Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණ සමාගම් දණ ගැස්වූ ඩොට් කොම් බුබුළ

ලෝක ආර්ථිකයට කාලෙන් කාලෙට විවිධ බලපෑම් එනවා. ආර්ථික අවපාත ඇතිවීම් වසර කිහිපයකට වරක් සිදුවීම දකින්න පුළුවන්. ඇතැම් වෙලාවට එවැනි අවපාතයකට හේතුව වෙන්නේ කොරෝනා වගේ වසංගතයක් වන්න පුළුවන්. එසේත් නැතිනම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ වෙනත් ව්‍යසනකාරී සිදුවීමක් වන්නට පුළුවන්. මේ කිසිවක් නොවී ආර්ථිකයේ ම තියෙන දුර්වලතා නිසා කඩාවැටීම්වලට නිරන්තරයෙන් ලක්වෙනවා. 1990 අග භාගයේදී නිර්මාණය වුණු බුබුළු ආර්ථිකයක් නිසා ලෝකයේ තාක්ෂණික සමාගම්වල විශාල පසුබෑමක් ඇතිවුණා. ඒ ගැනයි මේ ලිපිය.

බුබුළු ආර්ථිකය

ඩොට් කොම් බුබුල ගැන කතා කරන්නට කලින් බුබුළු ආර්ථිකයක් එහෙමත් නැත්තම් ආර්ථික බුබුලක් (Economic Bubble) කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කර ගනිමු. බුබුළක් කියන්නේ පිම්බිලා තියෙන ඒත් තාවකාලික දෙයක් කියන එක යි. ආර්ථික චක්‍රයක් වුණත් කෙටි කාලයකින් වේගවත් වර්ධනයක් පෙන්වලා නැවත හැකිළී යාම ආර්ථික බුබුළක් කියලා අප හඳුන්වනවා.

බුබුළු ආර්ථික තත්ත්ව නිරන්තරයෙන් ඇති වෙනවා. ටියුලිප් මල් සම්බන්ධව 1630 ගණන් වලදී ඇතිවුණු බුබුළු ආර්ථිකය ලෝකයේ ප්‍රසිද්ධ ආර්ථික බුබුළක්. ඕලන්ද එහෙමත් නැත්තම් වර්තමාන නෙදර්ලන්ත ජාතිකයන් පෙරදිග රටවල් වල තම බලය පැතිරෙව්වේ 1600 – 1650 කාලයේ දී යි. ඒ කාලය ඕලන්ද අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය විදිහටත් හඳුන්වනවා. ඇම්ස්ටර්ඩෑම් වරාය ලෝකයේ කාර්යබහුල ම වරාය බවට පත්වෙලයි තිබුණේ. මොකද පෙරදිග රටවලින් ලබාගන්නා ධනය සහ බඩු භාණ්ඩ තොග ගණනින් ඕලන්දය වෙත පැමිණීම නිසා.

amsterdam in 1600
17 වන සියවසේදී ඇම්ස්ටර්ඩෑම් වරාය දැක්වෙන සිතුවමක් – aronson.com

ටියුලිප් මල් මේ කාලය වෙද්දී වැවුණේ මධ්‍යම ආසියාකරයේ විතරයි. ඒ නිසා ඕලන්ද නැව්වලින් යුරෝපයට ගෙන ගිය ටියුලිප් මල්වලට හොඳ ඉල්ලුමක් තිබුණා. විශේෂයෙන් ඕලන්දයේ ඒ වෙද්දී විශාල ධනපති පැලැන්තියක් නිර්මාණය වෙලා ඔවුන්ට කරන්න වැඩ නැතුවයි තිබුණේ. බොහෝ දෙනා විශාල මන්දිර සහ උද්‍යාන සකස් කරගත්තා. හැමෝට ම ඕන වුණේ යුරෝපයේ ම නැති ටියුලිප් මල් තමන්ගේ උද්‍යානයේ වගා කරගන්න. ටියුලිප් කියන්නේත් ලේසියෙන් බීජවලින් පැල වෙන ශාකයක් නෙමෙයි. බීජ පැළ වුණත් එයින් මලක් එන්න වසර 12ක් වගේ කාලයක් ගතවෙනවා. ඒත් මව් ශාකයකින් ගත්ත බල්බිලයක් වසරකින් මල් ලබාදෙනවා. මේ සිද්ධියත් එක්ක ටියුලිප් බල්බිලවලට ඉල්ලුම තවත් වැඩි වුණා. ඉල්ලුම වැඩි වෙද්දී ඒවායේ මිල තව තවත් වැඩි වුණා.

