චීන නැව ගැන අප අනුගමනය කළ විදෙස් ප්‍රතිපත්තිය සමබරද?

කිසියම් රාජ්‍යයක් ආර්ථික අර්බුදයක ගිලී පවතින විට එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බලපාන වැදගත් සාධකයක් තිබෙනවා. ඒ අදාළ රාජ්‍යය අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය යි. රාජ්‍යයක් පවත්වා ගෙන යන විදේශ සබඳතා සහ එම සබඳතාවල සමබරතාව අනුව ලෝක දේශපාලනයේ ඔවුන්ට හිමි භූමිකාව තීරණය වනු ඇති. විශේෂයෙන් ම භූ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් පිහිටුමක සිටින රාජ්‍යයකට මේ සමබරතාව ඉතා වැදගත්. නැතහොත්, බල කඳවුරු අතර පවත්නා නොනවතින බල අරගලයකට ඔවුන් මැදි වෙනවා.

 ශ්‍රී ලංකාවත් භූ දේශපාලනික වැදගත්කමක් දරන ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක පිහිටි රාජ්‍යයක්. එමෙන් ම, අප සිටින්නේ උග්‍ර ආර්ථික අර්බුදයක් ද මැද යි. ඉඳහිට පැමිණෙන ගෑස් නෞකාවකින් සහ ඉන්ධන නෞකාවකින් දෛනික කටයුතු කෙසේ හෝ පවත්වා ගෙන යනවා විනා පැහැදිලි ආර්ථික විසඳුමක් පිළිබඳ කතිකාවතක් අපට තව ම ඇසෙන්නේ නැහැ.

කලාපීය මට්ටමෙන් ඇති වූ උණුසුම සැලකිල්ලට ගනිමින් මහජන චීන‍ය සහ ශ්‍රී ලංකා රජය යුවාන් වැන්ග් 5 නෞකාවේ ආගමනය හැකිතාක් “සාමාන්‍යකරණය” කිරීමට උත්සහ කළා.www.globaltimes.cn 

 රට තුළ පවත්නා දේශපාලන ස්ථාවරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ අවම විශ්වාසයක් පැවතීම සහ එම විශ්වාසය දිනා ගැනීමේ පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බැවින්, විදේශ ණයක් ගැනීමේ දී පවා ශ්‍රී ලංකාව අනවරත අභියෝගවලට මුහුණ දෙනවා. එබැවින්, ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාවක් අප හමුවේ අද මතු වී තිබෙනවා.

කලාපීය සගයා

 ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා සැලකීමේ දී “ඉන්දියාව” මඟ හැරයා නොහැකි සාධකයක් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙ යි. අපගේ කලාපීය බලවතා වන්නේ ඉන්දියාව යි. කලාපීය බලවත්කමට එහා ගිය සංස්කෘතික, සමාජීය සහ ආර්ථික සබඳකමක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙනවා. එබැවින්, ලෝක දේශපාලනය තුළ අප ගන්නා තීරණ සහ අපගේ නැඹුරුතා හමුවේ ඉන්දියාව දක්වන සෘජු ප්‍රතික්‍රියා අපට කිසිසේත් බැහැර කළ නොහැකි යි.

මේ දිනවල හම්බන්තොට වරායේ නැංගුරම් ලා ඇති චීන පර්යේෂණ නෞකාව සම්බන්ධයෙනුත් ඉන්දියාව එලෙස ප්‍රතික්‍රියා දක්වා තිබුණා. අමෙරිකා එක්සත් ජනපදයත් ඒ පිළිබඳ ව සිටියේ දැඩි විමසිල්ලකින්. නෞකාව අරබයා මේ සියලු පාර්ශව දැක්වූ ප්‍රතික්‍රියා තරමක් අර්බුදකාරී යි. ආර්ථික අවපාතයක් ඇති රාජ්‍යයකට එය කිසිසේත් ම සුදුසු නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ආර්ථික අර්බුද මැද අපගේ විදෙස් සබඳතා වල සමබරතාවයත් ගිලිහී යාමේ අවදානමක් මතු ව තිබෙනවා – www.thehindu.com 

 ආන්දෝලනයට තුඩු දුන් යුවාන් වැන්ග් 5

 ආන්දෝලනයට තුඩු දුන් මෙම චීන නෞකාව හඳුන්වන්නේ “යුවාන් වැන්ග් 5” යනුවෙන්. දැනට වාර්තා වන අන්දමට නෞකාව අගෝස්තු 22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබෙනු ඇති. පර්යේෂණ කටයුතු සඳහා විශේෂයෙන් සැලසුම් කොට ඇති බැවින්, “යුවාන් වැන්ග් 5” කලාපීය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ඉන්දියාව ආරම්භයේ සිට ම අනතුරු හැඟවූවා. ශ්‍රී ලංකාව බලවත් කඳවුරු දෙකක් අතර ගැටලුවකට නිරපරාදේ මැදි විය හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයන් පෙන්වා දුන්නේ ඒ නිසා යි. 

