පැය අටේ සේවා කාලයක් හා ප්‍රතිලාභ දිනා ගත් කම්කරු සටන

ලංකාවේ වෘත්තීය සමිති ආරම්භය වසර 1800 ගණන් දක්වා අතීතයට දිව යයි. මෙරට වෘත්තීය සමිති බිහි වීමට පදනම වැටුණේ ද බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ය. ඔවුහු ලංකාවේ පැවති සමස්ත ආර්ථික ක්‍රමය ම වෙනසකට ලක් කළහ. ඒ වෙනුවට වැවිලි ආර්ථිකයක් හඳුන්වා දීමට ඔවුහු කටයුතු කළහ.මුඩු ඉඩම් හෝ රජයේ ඉඩම් වශයෙන් සැලකිණි.

ජනතාවට හිමි ව තිබූ ඉඩම් විශාල  ප්‍රමාණයක් මුඩු ඉඩම් පනත යටතේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව අත්පත් කර ගත්තේ ය. මුඩු ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් අහිමි වූ ලාංකිකයන් බොහෝ දෙනකුට සිය පැවැත්ම උදෙසා සිදුවූයේ කම්කරු රැකියා සොයා නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වන්නට ය. එය ලංකාවේ කම්කරු පන්තිය බිහිවීමට මූලික අඩිතාලම දැමී ය.

මේ කාල පරිච්ඡේදයෙහි කම්කරුවන් පඩි වැඩි කිරීම් හා වඩා හොඳ වැඩ කිරීමේ තත්ත්ව සඳහා ඉල්ලීම් කරන ලද්දේ කලාතුරකින් බව මහාචාර්ය කුමාරි ජයවර්ධන සිය ” ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම” කෘතියේ පෙන්වා දෙයි.

කෝපි වතුවල සේවය කළ කම්කරුවෝ – lankapura.com 

කම්කරු පන්තියේ අයිතිය

එම රටාව වෙනසකට ලක් කර වඩා හොඳ වැඩ කිරීමේ තත්ත්වයක් සඳහා සටන් කොට මෙරට කම්කරු පන්තියේ අයිතිය තහවුරු කර ගත් විජයග්‍රාහී කම්කරු සටනක් පිළිබඳ සටහනකි මේ.

සටන ඇවිළුණේ සය වන ජෝර්ජ් රජු සිහසුන දැරූ බ්‍රිතාන්‍ය පාලන සමයේ ය. මෙරට කම්කරුවන් සිදු කළ එම කම්කරු අරගලය ඉතා ජයග්‍රාහී ලෙස නිමා කිරීමට වර්ජකයනට හැකියාව ලැබිණි.

එම අරගලයේ ප්‍රතිපල ලෙස ලත් වැඩ කරන දිනය පැය අටක උපරිම සේවා කාලයකට සීමා කර ගැනීමට හා ඊට වැඩියෙන් සේවයේ නිරත වන සෑම පැයක් සඳහා ම පැයකට, පැය එක හමාරක අතිකාල දීමනා, දින 14 ක වාර්ෂික වැටුප් සහිත අනියම් නිවාඩු, ලෙඩ නිවාඩු මෙන් ම පඩි පාලක සභාවක් ස්ථාපනය කර ගැනීම යන සුවිශේෂ ජයග්‍රහණ මෙරට කම්කරු ජනතාව අදටත් භුක්ති විඳිමින් සිටිති. ජයග්‍රහණ එතරම් වුව එය ත්‍රාසජනක සටනකි. බලවත් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ට එරෙහිව නිරායුධ, එහෙත් සංවිධානාත්මක කම්කරු පිරිසක් එම මහා සටන සිදු කළේ, 1945 දී ය.

https://www.pinterest.com/pin/370069294350079158/
40 දශකයේ කොළඹ නගරයේ වීථියක් –  pinterest.com

කම්කරුවන්ගේ නැඟී සිටීම්

දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමත් සමඟ ම ජාත්‍යන්තර දේශපාලනය ධනවාදී හා සමාජවාදී ලෙස දෙපිලකට බෙදීම සහ එක්සත් ජාතින් ගේ සංවිධානය බිහිවීම හරහා වැඩ කරන ජනතාවට ද තම සාධාරණ ඉල්ලීම් දිනා ගැනීම සඳහා මාවතක් විවර විය. කම්කරු පන්තිය වමේ ව්‍යාපාරය සමඟ පෙළ ගැසීම වැළැක්වීමට “සුදු පාලකයන් ” ගත් සියලු උත්සාහ අසාර්ථක විය.