1630 ගණන්වලදී ටියුලිප් ශාක වලට වෛරසයක් වැලඳෙනවා. මේ වෛරසය හින්දා ටියුලිප් මල් තවත් ලස්සන වුණා. මල් පෙතිවල විවිධ වර්ණවලින් ගිනි දැල් වගේ රටා හට ගන්නට පටන් ගත්තා. වෛරසයත් හැම ටියුලිප් ශාකයට ම පැතිරුණේ නැති නිසා වෛරසය වැලඳුණු ටියුලිප් ශාකවලට තවත් ඉල්ලුම වැඩි වුණා එහි වටිනාකමත් සමඟම. මිනිසුන් අතර ටියුලිප් පිස්සුවක් බවට අවසානයේ මේ ඉල්ලුම පත්වුණා. රටේ සාමාන්‍ය කර්මාන්තවලින් ඈත් වුණු මිනිස්සු ටියුලිප් මිලදී ගන්නත් විකුණන්නත් පටන් ගත්තා.

tulip
වෛරසය නිසා මල් පෙති මත රටා හටගත් ආකාරය – thereaderwiki.com

ටියුලිප් බල්බිලයක වටිනාකම ෆ්ලොරින් (florin) 2 සිට 4000 දක්වා වැඩි වුණා. ඒ කාලයේ කම්කරුවකුගේ වාර්ෂික වැටුප වුණේ ෆ්ලොරින් 150 ක් විතරයි. බියර් ලීටර 4000ක් ෆ්ලොරින් 35 කට ලබාගන්න පුළුවන්. ඒ කාලයේ වැඩි ම මිලකට අලෙවි වුණු ටියුලිප් බල්බිලයක වටිනාකම වර්තාමන මුදලින් ඩොලර් 750,000ක් වෙනවා. සාමාන්‍ය බල්බිලයක් අලෙවි වුණේ වර්තමාන මුදලින් ඩොලර් 50,000 – 150,000ක් අතර මුදලකට යි. එහෙනම් ටියුලිප් ල සත්‍ය වටිනාකමට වඩා දහස් ගුණයකින් වැඩි මුදලකට ඒවා විකිනුණු බව මෙයින් පැහැදිලි වෙනවා.

මිනිසුන් තමන්ට දැරිය හැකි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ණයට ටියුලිප් මිලදී ගැනීමට පටන් ගන්නවා. මෙයත් එක්ක වර්ෂ 1637 අවසානය වන විට ටියුලිප් මිල පහත වැටෙන්න පටන් ගන්නවා. මෙම පහත වැටීමට විශාල ලෙස බලපෑවේ බල්බිල විකුණා ලැබෙන ලාභයෙන් ණය ආපසු ගෙවීමේ අපේක්ෂාව සහිත ව මිනිසුන් ණයට බල්බ මිලදී ගැනීමත් එක්ක යි. ටියුලිප් හිමියන් තමන්ට ආපසු නොලැබෙන ණය වෙනුවෙන් බලා ඉන්නේ නැතිව ඕනෑම මුදලකට ටියුලිප් විකිණීමට පෙලඹෙනවා. මේ නිසා අඩු මිලට හැමෝටම ටියුලිප් ලැබුණා. මෙය හඳුන්වන්නේ ආර්ථික බුබුළ පිපිරී යාමක් විදිහට යි.

tulip bubble
ටියුලිප්වල වටිනාකම හදිසියේ පහළ ගිය ආකාරය පෙන්වන ප්‍රස්තාර සටහනක් – steemkr.com