කෙසේ නමුත්, චීන රජය පවසා සිටින්නේ නෞකාවට අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් සේවා ලබා ගැනීම සඳහා හම්බන්තොට වරායට ඇතුළත් වූ බව යි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ද නෞකාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කොට තිබෙනවා. පැහැදිලි කිරීමට අනුව නෞකාවේ ආගමනය සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ශ්‍රී ලංකා රජයෙන් චීනය අපේක්ෂා කර තිබුණා. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යන රාජ්‍ය ආයතනවලින් ලැබෙන අදාළ අවසර ප්‍රකාර ව නෞකාව හම්බන්තොට වරායට සේන්දු වූ බව යි පැවසෙන්නේ. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ ස්වයංක්‍රීය හඳුනා ගැනීමේ පද්ධතිය ක්‍රියාත්මක කර තබා ගැනීම සහ ශ්‍රී ලංකා මුහුදේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් සිදු නොකළ යුතු යි යන කොන්දේසි පවා එහිදී ඉදිරිපත් වූ බව සඳහන්.  

කලාපීය මට්ටමෙන් ඇති වූ උණුසුම සැලකිල්ලට ගනිමින් මහජන චීන‍ය සහ ශ්‍රී ලංකා රජය නෞකාවේ ආගමනය හැකිතාක් “සාමාන්‍යකරණය” කිරීමට උත්සහ කළත්, ඉන්දියාව සිටින්නේ තරමක කනස්සල්ලකින්.

හම්බන්තොට වරාය – www.indiatoday.in 

යුවාන් වැන්ග් 5 නෞකාවේ විශේෂතා

යුවාන් වැන්ග් 5 නෞකාවේ මෙරට ආගමනය සම්බන්ධ ව ඉන්දියාවේ කනස්සලු ස්වභාවය කොතෙක් සාධාරණ දැ යි සොයා බැලීමත් වැදගත්. ඒ සඳහා “යුආන් වැන්ග් 5” සැලසුම් වී ඇති ආකාරය තරමක් දුරකට තේරුම් ගැනීමට සිදු වෙනවා.

 2007 වර්ෂයේ ඉදි කළ “යුආන් වැන්ග් 5” නෞකාවේ සමස්ත දිග මීටර් 222 ක් වන අතර, පළල දැක්වෙන්නේ මීටර් 25.2 වශයෙන්. එහි රැගෙන යා හැකි උපරිම ධාරිතාව ටොන් 11,000 ක්. “යුආන් වැන්ග්” ශ්‍රේණියේ තුන්වන පරම්පරාවට අයත් මෙම නෞකාව, ලුහුබැඳීමේ නෞකා (Tracking ship) ගණයට අයත් වෙනවා. ඒ අනුව හම්බන්තොට වරායට පැමිණි “යුවාන් වැන්ග් 5”, ද්විත්ව-භාවිත නෞකාවක් ලෙස හැඳින්විය හැකි යි. විද්‍යාත්මක අරමුණු වෙනුවෙන් භාවිතා වන පර්යේෂණ නෞකාවක් මෙන්ම බැලස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා නිරීක්ෂණ නෞකාවක් ලෙසත් “යුවාන් වැන්ග් 5” ක්‍රියා කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මෑතක දී මෙම නෞකාව “Wentian” ලෙස හඳුන්වන රසායනාගාර කුටි මොඩියුලය දියත් කිරීම සඳහා සමුද්‍රීය නිරීක්ෂන මෙහෙයුමක් සාර්ථකව නිමා කළා. අදාළ රසායනාගාර කුටි මොඩියුලය දැන් චීනයට අයත් ටියැංගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධිත ව පවතිනවා.

 ආන්දෝලනාත්මක නෞකාව මේ දක්වා නාවික සැතපුම් පන් ලක්ෂ අසූ දහසකට (5,80,000කට) වැඩි දුරක් ආරක්ෂිත ව යාත්‍රා කර තිබෙනවා. 2020 වර්ෂයේ දී එය දින 81 කට වැඩි කාලයක් “Long March-5B” රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීම සඳහා පැසිෆික් සාගරයේ සමුද්‍රීය මිනුම් කටයුතුවල යෙදුණු අතර, ජාත්‍යන්තර වරාය කිහිපයක් හරහා නාවික සැතපුම් විසි දහසකට (20,000) කට අධික දුරක් ගමන් කළා.

