරගාවලිය පුරාවට පර්සි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් දිරියට කෘතගුණ සැලකීමක් ලෙස යි. 

2). සෝබර්ස් සමඟ ගුවන් යානයේ දී නැටූ නැටුම 

1983 එක්දින ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ දී පැවැත්වුණා. ගාෆීල්ඩ් සෝබර්ස් එම තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළා. එම තරගාවලිය නැරඹීම සඳහා එංගලන්තයට ගිය පර්සි සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කළා. තරගාවලිය නිමාවීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ආපසු පැමිණි ගමනේ දී පර්සිට අපූරු අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව ලැබුණා.

1983 ලෝක කුසලානය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

එදා ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු පැමිණි ගුවන් යානයේ ගාෆීල්ඩ් සෝබර්ස් අසලින් අසුන් ගැනීමේ අවස්ථාව රංජිත් ප්‍රනාන්දුට හිමි වුණා. ගුවන් යානයට නැග වැඩි වේලාවක් යන්නට පෙර සෝබර්ස් විස්කි පානය කරන්නට පටන් ගත්තා. යාබද අසුනේ සිටි රංජිත් මත්පැන් පානය නොකළ නිසා සෝබර්ස්ට හොඳින් විනෝද වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු රංජිත් තරමක් දුරින් පිහිටි අසුනක වාඩි වී සිටි පර්සිට සිය අසුන ලබා දුන්නා. ඉන් අනතුරු ව සෝබර්ස් සහ පර්සි එකතු වී විස්කි පානය කළා. එදා සීමාව ඉක්මවා විස්කි පානය කළ සෝබර්ස් සිය අසුනින් නැගිට කැලිප්සෝ ගීත ගයමින් පර්සි සමඟින් නර්තනයේ යෙදුණා. එය පර්සිගේ ජීවිතයේ කිසිදා අමතක නොවන සිදුවීමක් බවට පත්ව තිබුණා. 

ගාෆීල්ඩ් සෝබර්ස් – gettyimages.com

 

3). 1984 ලෝඩ්ස් ටෙස්ට් තරගයේ රස කතා 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ 1984 අගෝස්තු මාසයේ දී සංචාරය කළා. එම සංචාරය යටතේ පැවති ටෙස්ට් තරගය ලෝඩ්ස් පිටියේ දී ක්‍රියාත්මක වුණා. ලෝඩ්ස් ටෙස්ට් තරගය ආරම්භ වන්නට දින කිහිපයකට පෙර පර්සි එංගලන්තය බලා පිටත්ව ගියා. ඊට පෙර ඔහු සිදත් වෙත්තමුණිගේ මහ ගෙදරට යන්න අමතක කළේ නැහැ.

එදා සිදත්ගේ වැඩිමහල් සොයුරු සුනිල් මුණගැසුණු පර්සි ඔහු හමුවේ පවසා සිටියේ “මල්ලිට කියන්න විශේෂ පණිවිඩයක් එහෙම තියෙනව නම් මට ඒක ගිහින් කියන්න පුළුවන්” යන වචන පෙළ යි. එය අසාගෙන සිටි සුනිල් පර්සි හමුවේ පවසා සිටියේ “මල්ලිට කියන්න මේ ටෙස්ට් එකේදි එයාට ශතකයක් වාර්තා කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ හින්ද ඒක මඟහැර ගන්න එපා” යන වචන පෙළ යි.

සුනිල් වෙත්තමුණි පන්දුවට පහරදෙන අවස්ථාවක් – gettyimages.com

 

 එංගලන්තය බලා ගිය පර්සි සිදත් වෙත්තමුණි හමුවීමට ගොස් ඔහුගේ සොහොයුරාගේ පණිවිඩය ලබා දුන්නා. ඉන් දින කිහිපයකට  පසු ආරම්භ වුණු  ටෙස්ට් තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එහි දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ සිදත් මුල සිට ම පන්දුවට හොඳින්  පහර දුන්නා. එමඟින් උද්දාමයට පත්වුණු පර්සි 

සිද…ත් 

අද…ත් 

හෙට…ත් 

පුළුවන් නම් අනිද්ද…ත් 

යන වචන පෙළ කියමින් සෑම විට ම කෑගසන්නට වුණා. එහි දී පර්සි සිදත්ගෙන් ඉල්ලා සිටියේ හැකි නම් එක දිගට දින 3ක් පන්දුවට පහරදෙන ලෙස යි. එදා පර්සිගේ දිරිගැන්වීම හමුවේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සිදත් දින 3ක් පුරා පන්දුවට පහරදෙමින් ලකුණු 190ක් ලබා ගත්තා. එය එම අවධියේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙක් ටෙස්ට් ඉනිමක දී ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