ඩොට් කොම් බුබුළ නිර්මාණය වීමේ පසුබිම හැදුණු හැටි

dot-com boom, tech bubble සහ Internet bubble කියන මේ නම් සියල්ලගෙන් ම හඳුන්වන්නේ ඩොට් කොම් බුබුළම යි. ඩොට් කොම් කියන්නේ අන්තර්ජාල ලිපිනයන් අගට යෙදෙන Top level domain එකක්. මේ ආර්ථික බුබුළ ඇතිවුණේ අන්තර්ජාලය සම්බන්ධ කර ගෙන වීම හින්දා එය ඩොට් කොම් බුබුළ නමින් හඳුන්වනවා. 1990 අග භාගයේ දී තමයි අන්තර්ජාලය විශාල ලෙස ජනප්‍රිය වෙන්න පටන්ගත්තේ. පෞද්ගලික භාවිතය සඳහා දැරිය හැකි මිලකට පරිගණක නිෂ්පාදනය වීමත් එක්ක අන්තර්ජාල භාවිතය පුළුල් වුණා. මිලියන 2.6ක ජනගහනයක් 1990 දී අන්තර්ජාලය පරිහරණය කළා. 1995 දී මේ අගය දැක්වුණේ මිලියන 44ක්. නමුත් 2000 වෙද්දී ලෝකයේ ජනගහනයෙන් මිලියන 413ක් අන්තර්ජාල පරිහරණය කරනන් බවට පත්වෙලා තිබුණා. එයින් 50%ක් අමෙරිකානුවන්.

1991 දී ලොව පළමු වෙබ් බ්‍රවුසරය වන WorldWideWeb (මෙය www නොවේ) නිර්මාණය වුණා. නමුත් ඡායාරූප අඩංගු කරන්න පුළුවන් ලොව පළමු වෙබ් බ්‍රවුසරය වුණේ 1993 දී නිකුත් වුණු Mosaic කියන වෙබ් බ්‍රවුසරයයි. ඒක තවත් වැඩි දියුණු කරලා Netscape එහෙම අවේ 1994 දී. මේ වෙද්දී උපරිම අන්තර්ජාල වේගය 56 KBps කට සීමා වුණා. 2000 වසර වෙද්දීත් එය 256 KBps ට වඩා වැඩි වුණේ නැහැ. ඒ වේගයෙන් වුණත් 1991 ලොව පළමු වෙබ් පිටුවේ ඉඳන් 1995 වෙද්දී වෙබ් අඩවි 23,500 ඉක්මවා වර්ධනය වුණා. 1995 – 1996 අතරදී තවත් වෙබ් අඩවි 200,000 ඉක්මවූ ගණනක් අන්තර්ජාලයට එක්වුණා. 1995 දී yahoo සෙවුම් යන්ත්‍රය එළි දැක්වීම මේ හදිසි වැඩි වීමට හේතුව යි. මොකද සෙවුම් යන්ත්‍රය නිසා බොහෝ දෙනකුට අන්තර්ජාලය දැක ගන්නට හැකිවුණා.

mosaic
Mosaic වෙබ් බ්‍රවුසරය දිස්වූ ආකාරය – researchgate.net

 

1995 දී Netscape සමාගම කොටස් වෙළඳපොළට ඇතුළුවෙනවා (IPO – Initial Public Offering). ඒ ඔවුන් 1994 අප්‍රේල් මාසයේ දී ආරම්භ වෙලා මාස 16 කට පස්සේ. ඔවුන් තම සමාගමේ වත්කම් කොටසක මිල ඩොලර් 28 බැගින් කොටස් වෙළඳපොළේ විකිණීම කරනවා. මෙය අද වෙද්දී සාමාන්‍ය සිදුවීමක් වුණත් ඒ කාලයේදී කොටස් වෙළඳපොළට එක්වුණු පළමු අන්තර්ජාල සමාගම තමයි Netscape කියන්නේ. අන්තර්ජාලය ගැන තියෙන පැහැදීමත් එක්ක බොහොමයක් ආයෝජකයන් මෙයට ආයෝජනය කරනවා. ඒ කියන්නේ කොටස් මිලදී ගන්නවා.

කොටස් මිල තීරණය වෙන්නේ ආයෝජකයන්ගේ ඉල්ලුම සහ සැපයුම මත යි. අනාගතයේ දී වැඩි මුදලක් උපයාවී කියා හිතෙන සමාගම්වල කොටස් මිල ඉහළ යනවා. ආයෝජකයන් එවිට තව තවත් කොටස් මිලදී ගන්නවා. කොටස් මිලත් වැඩිවන ඉල්ලුම නිසා ඉහළ යනවා. මේක ආර්ථික චක්‍රයක් විදිහටයි සිදුවෙන්නේ. Netscapeවල කොටස් මිලත් තුන්ගුණයකින් ඉහළ යනවා. තවත් මාස දෙකකට පස්සේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක වත්කමකට හිමිකම් කියන්න Netscape සමාගමට හැකිවෙනවා.