1945 මහා වැඩ වර්ජනය හා අරගලයට මේ වන විට වසර 75 ක් ද ඉක්මවා ගොසිනි. බ්‍රිතාන්‍ය සමාගමක පරිපාලනය සේවකයන් කිහිප දෙනකු රැකියාවෙන් ඉවත් කිරීම මෙම දැවැන්ත විරෝධතාවේ ආරම්භයට හේතු විය. කම්කරුවන් අර්ධ වහල් සේවයේ යොදවමින්, හාම්පුතුන්ට අධික ලාභ ලබා ගැනීමට අවශ්‍ය පසුබිම බ්‍රිතාන්‍යය පාලකයන් එදා නිර්මාණය කර තිබිණ. එකල වෘත්තිකයන්ට සමිති සංගම්වලට බැඳීම හා ඒවා හි ක්‍රියාකාරී වීම සපුරා තහනම් වූවත්, එම තහංචි නොතකා කම්කරු පිරිස් විවිධ උපක්‍රම අනුගමනය කරමින් සංවිධාන ගත වූහ. ඒ සඳහා ඔවුනට වමේ ව්‍යාපාරයේ ආශීර්වාදය හා රැකවරණය නිතැතින් හිමි විය.

https://www.elephanthouse.lk/corporate/our-company/our-history.html
එකල කර්මාන්ත ශාලාවක් – elephanthouse.lk

 

ගැටලුව ඔඩු දුවයි 

සේවයෙන් පහ කළ කම්කරුවන් නැවත රැකියාවට ගැනීමට කෙරුණු  ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප විය.  එහි ප්‍රතිඵලයක් ලෙස 1945 අගෝස්තු මාසයේ අවසන් සතියේ  සේවක මර්දනයට එරෙහි ව කොම්පඤ්ඤ වීදියේ ලංකා කම්කරු සම්මේලන ප්‍රධාන කාර්යාලයේ සිට ගාලු මුවදොර රාජ්‍ය මන්ත්‍රණ සභාව දක්වා දැවැන්ත පෙළපාලියක් සංවිධානය කෙරිණ. ඊට දුම්රිය,  තැපැල්, රජයේ මුද්‍රණාලය,  වරාය සහ කොළඹ මහ නගර සභාවේ සේවක පිරිස් මෙන්ම පෞද්ගලික සමාගම්වල කම්කරුවෝ ද සහභාගි වූහ.

දස දහස් සංඛ්‍යාත වූ මෙම කම්කරු බළකාය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සියලු පිවිසුම් හා පිටවීමේ දොරටු වසා ගත්හ. අනතුරුව කම්කරු සම්මේලනයේ නියෝජිතයන් කිහිප දෙකුට වේයන්ගොඩ රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිත මෙන් ම වැඩබලන සභානායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක  හමුවීමට අවස්ථාව ලැබිණ. කම්කරු සම්මේලනයේ නියෝජිත පිරිස් බාර දුන් සන්දේශය පිළිගත් බණ්ඩාරනායක,  අදාළ සංදේශයට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන දෙසතියකින් ඇතුළත ඉල්ලීම් ඉටු කර දෙන බවට දුන් ප්‍රතිඥාව අනුව සටන් ක්‍රියාමාර්ගය ද අත්හිටුවීමට පියවර ගැනිණි.

http://telo.org/telooldnews/?p=188194%201940
එවක වැඩබලන සභානායක එස්. ඩබ්ලියු. ආර්. ඩි.  බණ්ඩාරනායක – telo.org

එනමුදු 1945 සැප්තැම්බර් මාසයේ මැද භාගයේ වන විටත් බණ්ඩාරනායක මහතා දුන් ප්‍රතිඥාව ඉටු වන බවක් පෙනුණේ නැත. සේවයෙන් පහ කළ සේවකයන් කොන්දේසි විරහිත ආපසු රැකියාවට කැඳවීම් ද ඇතුළු  තවත් ඉල්ලීම් ඇතුළත්  සංදේශය හතක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අමාත්‍යවරුන් හත්දෙනාට ම යළි  දිරිපත් කිරීමට කම්කරු සම්මේලනය පියවර ගත් අතර එයට  අමත රව දැවැන්ත විරෝධතා පෙළපාලියක් ද සංවිධානය විය.

