Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වියට්නාම් වනාන්තරයේ සැඟවුණු මැරීන් වෙඩික්කරුවා – කාර්ලෝස් හැත්කොක්

යුධ පිටිය තුළ සැඟවී සතුරු හමුදා සාමාජිකයන්  විශාල ගණනක් ඝාතනය කරමින්  තම හමුදා ඛණ්ඩයේ සාමාජිකයන්ව බේරා ගත් ස්නයිපර් වෙඩික්කරුවන් කිහිපදෙනක් පිළිබඳව roar සිංහල පිටුවෙන් ඔබ වෙත අපි ගෙන ආවා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ අංක එකේ ස්නයිපර් වෙඩික්කරු නීරෝ, සතුරු හමුදා අන්දමන්ද කල ප්‍රහාරකයා – “ධවල මරණය” හෙවත් සිමෝ හයිහා හා ඇමරිකානු මැරීන් බළකායේ ක්‍රිස් කයිල් හෙවත් “රාමඩියේ යක්ෂයා”, එවැනි විශිෂ්ට ස්නයිපර්කරුවන් අතරින් කිහිපදෙනෙක්.

ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්න අදහස් කරන්නේ තවත් එවැනි විශිෂ්ට ස්නයිපර් වෙඩික්කරුවෙක් පිළිබඳවයි. ඇමරිකා-වියට්නාම් යුධ සමයේදී වියට්නාම් ගරිල්ලා භටයන් විශාල ප්‍රමාණයක් පරලොව යැවූ ඔහු කාර්ලෝස් හැත්කොක් (Carlos Norman Hathcock) නම් ඇමරිකානු මැරීන් බළකා සාමාජිකයෙකි. ඇමරිකානු රජය විසින් ඔහුව යුධ විරුවෙක් ලෙස නම් කර ඇති අතර මෙම ලිපියෙන් දිග හැරෙන්නේ ඔහුගේ විශිෂ්ටත්වය පිළිබඳවයි.

වයස අවුරුදු දහයේ දඩයක්කරුවා

1942 වසරේ මැයි 20 වනදා ඇමරිකාවේ පලාස්කි හි (Pulaski) උපත ලබන කාලොස් හැත්කොක්ගේ පියා වන්නේ කලක් දුම්රිය සේවකයෙක් ලෙසද තවත් වරෙක වෑද්දුම්කරුවෙක් ලෙසත් කටයුතු කල කාර්ලෝස් (Carlos ) නම් පුද්ගලයෙකි. මව ඇග්නස් හැත්කොක් (Agnes Hathcock) නම් කාන්තාවකි. කුඩා කල සිටම තම පියාගේ ගිනි අවිය භාවිතා කිරීමට පුරුදු පුහුණු වූ ඔහුට ඉතා කෙටි කලෙකින් ගිනි අවි වර්ග කිහිපයක් හැසිරවීමේ හැකියාව ලැබෙනවා. වයස අවුරුදු 10 වන විට මේ කුඩා කොලු ගැටයා රයිෆලයක් ගෙන දඩයමට ගිය අතර එමගින් පවුලේ ආහාර අවශ්‍යතාවය පවා සම්පූර්ණ කිරීමට ඔහුට හැකියාව ලැබෙනවා.

“විම්බල්ඩන් කුසලාන” වෙඩි තැබීමේ තරඟාවලිය ජයගත් මැරීන් භටයා

United States Marine Corps (National Marker Company

දෙමව්පියන් වෙන් වීම නිසා තම අත්තම්මා සමඟ හැදී වැඩුණු ඔහු වයස අවුරුදු 17දී ඇමරිකානු මැරීන් බළකායට (United States Marine Corps) ඇතුළත් වීමේ තම සිහිනය සැබෑ කර ගන්නවා. ඉතා දක්ෂ ලෙස ඉලක්කයට වෙඩි තබන්නෙක් වූ කාර්ලෝස් 1965 වසරේදී ඉලක්කයට වෙඩි තැබීමෙන් වාර්තාවක් පිහිටුවන්නේ වෙඩි තැබීම් 250කින් 248ක් සාර්ථක පරාසයේ වෙඩි තැබීම් ලෙස සනිටුහන් කරමින්.

තවද 1965 වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වුණු ඇමරිකා ජාතික රයිෆල් වෙඩි තැබීමේ තරඟය හෙවත් විම්බල්ඩන් කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කිරීමට කාර්ලෝස් සමත් වෙනවා.