සිදත්ගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී සිය කණ්ඩායම දිරිමත් කරමින් සිටි පර්සිට ඇබැද්දියකට මුහුණ දීමට සිදුවුණා. ඒ පර්සි අත තිබුණු කොඩිය සුදු ජාතිකයකුගේ  මුහුණේ වැදීම නිසා යි. එම අවස්ථාවේ පර්සි සහ සුදු ජාතිකයා අතර ඇති වුණේ මෙවැනි උණුසුම් සංවාදයක්.

සුදු ජාතිකයා- උඹලගෙ රටේ කොඩියෙ ඉන්න මේ සතා මොකාද?

පර්සි- ඇයි උඹට ඒ සතා අඳුරගන්න බැරිද?

සුදු ජාතිකයා- අඳුරගන්න බැරි හින්ද තමයි ඇහුවෙ. මට නම් පේන්නෙ ඒ සතා බැටළුවෙක් වගේ

පර්සි- උඹලගෙ රටේ හැමතැනම බැටළුවො හිටියට අපේ රටේ කොහෙවත් බැටළුවො නැහැ. අපේ රටේ ඉන්නෙ නියම කකුල් දෙකේ සිංහයො. උඹලගෙ රටේ ඉන්න එක බැටළුවෙක් දැන් ඔය ක්‍රිකට් ටීම් එකටත් රිංගගෙන ඉන්නෙ. අන්න ඌ තමයි ඇලන් ලෑම්බ් (Alan Lamb)

යනුවෙන් පර්සි සිනාමුසු මුහුණින් පවසා සිටියා.

එංගලන්ත ක්‍රීඩක ඇලන් ලෑම්බ් – gettyimages.com

 

පර්සිගේ එම දරුණු වාග් ප්‍රහාරය හමුවේ සුදු ජාතිකයා පසු බැස ගියා. එපමණක් නොවවිශිෂ්ට දස්කම් දක්වමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමටත්  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

4). මොහොමඩ් අසාරුඩීන්ට ජප කළ මන්තරය 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ 1985 දී  සංචාරය කළා. එම තරග සංචාරය යටතේ ටෙස්ට් තරග 3ක් පැවැත්වුණා. ඉන්දීය කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවට පැමිණි මොහොමඩ් අසාරුඩීන් නම් පිතිකරුවා පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය එදා යොමුව තිබුණා. ඒ ඔහු සිය ටෙස්ට් තරග දිවියේ මුල් තරග 3දී ම ශතක ලබාගෙන සිටි නිසා යි. එනිසා අප රටේ පුවත්පත් ද අසාරුඩීන් ගැන මහා ඉහළින් වර්ණනා කළා. ඒ අතරතුර පර්සිට දැනගන්නට ලැබුණේ අසාරුඩීන් මන්තර සහ  හූනියම් පිළිබඳ දැඩි ව විශ්වාස කරන බව යි. 

මංගල ටෙස්ට් තරගාවලියේ දී දස්කම් දැක්වූ අසාරුඩීන්- gettyimages.com

 

ඔහුගේ එම දුර්වලතාවෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතූ පර්සි පිටකොටුවට ගොස් ඇට මාලයක් මිල දී ගත්තා. ඉන් අනතුරු ව ඇට මාලය කරේ දමාගත් පර්සි බොරු මන්තර ජප කරමින් අසාරුඩීන් මුළාවට පත් කළා. අසාරුඩීන් පුහුණුවීම් කළ වෙලාවට, ක්‍රීඩා විවේකාගාරයට වී සිටි වෙලාවට පමණක් නොව පන්දුවට පහරදෙන්නට පිටියට යන්නට සූදානම් වුණු අවස්ථාවලදීත් ඇට මාලය කරේ දමාගත් පර්සි අසාරුඩීන්ට පේන්නට මන්තර ජප කළා. පර්සිගේ එම අපූරු උපාය හින්දා ම අසාරුඩීන්ට එම තරගාවලියේ දී ශතකයක් තියා එකම එක අර්ධ ශතකයක්වත් වාර්තා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.  

