Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා පවතින තවත් ‘අපූරු’ නීති පහක් 

ලොව පුරා වර්තමානය වන විට ඇති රටක් ලෙස නිල වශයෙන් පිළි ගත් රටවල් සංඛ්‍යාව ආසන්න වශයෙන් 200 ක් පමණ වෙනවා. මේ රටවල්වල විවිධ පෙදෙස්වල, විවිධ ජන වර්ග රාශියකට අයත් මිනිසුන් වෙසෙනවා. ඒ ඒ ප්‍රදේශවලට අයත් සංස්කෘතීන් සහ ඇවතුම් පැවතුම් අපට වෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැකි යි. 

මේ සංස්කෘතීන්, ඇවතුම් පැවතුම් මෙන් ම පරිසර සාධක මතත්, ඒ ඒ පෙදෙස්වල ජනතාවගේ අවශ්‍යතා යම් යම් වශයෙන් වෙනස් විය හැකි යි. මේ වෙනස්කම් නිසා, ඒ ඒ රටවල, ඒ ඒ පෙදෙස්වල පවත්නා නීතිවලත් අනන්‍ය වෙනස්කම් අපට නිරීක්ෂණය කළ හැකි යි.

ලොව පුරා රටවල නීති පද්ධතීන්ගේ විවිධාකාරයේ වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් අතර, තවත් රටක අයකුට පුදුමය මෙන් ම, විටෙක විස්මය හා හාස්‍යයත් ගෙන දෙන නීති අපට දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයේ නීති කිහිපයක් ගැන මෙහි පළමු ලිපියෙන් අප සාකච්ඡා කළා. මේ ලිපිය වෙන් වන්නේත් තවත් එවැනි ‘අපූරු’ නීති පහක් ඔබ වෙත ගෙන එන්නට යි.

සැමොආ හි වැසියන්- NOAA

බිරියන් සතුටු කරන සැමොආ නීතිය

පැසිෆික් සයුරේ පවතින කුඩා රටක් වන සැමොආ හි වැසියන්ට බලපවත්වන එක්තරා නීතියක් තිබෙනවා. එයට අනුව සිය බිරියගේ උපන්දිනය අමතක වීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මෙරට දී යම් පුරුෂයෙක් සිය බිරියගේ උපන්දිනය අමතක කළහොත් ලැබෙන්නේ රැවුම්, ගෙරැවුම් පමණක් නොවේ. 

මේ නීතිය අනුව ලැබෙන්නේ කොයි ආකාරයේ දඬුවමක් ද යන්න නම් පැහැදිලි නැහැ. කෙසේ නමුත් සමහර සැමොආ වැසියන් පවසන්නේ, මේ ආකාරයෙන් සිය බිරියන්ගේ උපන්දින අමතක වුවහොත්, සිරගත වීම වඩා යහපත් බව යි.

ස්කොට්ලන්තයේ වැසිකිළි නීතිය

ඔබ ස්කොට්ලන්තයේ වැසියෙක් නම්, දීර්ඝ ගමනක දී වුවත් වැසිකිළි යාම නම්, ඒ තරම ගැටලුවක් නොවනු ඇති. එරට නීතියේ හැටියට, යම් කිසිවෙක්, ඔබේ නිවසේ දොරට තට්ටු කර, වැසිකිළි යාමට අවස්ථාවක් ලබා දෙන ලෙස විමසුවහොත් අනිවාර්යයයෙන් ම ඊට අවකාශ ලබා දිය යුතු වෙනවා. මෙය එරට වැසියන් පවත්වාගෙන එන නීතියක් මෙන් ම, එක්තරා ආකාරයක රීතියක් ද වෙනවා. මේ හේතුවෙන්, ආගන්තුකයන් වෙනුවෙන් සිය වැසිකිළි සුපිරිසුදුව තබා ගන්නට එරට වැසියන් උනන්දු වෙනවා.

ස්කොට්ලන්තයය – www.great.gov.uk

ෆ්ලොරීඩාවේ ‘අධෝවාත’ නීතිය

අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාවේ 19 වන සියවසේ අපූරු නීතියක් ක්‍රියාත්මක ව තිබෙනවා. එයට අනුව සවස 6න් පසු ප්‍රසිද්ධ ස්ථානවල අධෝ වාතය පිටකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වුණා. මෙය යම් පමණකට හෝ වටහා ගත හැකි නීතියක් වන අතර, අසාමාන්‍ය කාරණය වන්නේ, එය බලපවත්වා තිබෙන්නේ බ්‍රහස්පතින්දා දිනවල පමණක් වීම යි. 

19 වන සියවසෙන් පසුව මෙම නීතිය ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට නැති අතර, එය බ්‍රහස්පතින්දා දිනවල පමණක් ක්‍රියාත්මක වී ඇත්තේ කුමන අරමුණෙන් ද යන්න පිළිබඳ ව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් නොවන්නේ, එහි විකාරරූපී බව තවත් වැඩි කරමිනු යි.