කම්කරු පෙළපාලිය

දස දහස් ගණනක කම්කරු පිරිසකින් සමන්විත පෙළපාලිය යූනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියේ සිට ඩීන්ස් පාර, මරදාන හන්දිය, නොරිස් පාර ඔස්සේ ලේක්හවුස් වටරවුම අසලට පැමිණියේ, මඟ දෙපස රැස්ව සිටි අතිවිශාල අධිරාජ්‍ය විරෝධී ජනකායක ගේ ඔල්වරසන් හඬ මැද්දේ ය. ආණ්ඩුකාර හෙන්රි මේසන් මුවර්, අමාත්‍ය මණ්ඩලයට දුන් උපදෙස් අනුව වර්ජකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කළ අතර වර්ජනය අතහැර යළි සේවයට වාර්තා කළ පසු ඒ පිළිබඳ සලකා බැලිය හැකි බව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ලේකම්වරයා කම්කරු නායකයනට සැළ කර සිටියේ ය.

කම්කරු සම්මේලනයේ නායකයන් ආණ්ඩුවේ නිවේදනය පෙළපාළියේ  සිටි කම්කරු පිරිසට දැන් වූ විට ඔවුහු ප්‍රකෝප ව ආවේගශීලීව ඝෝෂා කරන්නට පටන් ගත්හ. ඉතා සන්සුන්ව කම්කරු පිරිස අමතමින් කම්කරු නායකයන්, මෙම අවස්ථාවේ සන්සුන් වන ලෙසත් අවසන් තීරණයක් ගැනීම සඳහා පසු දා උදයේ  පිටකොටුව තෙල්වත්තේ ප්‍රයිස් පිටියට පැමිණෙන ලෙසත් ඉල්ලීමක් කළහ.

මේ වන විටත් කොළඹ නගරයේ ප්‍රවාහනය ප්‍රමුඛ සියලු කටයුතු ක්‍රමයෙන් අඩපණ වෙමින් පැවතිණි. ආයුධ සන්නද්ධ පොලිස් හා හමුදා භටයන් නගරයේ  අස්සක් මුල්ලක් නෑර ස්ථාන ගත කර තිබිණි. ගෑස් කර්මාන්ත ශාලාවේ සේවකයන් ද වැඩ වැරුමට එක් වෙමින් සිටි නිසා කොළඹ අහසේ තිබුණේ අඳුරු පාළු මූසල ස්වභාවකි. ගෙවෙන හැම මොහොතක ම මේ මහා කම්කරු සටනට තව තවත් සේවකයන් එක් වීම වලක්වන්නට එදා ආණ්ඩුවට නොහැකි විය.

කම්කරු සටනට තව තවත් පිරිස්

පසු දා පහන් වන විට  කොළඹ නගරය මුළුමනින් ම  වසා දැමුණු තත්ත්වයකට පත් වෙමින් පැවතිණ. කොළඹ නගර සභාවේ ට්‍රෑම් රථ සේවකයන් ද වර්ජනයට සහාය දැක්වූ බැවින් නගරය තුළ ප්‍රවාහනයට ද බාධා ඇති විය. බස් සමාගම් සේවකයන්  සෑහෙන පිරිසක ගේ සහාය ද මෙම විරෝධතාවට හිමි විය.

 ආණ්ඩුකාරවරයාගේ නිල නිවෙස, රජ ගෙදර ප්‍රමුඛ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයට මෙන් ම රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවලට ද  වැඩපොළවලට ද මෙම මහා වැඩ වර්ජනයේ උණුසුම දැනෙන්නට පටන්ගෙන තිබිණි.

 ප්‍රයිස් පිටියට රැස්වූ කම්කරු සෙනඟ නායකයන් පෙරටු කර ගෙන මොරිස් පාර, මැකලම් පාර, ඩාලි  පාර ,ඔස්සේ ඉබ්බන්වල හන්දියේ හයිඩ් පාක් වෙත පැමිණියහ. තවත් පෙළපාලියක් බොරැල්ල කැම්බල් පිටියේ සිට බේස්ලයින් පාර වෙත ලිප්ටන් වටරවුම ඔස්සේ හයිඩ් පිටියට ඒ වෙලාවට ම සේන්දු විය.

https://www.npg.org.uk/collections/search/portrait/mw51749/Sir-Henry-Monck-Mason-Moore
ආණ්ඩුකාර හෙන්රි මේසන් මුවර් – npg.org.uk