නෞකාවේ ගමන් මාර්ගය “India Today” වාර්තා කර තිබූ ආකාරය – www.indiatoday.in 

ඉන්දියාවට “යුආන් වැන්ග් 5” දැනෙන හැටි

දශක කිහිපයක පටන් නිරන්තර දේශසීමා ආරවුල් සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගන්නා පාර්ශව දෙකක් ලෙස චීනය සහ ඉන්දියාව හැඳින්විය හැකි යි. මෙවැනි සන්දර්භයක් මැද චීනය සේවයේ යොදවා ඇති නවීනත ම නෞකාවක් ඉන්දියාවේ දොරකඩ අසලට ම වාගේ පැමිණීම ඔවුන්ට තර්ජනයක් සේ පෙනීම සාමාන්‍ය යි.

නෞකාවට නීරික්ෂණය කළ හැකි ගුවන් ප්‍රවේශය කිලෝමීටර් 750 කට වඩා වැඩි අතර, දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කූඩන්කුලම් වැනි පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථාන පවා එම සීමාවට හසු වෙනවා. මීට අමත රව, කේරළ, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන ඉන්දීය ප්‍රාන්තවල වැදගත් වරායන් ද පිහිටන බැවින්, ඉන්දියාවේ මර්මස්ථාන රැසක තොරතුරු රැස්කර ගැනීමේ හැකියාවක් “යුආන් වැන්ග් 5” නෞකාවට තිබෙන බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කළා. 

 උද්ගත වන අවදානම වටහා ගත් ඉන්දීය රජය, නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට දින ගණනාවකට මත්තෙන් ප්‍රතිචාර දැක්වීම ආරම්භ කළා. තම ආරක්ෂාවට සහ ආර්ථික අරමුණුවලට බලපාන ඕනෑම අවදානමක් සමීපව නිරීක්ෂණය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි එහිදී පැවසූ අතර, ඊට ප්‍රතිචාරයක් වශයෙන් සිය නිත්‍යනුකූල නාවික කටයුතු  සඳහා “ඉන්දියාව ඇතුළු පාර්ශව මැදිහත් නොවේවි” යන අපේක්ෂාවේ සිටින බව චීනය ප්‍රකාශ කළා.

“ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස්” යන භූ දේශපාලනික කල්පිතයෙන් සළකන ව්‍යාපෘති වල භූගෝලීය පිහිටීම් එකිනෙක යා කළොත්, ඒවා ඉන්දියාව වටා ගෙතුණු මාලයක් මෙන් දර්ශනය වෙනවා – www.indiatimes.com 

“ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස්”

 චීනයේ මැදිහත්වීමෙන් ඉදි කළ හම්බන්තොට වරාය ඉන්දියාවට සමීප හමුදා කඳවුරක් ලෙස භාවිත වනු ඇතැයි ඉන්දියාව කලක සිට බියෙන් පසු වුණා.  ඉන්දියන් සාගරයට මායිම් වන රටවල් කිහිපයක මුදල් ආයෝජනය කරමින් විශාල ව්‍යාපෘති ඇරඹීමට චීනය පසුගිය දශකය තුළ උත්සහ කළ අතර, ඒ ආයෝජන සියල්ලම බටහිර කඳවුර සහ ඉන්දියාව දුටුවේ වෙනස් ම කෝණයකින්. ඔවුන් මෙම චීන ව්‍යාපෘති අර්ථ දැක්වූයේ “ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස්” යන භූ දේශපාලනික කල්පිතයේ කොටස් වශයෙන්. මේ එක් එක් ව්‍යාපෘතිවල භූගෝලීය පිහිටීම් එකිනෙක යා කළොත්, ඒවා ඉන්දියාව වටා ගෙතුණු මාලයක් මෙන් දර්ශනය වෙනවා. අදාළ සිතියම නිරීක්ෂණය කිරීමෙන් ඔබටත් ඒ පිළිබඳ ව යම් අවබෝධයක් ලබාගත හැකි යි.

 බලශක්ති සුරක්‍ෂිතතාව‍ සහ ආර්ථික සමෘද්ධිය උදෙසා බොහෝ රටවලට ඉන්දියන් සාගරය හරහා නාවික කටයුතුවල යෙදීමට සිදු වෙනවා. ඒ අනුව ඉන්දියන් සාගර කලාපය තුළ වැඩි වශයෙන් බලය තහවුරු කර ගන්නා කඳවුරට ලෝක දේශපාලනයේ වැදගත් භූමිකාවක් නිරායාසයෙන්ම හිමි වනු ඇති. පසුගිය දශක පහ තුළ මෙම කලාපයේ ආධිපත්‍යය වැඩි වශයෙන් ඉන්දියාව සහ බටහිර කඳවුර අතර බෙදී ගිය බවක් පෙනෙන්නට තිබුණා. ප්‍රධාන භූමියට අමතර ව දූපත් කිහිපයක් මේ ප්‍රබලයන් සතු ව පැවතීමෙන් ආධිපත්‍යය කළමනාකරණය කිරීමටත් පහසු වුණා.