ලෝකයේ එක්තරා රටක වූ නගරයක, එහි ජීවත් වන වැසියන් සෑම විටක ම පාහේ සිනාමුසු ව සිටිය යුතු බවට වූ නීතියක් අදටත් පවතින බැව් ඔබ දැන සිටියා ද?

මිලාන් හි ‘සිනහවෙන් සිටිය යුතු’ නීතිය

මෙම නීතිය හමුවන්නේ ඉතාලියේ මිලාන් නගරයෙනු යි. මෙම නීතියට අනුව, එම නගරයෙහි වැසියන් සෑම විට ම සිනහ මුසු මුහුණින් අන්‍යයන් හමුවේ පෙනී සිටිය යුතු වෙනවා. එසේ නොකරන්නවුන් පිළිකෙව් කෙරෙන අතර, නීතියේ හැටියට ද වරදකරුවන් වෙනවා. මෙය ඔස්ට්‍රො – හංගේරියානු යුගයේ පැනවූ නීතියක් වන අතර, එය අද වන තුරු ද වෙනසකට බඳුන් වී නැහැ. මෙය අද වන විර්ට ප්‍රායෝගික ව ක්‍රියාත්මක නොවුණත්, තවමත් නීති ප්‍රකාර ව බැලූ විට, වලංගු මට්ටමේ තිබෙනවා.

මිලාන් හි ‘සිනහවෙන් සිටිය යුතු’ නීතිය – www.gettyimages.com

මෙම නීතියට අනුව ව්‍යතිරේක අවස්ථාවල එලෙස සිනහමුසු මුහුණින් අන්‍යයන්ට සංග්‍රහ නොකර සිටිය හැකි යි. අවමඟුලක දී, රෝහලක දී මෙන් ම, සිය සමීපත ම ඥාතියකු අතිශය ගිලන් ව සිටින අවස්ථාවක දී, දොම්නස් ස්වභාවයෙන් සිටින්නට එහිදී අවකාශ තිබෙනවා. සත්‍ය කාරණය නම්, අද වන විට මෙය ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙනවා තබා, එවැන්නක් නීති පොත්වල ඇති බවටවත්, එහි බහුතර වැසියන් දැනුම්වත් නොවීම යි.

සැප්පුහෝන්ක්ස් හි මිය යා යුතු ආකාරය දැක්වූ අපූරු නීතිය

ප්‍රංශයේ සැප්පුහෝන්ක්ස් නගරයේ නගරාධිපතිවරයා අතිශය විකාරරූපී නීතියක්, ඒ නගර සීමාව තුළ බලපැවැත්වෙන පරිදි පනවා තිබෙනවා. ඒ අනුව යම් කිසිවකුට නගර සීමාව තුළ මිය යා හැක්කේ, ඊට පෙර එහි සුසාන භූමියෙහි සොහොන් ගැබැක් වෙන් කරගෙන තිබෙන අයට පමණ යි. මෙම නීතිය කිසිවෙක් බිඳහෙළයි ද? ඔහුට හෝ ඇයට ඉතා තදින් දඬුවම් පමුණවන බවත්, මෙම නීතිය පැනවූ ආඥාවේ සඳහන් ව තිබුණා. 

යම් කිසිවකුට නගර සීමාව තුළ මිය යා හැක්කේ, ඊට පෙර එහි සුසාන භූමියෙහි සොහොන් ගැබැක් වෙන් කරගෙන තිබෙන අයට පමණ යි- ww1cemeteries.com

මෙම නීතිය ඇත්තෙන් ම පනවා තිබුණේ, එහි වූ සුසාන භූමි සම්බන්ධ ඉඩකඩ සීමා සහිත වීමේ ප්‍රතිඵලයක් ලෙස යි. කෙසේ නමුත් පසුකාලීනව මෙම නීතිය ලොව පුරා හාස්‍යයට බඳුන් වූයේ, මියගිය අයකුට දැඩි දඬුවම් පමුණවන්නේ කෙසේද යන්න පිළිබඳ ව හුවා දක්වමිනු යි.

ලෝකයේ වෙනත් රටවල පමණක් නොව, ශ්‍රී ලංකාවේත් අතීතයේ දී මේ ආකාරයේ ම, අසාමාන්‍ය මෙන්ම විකාරරූපී නීති පැනවී තිබුණා. විශේෂයෙන් යටත් විජිත සමයේදී මෙන් ම, ඊට පෙර වූ රජ සමයන්හී දී ද මේ ආකාර නීති දැකගත හැකි වුණා.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද අතීතයේ පැනවී තිබුණු මෙවන් අසාමාන්‍ය නීති පිළිබඳ ව ඔබ දැනුවත් නම්, ඒවා අපත් සමඟ බෙදා ගන්න අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය - www.legalogy.in
මූලාශ්‍ර:
Thelawyerportal.com
Veenaworld.com
Indiatimes.com

Related Articles