සුදු පාලකයන්ගෙන් කොළ එළියක් “අපේ ” අයගෙන් රතු එළියක් 

එන පොට හොඳ නැති බව වටහා ගත් ආණ්ඩුව ඒ පිළිබඳ ආණ්ඩුකාරවරයා දැනුම්වත් කළ අතර ආණ්ඩුකාරවරයා දමේ පිළිබඳ උපදෙස් ලබා දෙන මෙන් බ්‍රිතාන්‍ය රජයෙන්  ඉල්ලා සිටියේ ය. බ්‍රිතාන්‍ය රජයේ ධනාත්මක ප්‍රතිචාර හේතුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අමාත්‍ය මණ්ඩලය වර්ජකයන්ගේ සියලු ඉල්ලීම් ලබා දීමට එකඟ වූ අතර ඒ පණිවිඩය අදාළ පාර්ශවයට දැනුම් දීමේ වගකීම කම්කරු අමාත්‍ය ජී. පී. එස් . කොරයාට පැවරිණි.එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ජනය අත්හිටුවීමට කම්කරු සම්මේලනය පියවර ගත්තේ ය.

අරගලය එලෙස යහපත් සාධනීය තත්ත්වයකට වර්ධනය වෙමින් පැවතියද , ඒ. ඊ. ගුණසිංහ ප්‍රමුඛ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නගරාධිපති ආර් ඒ ද මෙල්ට ප්‍රකාශ කර සිටියේ, වර්ජනයට සහභාගි වූ නගර සභාවේ සේවකයන් සේවයෙන් පහ කළ යුතු බව යි. මන්ත්‍රීවරුන්ගේ එම තර්ජනය හේතුවෙන්  තම බලය අහිමි ව යාමේ අවදානමකට ලක් වූ පුරපතිවරයා වර්ජනයට සහය දුන් සේවකයන් යළි සේවයට කැඳවීම ප්‍රතික්ෂේප  කළේය.

මහා වීදි සටන

එතැන් සිට කොළඹ නගරයේ ආරම්භ වූයේ මහා වීදි සටනකි. විශ්‍රාම ලැබූ වියපත් සේවකයන් කිහිප දෙනකු යොදවා ට්‍රෑම් රථ ධාවනය කරවීමට නගර සභාව ගත් උත්සාහය මුළුමනින් ම  ව්‍යර්ථ කරන්නට මහ පාර ආක්‍රමණය කර සිටි දහස් ගණනකින් සමන්විත වර්ජක පිරිසට හැකි විය. ඉහළින්  අණ ලැබෙන කවර මොහොතක වුව කම්කරුවන් දඩයම් කරන්නට පොලීසිය ද ආයුධ රැගෙන සීරුවෙන් බලා සිටියේ ය.

 වර්තමානයේ මෙන් වැසිකිළි අපද්‍රව්‍ය භූගත නළ මගින් බැහැර කිරීමේ ක්‍රමවේදයක් එකල තිබුණේ නැත.  ඒවා බැහැර කරනු ලැබුණේ, කම්කරුවන් විසින් අත් කරත්තවලිනි. වර්ජනය නිසා අපද්‍රව්‍ය බැහැර කිරීම අඩාල වූ අතර නගරය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිරිණි. මෙය බරපතළ සනීපාරක්ෂක ගැටලුවක් දක්වා වර්ධනය  වෙමින් තිබෙන විට, සේවයෙන් පහ කළ සේවකයන් වහා ම කොන්දේසි විරහිත ව සේවයේ පිහිටුවන්නැයි ආණ්ඩුකාරවරයා නියෝග කළේය.

වර්ජකයන් ජය ලබයි 

ඒ අනුව දින හතක් පුරා ඇදී ගිය මහා වර්ජනය ජයග්‍රාහී ලෙස අවසන් විය. වසර හැත්තෑහයකට පමණ පසුව වුව වර්තමානයේ මෙරට වැඩකරන ජනතාව භුක්ති විදින  පැය 8 ක වැඩ මුරය,  පඩි පාලක සභා, අනියම්, වෛද්‍ය නිවාඩු හා අතිකාල දීමනා වැනි සේවක අයිතිවාසිකම් ලබා ගැනුණේ එලෙසිනි.

කරත්තකරුවන් දියත් කළ ලංකාවේ පළමු වැඩවර්ජනය ගැන ලිපිය හා අගමැතිවරයකුට ඉල්ලා අස්වීමට බල කළ 1953 හර්තාලය ලිපියත් කියවන්න.

කවරයේ ජායාරූපය - 1980 ජූලි වර්ජකයෝ - www.ft.lk 

මූලාශ්‍ර:

ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම - මහාචාර්ය කුමාරි ජයවර්ධන  

ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව - දිනමිණ පුවත් පත් -1945

දිවයින

eyawmc.wordpress.com 

Related Articles