Barksdale, Andreessen and Clark
බිලියනපතියන් බවට පත්වූ Netscape සමාගමේ මුලිකයන් වන Barksdale, Andreessen සහ Clark යන අය – 1995blog.com

 

අන්තර්ජාලය පරිහරණය කරන ජනතාව මේ සිදුවීම දකින්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවියක් හදලා කොටස් වෙළඳපොළට එකතු වුණොත් ලොකු ලාභ උපයන්න පුළුවන් කියල යි. මේ නිසා හැමදෙනා ම Start up විදිහට විවිධ වෙබ් අඩවි නිර්මාණය කරනවා. ඒවායින් බොහොමයක් වෙළඳ දැන්වීම් පළ කිරීමට නිර්මාණය වුණු වෙබ් අඩවි පමණ යි. මේ සියල්ලට ම ආයෝජකයින් ඩොලර් මිලියන ගණනින් ආයෝජනය කරනවා. අන්තර්ජාලයෙන් පොත් විකිණීම අරඹන Amazon වෙබ් අඩවියත්, අන්තර්ජාල වෙළඳපොළක් වන ebay වෙබ් අඩවියත්, ගූගල් සෙවුම් පද්ධතියත් නිර්මාණය වෙන්නේ මේ කාලයේදී ම යි.

අන්තර්ජාල බුබුළු ආර්ථිකයක් නිර්මාණය වෙයි

Start Up වැඩසටහන් විදිහට ආරම්භ කෙරුණු මේවාට පෙන්වන්න පුළුවන් තරමේ වත්කමක් තිබුණේ නැහැ. ඔවුන්ගේ එකම අරමුණ වුණේ වැඩි පිරිසක් වෙත තම සමාගමේ කොටස් විකිණීම පමණ යි. අනාගතයේ දී විශාල සමාගම් බවට මේවා පත්වෙයි කියලා සිතූ ආයෝජකයන් තමන්ගේ හැකියාවත් ඉක්මවලා කොටස් මිලදී ගැනීම කළා. 1999 වෙද්දී IPO සමාගම් 450 ඉක්මවලා දකින්න ලැබුණා. ඒවායින් බහුතරය ඩොට් කොම් එහෙමත් නැත්තම් අන්තර්ජාල වෙබ් අඩවියකට සීමා වුණු සමාගම්. 1995 සිට 2001 දක්වා කාලය තුළදී ඩොට් කොම් සමාගම් 439ක් අමෙරිකානු ඩොලර් බිලියන 34 ක ආදායමක් උපයාගෙන තිබුණා.

ආයෝජකයන් වැඩි පිරිසක් ලාභාංශ ගෙවීමක් හෝ ඉතා අඩු ගෙවීමක් ඇති නව සමාගම්වලට ආයෝජනය කිරීමට අමෙරිකානු රජය ගෙන තිබූ තීරණ ද බලපෑවා. ආයෝජනයේ ප්‍රධාන විධි ක්‍රම දෙක වෙන්නේ බැඳුම්කර මිලදී ගැනීම සහ කොටස් මිලදී ගැනීම යි. බැඳුම්කර මිලදී ගැනීමේ දී වෙන්නේ අදාළ සමාගම ආයෝජකයාගෙන් ණයක් ලෙස මුදලක් ලබාගැනීම සහ නියමිත කාලයකට පස්සේ පොළිය සමඟ ඒ මුදල නැවත ලබාදීම. ඒත් කොටස් මිලදී ගැනීමේදී සමාගමේ යම් ප්‍රතිශතයක හිමිකාරිත්වය ආයෝජකයාට ලැබෙනවා. එතකොට සමාගමේ මුළු ආදායමෙන් අදාළ ප්‍රතිශත ආයෝජකයන්ට ලාභාංශ විදිහට ගෙවීමයි සිදුවෙන්නේ.

ipo first day income
පළමු දිනය තුළ වැඩිම IPO ලාභ ලැබූ සමාගම් සහ ඒවායේ ලාභ ප්‍රතිශත – money.cnn.com

අමෙරිකාවේ පොළී අනුපාතික අගයන් 1970න් පස්සේ වාර්තා වුණු අවම අගයන්ට ළඟා වුණේ 1990 අග භාගය වෙද්දී යි. මේ නිසා බැඳුම්කර මිලදී ගැනීම එතරම් ආකර්ෂණීය වුණේ නැහැ. අනෙක් අතට සමාගම් තම ආදායම් මත පදනම් වෙලා රජයට ගෙවන්න ඕන බදු ප්‍රමාණය 28% සිට 20% දක්වා අඩු කෙරුණා. මේ හේතු නිසයි ආයෝජකයන් බහුතරයක් ඩොට් කොම් සමාගම්වලට ආයෝජනයට පෙලඹුණේ.