පළමු මැරීන් බළකායේ ස්නයිපර්වරයෙක් ලෙස වියට්නාම් යුද්ධයට

වියට්නාමයට ගොඩ බසින ඇමරිකානු භටයන් (nydailynews.com)

කාර්ලෝස් හැත්කොක්ගේ දක්ෂතාවය වඩා හොදින් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ ඇමරිකාව විසින් වියට්නාමය ආක්‍රමණය කිරීමේ යුද්ධයේදීයි. උතුරු වියට්නාම් හමුදා භටයන් හා වියට්කොංග් ගරිල්ලා භටයන් 300 – 400 අතර ප්‍රමාණයක් තමන් විසින් මරා දමා ඇති බව ඔහු විසින් සදහන් කරනවා. නමුත් එම සමයේදී ඝාතනය කළ සතුරන් ගණන හරිහැටි වාර්තා නොවීම හේතුවෙන් සනාථ කළ ඉලක්ක ගණන 93ක් ලෙසයි දැක්වෙන්නේ.

වියට්නාම් ගරිල්ලට මහත් හිසරදයක් වූ කාර්ලෝස් හැත්කොක් ඔවුන් විසින් හදුන්වන්නේ “White Feather” ලෙසයි. ඒ කාලොස් විසින් නිතරම තම හිස් වසුමේ සුදු පැහැති පිහාටුවක් පැළඳ සිටීම හේතුවෙන්. තවද එකල උතුරු වියට්නාම් හමුදාව විසින් ඇමරිකානු ස්නයිපර්වරයකුගේ හිසක් රැගෙන එන්නාට ඇමරිකානු ඩොලර් 2000ක පමණ මුදල් ත්‍යාගයක් පිරිනමන බව සදහන් කරන නමුත්  White Featherගේ හිස රැගෙන එන්නෙකුට ගෙවන ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 30 000ක් ලෙස ප්‍රචාරය කරනු ලබනවා.

වෙඩි තැබීම් සඳහා ඉලක්ක ගැනීමේදී බොහෝ විට ඔහු විසින් යොදා ගනු ලබන්නේ හිමිදිරි කාලය හා සවස් කාලයයි. මේ පිළිබඳව වරෙක අදහස් දක්වමින් ඔහු විසින් ප්‍රකාශ කරනු ලබන්නේ උදෑසන කාලයේදී දිගු නින්දකින් පසුව සිනහවෙමින් දුම් බොමින් සතුරන් අවධානයෙන් නොසිටින බවත් සවස් කාලයේදී මහන්සි වී හෙම්බත් වීම හේතුවෙන් ඔවුන් අවධානයෙන් නොසිටින බවත්ය.

දින තුනක් බඩගා ගොස් උතුරු වියට්නාම් හමුදා ජෙනරාල්වරයා ඝාතනය කිරීම

1968 දී වියට්නාම් සටන් පෙරමුණේ සිටින කාලොස්

කාර්ලෝස් හැත්කොක් විසින් වියට්නාම් යුධ සමයේ ලබා ගත් වටිනාම ඉලක්කය ලෙස දිගු මෙහෙයුමකින් පසු උතුරු වියට්නාම් හමුදා ජෙනරාල්වරයකු ඝාතනය කිරීම හදුන්වා දිය හැකියි. දින හතරක් හා රාත්‍රීන් තුනක් තිස්සේ නිදා නොගෙන හා ආහාර පවා ලබා නොගෙන  විවෘත භූමියක් ඔස්සේ එකදිගට බඩගාමින් යන කාර්ලෝස් තම ඉලක්කය එක වෙඩි උණ්ඩයක් වැය කරමින් සාර්ථක කර ගන්නේ එය ජෙනරාල්වරයාගේ හදවත පසාරු කර යවමින්. ඔහු එලෙස ගමන් කල දුර කිලෝමීටර් දෙකක් පමණ වෙනවා. සතුරු භටයෙකුට හසු නොවීම පිණිස එම දුරම නැවතත් බඩගා පැමිණීමට ඔහුට සිදු වෙනවා.