අසාරුඩීන් 1985 ටෙස්ට් තරගාවලියේ දී දැවීගිය අවස්ථාවක් – cricfinity.com

 

1985 දි පර්සි කළ දේවල් අසාරුඩීන්ට කිසිදා අමතක වුණේ නැහැ. ඊට අවුරුදු 8කට පසුව එනම් 1993 දී ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම යළිත් වරක් අප රටට පැමිණියා. ඒ වන විට අසාරුඩීන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් සිටියා. එදා ඔහු පවසා සිටියේ පර්සි නම් ක්‍රිකට් ප්‍රේක්ෂකයාගේ නොහික්මුණු කෑගැසීම් නිසා සචින් ටෙන්ඩුල්කාර් වැනි තරුණ ක්‍රීඩකයන් මානසිකව වැටීමට ඉඩ ඇති බවයි.

එහි දී අසාරුඩීන් තර්ජනාත්මක අයුරින් පවසා සිටියේ එවැනි දෙයක් සිදුවුණොත් පර්සිට එරෙහි ව තරග තීරකවරයාට පැමිණිලි කිරීමට තමන් පසුබට නොවන බව යි.   අසාරුඩීන් හමු වීමට ගිය පර්සි ඔහු හමුවේ පවසා සිටියේ ඉන්දියාවේ වගේ පිට්ටනියට බෝතල්වලින් ගහන මොළේ නැති මිනිසුන් මෙරට නැති බව යි. පර්සිගේ එම දරුණු වාග් ප්‍රහාරය හමුවේ අසාරුඩීන්ට පසුබැසීමට සිදුවුණු බව කිව යුතු යි.

සචින් ටෙන්ඩුල්කාර් එදා – gettyimages.com

 

5). ජාවෙඩ් මියැන්ඩාඩ්ගෙන් ලැබුණු උදව්ව 

1989/90 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් ත්‍රිත්වය සහභාගි වුණා. එම තරගාවලිය යටතේ පැවති පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වන තරගය මෙල්බර්න් පිටියේ දී ක්‍රියාත්මක වුණා. ඊට පෙර දිනයේ එම තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට ගිය පර්සිට දැකගන්නට ලැබුණේ ඒවා සියල්ල අලෙවි වී ඇති බව යි.

ඒ මොහොතේ ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් හමුවීමට ගිය පර්සි තරගයේ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීම සඳහා උපකාරයක් ඉල්ලා සිටියා. එවිට බෝඩර් කාරුණික ව පවසා සිටියේ ඔහු සතු ව තිබුණු ප්‍රවේශ පත්‍ර හිතවතුන් කිහිපදෙනකුට ලබාදීමට පොරොන්දු වී සිටින බව යි. එනිසා පාකිස්තානු ක්‍රීඩකයෙක් හරහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට උත්සාහ කරන මෙන් පර්සිට ඔහු උපදෙස් දුන්නා. 

ඇලන් බෝඩර් – gettyimages.com

 

1986 දී කොළඹ ක්‍රීඩා සමාජ පිටියේ පැවති ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් තරගයේ දී මියැන්ඩාඩ් ශ්‍රී ලංක ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සමඟින් ගැටුමක් ඇති කර ගත්තා. ඒ මොහොතේ පර්සි මියැන්ඩාඩ් වෙනුවෙන් කතා කළ නිසා ඔවුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇති වුණා. එනිසා පර්සි මියැන්ඩාඩ්ට දුරකථනයෙන් කතා කිරීමට තීරණය කළා.

මියැන්ඩාඩ්ට කතා කළ පර්සි ඔහු ඇතුළු සිව් දෙනකුට තරග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට උපකාර කරන මෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම ඉටු කළ මියැන්ඩාඩ් පර්සි සහ ඔහුගේ මිතුරන් වෙත විශේෂ තරග ප්‍රවේශ පත්‍ර 4ක් එවා තිබුණා. ජාවෙඩ් මියැන්ඩාඩ් වැනි විශිෂ්ට ක්‍රීඩකයෙක් කළ එම උපකාරය තමන්ට ලැබුණු විශාල ගෞරවයක් බව පර්සි පසු කාලයක පවසා තිබුණා. 

ජාවෙඩ් මියැන්ඩාඩ් – gettyimages.com

කවරයේ ඡායාරූපය - පර්සි අබේසේකර ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරමින් - gettyimages.com

මූලාශ්‍ර:

I’M Percy Cricket Crazy

espncricinfo.com

howstat.com

Benson and Hedges Cricket Year Book- 1984

percyabeysekera.com

Related Articles