බොහොමයක් ඩොට් කොම් සමාගම් මාස කිහිපයකින් ඩොලර් මිලියන ගණනින් ආදායම් ලැබුවා. ඒවායේ ලාභ ආයෝජකයන් ද භුක්ති වින්දා. නමුත් වටිනාකම් අඩු දේවල් නියමිත වටිනාකමට වඩා ඉතා වැඩි අගයන්ට ළඟා වීම අපි ටියුලිප් සිදුවීමේදී හැඳින්වුයේ බුබුළු ආර්ථික විදිහට බව ඔබට මතක ඇති. ඒ කාලයේ හිටිය ආර්ථික විද්‍යා විශේෂඥයන් මේ බව නොදැන සිටියා නොවෙ යි. එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ප්‍රධානියා පවා මෙම අනවශ්‍ය ආයෝජන පිළිබඳ ව අනතුරු ඇඟවීම කළා. නමුත් සීමාවක් නොමැතිව ලැබෙන මුදල්වලින් මත් වෙලා හිටිය සමාගම් සහ ආයෝජකයින් මේවා කණකට ගත්තේ නැහැ.

ඩොට් කොම් බුබුළ පුපුරා යාම

නිව්යෝක් නුවර පදනම් කරගත් NASDAQ කොටස් වෙළඳපොළ ආයතනය ඉතිහාසයේ ඉහළ ම අගය වන 5132 අගය වාර්තා කළේ 2000 වසරේ මාර්තු 10 වන දා යි. එය 1999 වසරේ වාර්තා වුණු අගය මෙන් දෙගුණයක අගයක් වුණා. මෙයින් දින 3කට පසු ජපානය තම රටේ ආර්ථික අවපාතයක් පිළිබඳ ව දැනුම් දීමක් කරනවා. ඔවුන් සඳහන් කරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු තම රට මුහුණ දුන් දරුණුත ම ආර්ථික පසුබැස්ම 1999 වසරේ අවසන් කාර්තුවේ දී සිදු වූ බව යි. මෙයත් සමඟ බොහෝ දෙනා තම කොටස් සහ භාණ්ඩ විකිණීම අරඹනවා. NASDAQ කොටස් වෙළඳපොළ මාර්තු 13 වනදා වන විට 9% කින් කඩා වැටෙනවා.

nasdaq points
NASDAQ කොටස් අගය 2000 වාර්තාවූ උපරිමය සහ කඩා වැටීම – wsws.org

 

 ෆෙඩරල් මහ බැංකුව පොලී අනුපාත ඉහළ නැංවීමට පටන් ගෙන තිබුණා. 1999 දී තුන් වරක් සහ 2000 දශකයේ මුල් භාගයේදී දෙවරක් වශයෙන් ඉහළ නැගුණු පොළී අනුපාත ආයෝජකයන් අධෛර්යමත් කළා. Wall Street හි විශ්ලේෂකයන් තම සේවාදායකයන්ට අන්තර්ජාල කොටස් වෙළඳපොළ පිළිබඳ ව උපදෙස් දීමට පටන් ගත්තා. මේ සියල්ල ම නිසා 2000 අප්‍රේල් වන විට, NASDAQ වටිනාකමින් 34.2% ක් අහිමි වී තිබුණා.