කාලොස්ගේ උණ්ඩයට හසු වූ වියට්නාම් ගරිල්ලා නායිකාවක් වන අපාචි (Apache)

කාලොස් හා ඔහුගේ සහයකයා වියට්නාමයේදී (wideopenspaces.com)

1966 වසර තුළදී වියට්කොංග් ගරිල්ලන්ට හසු වූ ඇමරිකානු මැරීන් භටයන් මරා දමන ලද්දේ ඉතා කෘර වදහිංසා වලට ලක් කිරීමෙන් අනතුරුවයි. සම ගලවා දමා, නියපොතු, ඇස් හා කන් උගුල්ලා දැමීමෙන් පසුව මැරීන් භටයන් මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ගරිල්ලා නායිකාවක් වන අපාචි ප්‍රසිද්ධව සිටියා. ඇය පරපීඩාකාමය (Sadism) යොදාගනිමින් සෙබළුන්ට වේදනා ඇති කරවූ ගරිල්ලා නායිකාවක් ලෙසත් හදුන්වනු ලබනවා.

දින කිහිපයක් තිස්සේ අපාචි ගොදුරැ කර ගැනීමට උත්සාහ දරන කාලොස්ගේ ස්නයිපරයට ගරිල්ලා නායිකාව හසුවන අතර එයින් නිකුත් වූ දෙවැනි උණ්ඩයෙන් ඇයව මරා දැමීමට ඔහුට හැකියාව ලැබෙනවා. අපාචිට වැඩිපුරම හසු වූයේ කාර්ලෝස්ගේ බළකායේ සෙබළුන් වූ බැවින් ඇයත් සමඟ තමන්ට පෞද්ගලික වෛරයක් තිබු බව කාලොස් සදහන් කරනවා.

කාර්ලෝස්ට​ එරෙහිව කෝබ්‍රා

උතුරු වියට්නාම් හමුදාව සතුව සිටි දක්ෂම ස්නයිපර් තුවක්කුකරුවා කාර්ලෝස්ව​ මරා දැමීම සඳහා යෙදවීමට වියට්නාම් හමුදා නායකයින් විසින් තීරණය කරනවා. ඔහුව හදුන්වන ලද්දේ කෝබ්‍රා නමින්. මේ වන විටත් කෝබ්‍රා විසින් මැරීන් ස්නයිපර්වරුන් කිහිපදෙනෙක්ම ඝාතනය කර තිබුනා. නමුත් කෝබ්‍රාට වඩා ඉක්මන් වූ කාර්ලෝස් හැත්කොක් උතුරු වියට්නාම් හමුදාවේ දක්ෂතම ස්නයිපර්වරයාව විනාශ කිරීමට සමත් වෙනවා.

1969 වසරේදී වියට්නාමයේදී ඔහු හා තවත් මැරීන් භටයන් හත්දෙනක් ගමන් කළ රථයක් යුධ ටැංකි නාශක බිම් බෝම්බයකට හසුවෙන අතර මේ හේතුවෙන් කාර්ලෝස් බරපතළ පිළිස්සුම් තුවාල ලබනවා. ඔහුගේ ශරීරයේ මතුපිට සමෙන් සියයට හතලිහක ප්‍රමාණයක් පිළිස්සී යනවා. අනෙකුත් භටයන් මෙම ප්‍රහාරයෙන් පසුව මුදා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහුට පසුව ඇමරිකානු රජයෙන් “Silver Star” පදක්කම හිමි වෙනවා. ප්‍රහාරය හේතුවෙන් ස්නයිපර් දිවියට සමුදෙන කාර්ලෝස් නැවතත් ඇමරිකාව බලා පැමිණෙනවා.

පුහුණු උපදේශකයෙක් ලෙස

විශ්‍රාම ගැනීමෙන් පසුව (The Virginian-Pilot)

ඇමරිකාවට පැමිණි ඔහු ක්වොන්ටිකෝ හි (Quantico) ආරම්භ කරන ලද මැරීන් බළකා ස්නයිපර් පුහුණු පාසලේ උපදේශකයෙක් ලෙස තම දැනුම හා අත්දැකීම් ඉදිරි පරපුර වෙත ලබා දෙනවා. තවද පොලිස් හා හමුදා ඛණ්ඩයන් පුහුණු කිරීමද ඔහු විසින් සිදු කරනවා.1975දී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝගයකට ඔහුව ගොදුරුව ඇති බව වෛද්‍යවරුන් විසින් සොයා ගන්නා අතර එම රෝගය හේතුවෙන් 1999 වසරේ පෙබරවාරි මාසයේ 22 වන දින ඇමරිකාවෙන් බිහි වූ මේ විශිෂ්ට ස්නයිපර්වරයා මරණයට පත්වෙනවා.

කවරයේ ජායාරූපය – Guide Outdoors – Sportsman’s Guide

Related Articles