Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවතට

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සිය රට ඉවත්වන බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. දින 30ක් ඇතුළත සෑහීමකට පත්විය හැකි ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ආධාර සියල්ල නවතා දමන බවටත්, අවශ්‍ය නම් එම සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නා බවටත් ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයට අනතුරු අඟවන්නේ පසුගිය අප්‍රේල් මාසයේ අග භාගයේ සිට යි. ඔහු එම සංවිධානයෙන් ස්ථිර ලෙසම ඉවත් වන බවට නිවේදනය කරන්නේ මැයි මාසයේ 29 දින යි. 

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දීර්ඝ කාලයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ලබාගත් බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. 

මැයි 18 වන දා ලෝක සෞඛ්‍ය සංවිධානයට යවන ලද ලිපිය 

ඇමෙරිකාව ඉවත් වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම (cnn)

අප්‍රේල් මාසයේ අග භාගයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දෙන ආධාර මුදල් අත්හිටුවන බව පවසන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එම සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියෙසස් වෙත පසුගිය මැයි 18 වන දා යවන ලද ලිපිය මඟින් එම කරුණ යළිත් අවධාරණය කරනවා. පිටු හතරකින් යුක්ත එම දීර්ඝ ලිපියේ ඔහු සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරි දින 30 තුළ සිය කාර්ය පටිපාටිය සාධනීය ලෙස වෙනස් නොකරන්නේ නම් ඇමරිකානු සාමාජිකත්වය ඉල්ලා අස් කරගන්නා බව යි. නමුත් ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ වන විට දින 30ක කාලයක් ලබා නොදෙමින් සිය රටේ ඉවත්වීම දන්වා තිබෙනවා.

වරදකරු චීනය යි – ඩොනල්ඩ් ට්‍රම්ප් 

චීන ජනාධිපති හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා (cgtn)

2019 වසරේ අග භාගයේ දී චීනයේ වුහාන් නගරයෙන් Covid 19 වෛරසය පැතිරයාම සැල වූ වහාම ලද විශ්වසනීය තොරතුරු දිගින් දිගටම නොතකා හැර ඇති බවත්, සාමාජික රටවල් සමග තොරතුරු හුවමාරු කර නොගැනීමට කටයුතු කිරීමත් අමෙරිකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට එල්ලවන ප්‍රධාන ම චෝදනාව යි. ඊට අමතරව ඇමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එල්ල කරන බරපතලම චෝදනාව වන්නේ එම සංවිධානය චීනයේ දේශපාලන ආධිපත්‍යයට යට වී ඇති බව යි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චීනය සමග ඉතා සමීප ඇසුරක් පවත්වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට යවන ලද ලිපියේ ද සඳහන් වෙනවා.

වෛරස ව්‍යාප්තිය ආරම්භයේ දීම චීනය ඒ සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා පළ කෙරුවා. ඒ බව හෙළිදරව්‍ කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ කණ්ඩායම් චීනයට යැවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේ නෑ. ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තා නම්, ආරම්භයේ දීම මේ පිළිබඳව නිවැරදි තොරතුරු දැන ගැනීමෙන් ලෝකයට වූ හානිය අවම කරගැනීමට හැකියාව තිබුණා. එමඟින් මරණ සංඛ්‍යාව අවම කර ගැනීමටත්, වෛරස පැතිරීම පාලනය කරගැනීමටත් හැකියාව මෙන්ම ලෝක ආර්ථිකය කඩා වැටීම ද වළකා ගැනීමටත්, හැකියාව ලබාගැනීමට තිබුණා”යි අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. සිය කතාවේ දී හොංකොං රාජ්‍යය වෙත චීනය විසින් කරන අනිසි බලපෑම් පිළිබඳව ද ජනාධිපතිවරයා සිය කණස්සල්ල පල කරනවා.

නමුත්, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම විවේචන නිවැරදි නොවන බව චීනය අවස්ථා කිහිපයක දීම ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා බරපතල බවත්, නිසැකවම ඒවා විමර්ශනයට ලක් කළ යුතු බවත්, නමුත් එවැන්නකට මේ වැනි කාලයක් සුදුසු නොවන බවත් බොහෝ රාජ්‍ය නායකයන් හා ලෝක සංවිධාන මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා

කොරෝනා වසංගතය මැඩලීමට ගෙන යන සටන දේශපාලනීකරණය කර නොගන්න – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියෙසස්

ලෝක සෞඛ්‍ය සංවිධානය (yimg)

මෙවැනි අසීරු අවස්ථාවක ලෝකයක් එකතු වී ගෙන යන සටන දේශපාලනීකරණය කර නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවස්ථා කිහිපයක දීම ලෝකයේ බලවත් රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. චීනයට පක්ෂපාති බවට ට්‍රම්ප් විසින් කරන චෝදනාව බැහැර කරන ඔහු ඇමෙරිකාව තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එකතුව කටයුතු කරන්නේ නම් එය අගය කරන බව දන්වා තිබෙනවා. කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලන බල අරගලයක නිරත වන බවත්, ඔහුට චීනයේ ආධිපත්‍ය බිඳ දමා චීනය අඩපණ කිරීමේ අරමුණක් ඇති බවත් ලෝකයේ බොහෝ දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් සපයන ප්‍රධාන ම රට 

2018 වසරේ අරමුදල් දායකත්වය (weforum)

තනි රටවල් අතින් ගත කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලම අරමුදල් සපයන්නා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. 2019 වසරේ දී අමෙරිකාවෙන් පමණක් ලැබුණු මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 400 ඉක්මවා ගොස් තිබෙනවා. එය එම වසරේ ලැබුණු මුළු අරමුදලෙන් 15% දළ ප්‍රතිශතයක්. 

මැලේරියා, රුබෙල්ලා, පෝලියෝ වැනි ආසියානු හා අප්‍රිකානු මහද්වීපවල තවමත් ඇති රෝගයන් තුරන් කිරීමට, ඒවායින් පිඩාවට පත් වන ජන කාණ්ඩ සඳහා සහන සැලසීමටත්, විවිධ සෞඛ්‍ය පර්යේෂණ සඳහාත් එම අරමුදල් වැය වෙනවා. ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම අරමුදල් සපයනු ලබන, සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් කෙරෙහි එය දැවැන්ත හා අහිතකර ලෙස බලපෑමක් ඇති කරනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්ෂිකව පිරිනමන එම අරමුදල එක්සත් ජාතීන්ට අනුබද්ධ අනෙකුත් සංවිධාන වෙත ලබා දීමට ඇමෙරිකාව අදහස් කරගෙන ඇති බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ  අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාගතය පිළිබඳව මේ වන විට බරපතල අර්බුදයක් ගොඩ නැගී තිබෙනවා. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරගෙන යන විවිධ ව්‍යාපෘති සඳහා ද විශාල බලපෑමක් එල්ල කරනු නොඅනුමාන යි.

වැඩිදුරටත් කියවන්න – ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අරමුදල් කපා දමයි!

කවරයේ පින්තූරය - nbcnews

මූලාශ්‍රයයන් - 

Weforum.org

Cnn.com

Who.int

Related Articles