බුබුල පුපුරා යාමෙන් විනාශ වූ ධනයේ ප්‍රමාණය මැනීමේ දී අනාවරණය වූයේ 2000 නොවැම්බර් වන විට තාක්ෂණ සමාගම් ඩොලර් ට්‍රිලියන 1.7ක අලාභයක් අත් කර ගෙන ඇති බව යි. නමුත් එහිදී ගණන් ගැනුණේ පොදු සමාගම් විතර යි. එතැනින් එහාට 1990 ගණන්වල අග භාගයේදී නිර්මාණය වුණු 7,000 – 10,000 ක් පමණ වූ නව Online ව්‍යාපාර අතරින් 4800 ක් පමණ 2003 මැද භාගය වන විට විකුණා දමා හෝ බංකොලොත් වී තිබෙන බව ගණන් බලා තිබෙනවා. Pets.com, eToys.com, Kozmo.com, UrbanFetch.com, Boo.com සහ pixelon.com කියන්නේ ඒවා අතරින් කීපයක් පමණ යි. මේවායේ සේවය කළ 22,000 කට අධික පිරිසකට රස්සා නැති වූ බවත් කියැවෙනවා. මේ සමගම ආ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයත් අමෙරිකානු ආර්ථිකය තවත් පහළට යොමු කළා.

ඩොට් කොම් බුබුළෙන් පාඩම්

ඩොට් කොම් බුබුළ පුපුරා යාමෙන් සියලු ම සමාගම් බංකොලොත් වුණේ නැති බවත් මෙතැනදී මතක් කරන්නට අවශ්‍ය යි. අද වෙද්දී ලෝකයේ ප්‍රසිද්ධ ම ආයතන වන Amazon, ebay, Google, Microsoft සහ Apple වගේ සමාගම් ඩොට් කොම් බුබුළට හසු වුණත් අදටත් නොනැසී පවතින්නේ ඒවා සතු ව තිබුණු ශක්තිමත් ව්‍යාපාර ආකෘතිය නිසා බව කිව යුතු යි. Amazon කොටස් මිල ඩොලර් 7 සිට 107 දක්වා ඩොට් කොම් බුබුළ තුළදී වර්ධනය වුණත් ඔවුන් ඒ ඉපැයූ මුදල් ආයතනය ලාභ ලබන තත්වයට පත් කරන්නට යෙදවූවා. මේ නිසා බුබුළ පිපිරී ගියායින් පස්සේ කොටස් අගය ඩොලර් 5ට කඩා වැටුණත් අද වෙද්දී Amazon කොටස් අගය ඩොලර් 3500 ඉක්මවනවා.

amazon share price
Amazon සමාගමේ කොටස් මිල වෙනස් වූ ආකාරය 2019 දක්වා – nasdaq.com

බොහෝ දෙනා ආයෝජනයේ මූලික කරුණු අමතක කර තිබීම ඩොට් කොම් බුබුළ පුපුරා යෑමට ප්‍රධාන හේතුව යි. අතාර්කික උත්කර්ෂයට වත්කම් වටිනාකම් අනවශ්‍ය ලෙස ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බව ආර්ථික විද්‍යාව පෙන්වා දෙනවා. ඒවගේ ම කොටස් මිල ගණන් සෑම විට ම මූලික ව්‍යාපාර කාර්ය සාධනය පිළිබිඹු කරන්නේ නැති බවත් ආර්ථික විද්‍යාවේ එන මූලික කරුණක් බව කිව යුතු යි. කඩිනම් වෙළඳාම නිවැරදි ව සිදු කළ විට සාපේක්ෂව කෙටි කාලයකින් ලාභ උපයන්න පුළුවන්. නමුත් එයට ඇතුළු වෙන්නත්, ඔබේ ලාභය ලබා ගන්නත් සහ එයින් ඉවත් වීමටත් විනයක් තිබීම අත්‍යවශ්‍ය යි.

ඩොට් කොම් බුබුළට සමාන තත්ත්ව ඕනෑ තරම් ඇතිවෙන්නට පුළුවන්. කොරෝනා ව්‍යසනකාරී තත්වය ඇතුළේ දී අප බොහෝදෙනෙක් භාණ්ඩවල අනවශ්‍ය ඉහළ මිල ගණන් දකිනවා. සෞඛ්‍ය උපකරණ වලට අමතරව රථ වාහන, තාක්ෂණික උපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ගණන් පවා තියෙන්නේ ඉහත විස්තර කළ ආකාරයේ ආර්ථිකයක් මත. නමුත් මතක තබා ගත යුතු කාරණය වෙන්නේ ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව වගේ ම එය කලින් සිදු වූ දෙයෙහි ම පිටපතක් නොවන බව යි.

කවරයේ පින්තූරය - thebalance.com

මූලාශ්‍ර:

investopedia.com

ed.ted.com

slidebean.com 

searchcio.techtarget.com

ideas.ted.com 

xtbs.com.au

forbes.com

ourworldindata.org  

Related Articles