සහයෝගී ආධිපත්‍යයක්

මෙය එක්තරා ආකාරයකින් සහයෝගී ආධිපත්‍යයක් ලෙස හැඳින්විය හැකි යි. භූගෝලීය පිහිටීම සැලකීමේ දී සාගර කලාපයේ පවත්නා බල තුලනයට සෘජු මැදිහත්වීමක් දැක්විය හැකි ප්‍රබලයා ඉන්දියාව බැවින්, ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම එක්සත් ජනපදය ඇතුළු බටහිර කඳවුර තේරුම් ගෙන තිබුණා. කෙසේ නමුත්, චීනය එහි පැමිණෙන්නේ හුදෙකලා තරගකරුවෙක් ලෙසට යි. ඔවුන් ගේ උපාය මාර්ගික දක්ෂතාවත් විශිෂ්ට යි. ඉන්දියාව සැබවින් ම කලබල වී තිබෙන්නේ නෞකාවෙන් එල්ලවේයැ යි සැක කෙරෙන ආරක්ෂක තර්ජනවලටත් වඩා සිය ආධිපත්‍යට එල්ල විය හැකි බලපෑම සම්බන්ධයෙනු යි. 

ඉන්දියන් සාගරය තුළ පවත්නා භූ දේශපාලනික උණුසුම ගැන යම් අවබෝධයක් මෙම සිතියමෙන් ලබාගත හැකි යි – www.hitbrother.com 

සමබරතාව ගිලිහෙමින් යන විදෙස් ප්‍රතිපත්ති

ලෝක බලවතුන් පමණක් නොව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂකයන් ද “යුආන් වැන්ග් 5” නෞකා ආගමනය සම්බන්ධයෙන් දරන්නේ එතරම් යහපත් අදහස් නොවෙයි. ඇතැම් විශ්ලේෂකයන් එය සලකන්නේ ඉන්දියාව ප්‍රකෝප කිරීමේ ක්‍රියාවක චීනය නිරත වන බව යි. ආන්දෝලනාත්මක නෞකාව සඳහා ශ්‍රී ලංකාව ප්‍රවේශය ලබා දීමෙන් එම ප්‍රකෝපකාරී ක්‍රියාවට ශ්‍රී ලංකාවත් වක්‍රාකාරයෙන් හසු වූ බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙරට මුහුණ දුන් උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් මානුෂවාදී ආධාර ලබා දීමට ඉන්දියාව පසුගිය මාස හය තුළ ක්‍රියා කළා. එහි මූල්‍ය වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන හතරකට ආසන්න යි. මේ ඉක්මන් ප්‍රතිචාරය නිසා ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව කෙරෙහි ඉක්මන් ප්‍රසාදයක් වර්ධනය කර ගැනීමට මෝදි රජය සමත් වුණා.

 කලාපීය බලවතෙක් ලෙස තම කලාපයේ හටගත් ගැටලුවකට ඉන්දියාව සාධනීය මැදිහත් වීමක් දැක්වූ බව මෙහිදී අපට පිළි ගැනීමට සිදු වෙනවා. පසුගිය කාලය තුළ චීනය එවැනි සාධනීය මැදිහත්වීමක් දැක්වූයේ නැහැ. එවන් පසුබිමක් මැද කලාපීය ආරක්ෂක ගැටලුවක දී ශ්‍රී ලංකාව හැසිරුණු ආකාරය තුළ පැහැදිලි ප්‍රශ්නාර්ථයක් ගැබ් වී තිබෙනවා.

උපාය මාර්ගික විදේශ ප්‍රතිපත්තියක්

 සැබැවින්ම සිදු විය යුත්තේ ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයත්, ක්ෂණික සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවත්, යන සාධක දෙකම සමබර කළ හැකි උපාය මාර්ගික විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම යි. ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රියාකාරිත්වය දෙස බලන කල අපගේ විදෙස් සබඳතා එක් කඳවුරකට ආන්තික වීමේ අවදානමක් තිබෙනවා. මුළු ලෝකය ම දේශපාලනික වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් උණුසුම් වී ඇති මොහොතක එලෙස ආන්තික වීම කිසිසේත් ම සුදුසු වන්නේ නැහැ. අනෙක් අතට, නිදහසින් පසු මුහුණ දෙන දැවැන්ත ම අභ්‍යන්තර ගැටලුව හරහා යි අප ගමන් කරමින් සිටින්නේ. ඉතින්, අපගේ විදේශ ප්‍රතිපත්ති නැවත අලුතෙන් ම සමාලෝචනය කිරීමේ කාලයක් නොවේද මේ පැමිණ තිබෙන්නේ..?

Related Articles