Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෞරග්‍රහ මණ්ඩලයේ අමුතු කාලගුණික විපර්යාස

අප වෙසෙන පරිසරයේ කාලගුණය විටින් විට ආන්තික හා අවිනිශ්චිත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෑත ඉතිහාසයේ ලෝකයේ විවිධ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේත් අයහපත් කාලගුණ තත්ත්වයන් නිසා ස්වභාවික ව්‍යසන කිහිපයක්ම සිදුවුණා. ඒ අතර ලෝක ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් ඉතුරු කරමින් සිදුවූ ස්වභාවික ව්‍යසනයන් ද තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයට බලපෑ කැත්‍රිනා සුළි කුණාටුව මෙන්ම 2004 වර්ෂයේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනයත් ඒ සඳහා උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. පෘථිවිය ජීවත්වීම සඳහා සුදුසු ග්‍රහලොවක් වුණත්, මෙවැනි අයහපත් කාලගුණ විප‍ර්යාසයන්ගෙන් ඇතිවන ස්වභාවික ආපදාවල බලපෑම සුළුපටු නැහැ. නමුත් සෞරග්‍රහ මණ්ඩලයට අයත් අපේ අසල්වැසි ග්‍රහලෝකවල කාලගුණික තත්ත්වයන් සලකා බලද්දී, පෘථිවිය කියන්නේ ඇත්තටම ඉතා සන්සුන් ග්‍රහලෝකයක්.

විසිවන සියවසේ අවසාන අවධිය වන විට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගැන වඩාත් සවිස්තරාත්මකව අධ්‍යනය කිරීමට මිනිසාට අවකාශ ලැබුණා. මේ වන විටත් සිය ගණනක් වූ චන්ද්‍රිකා සහ අභව්‍යකාශ ගවේශන ව්‍යාපෘතීන් දියත් කොට තිබෙනවා.  එවැනි ගවේශන මඟින් අපේ ග්‍රහ පද්ධතියේ මේ දක්වා අනාවරණය කරගත් සුවිශේෂී වූ කාලගුණික විපර්යාසයන් ලැයිස්තුවක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට යි සූදානම් වන්නේ. අපේ අසල්වැසි ග්‍රහලෝකවල ඇතිවන ඇතැම් කාලගුණික විපර්යාසයන් සැබැවින්ම බියජනක හා විශ්වාස කිරීමටත් අපහසු සංසිද්ධීන්!

සිකුරු ග්‍රහයාගේ සල්ෆියුරික් වැස්ස

සල්ෆියුරික් අම්ල වැසි පතිතවන, ලෝහ උණු කරන පෘෂ්ඨයක් සහිත ග්‍රහයෙක් තමයි සිකුරු (ඡායාරූපයෙන් සිකුරු ග්‍රහයාගේ පරිසරය කල්පිතව ගොඩනඟා ඇත)/thegreatcoursesdaily.com/

සෞරග්‍රහ මණ්ඩලයේ ඉතාමත්ම කටුක පරිසරයක් හිමි ග්‍රහලොවක් ලෙස සිකුරු ග්‍රහයා හඳුනාගැනෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ අන් කිසිම ග්‍රහයෙකු සතුව නැති උණුසුම් වූ මතුපිටක් සිකුරු සතුව තිබෙන අතර, අධික පීඩනයක් ද පවතිනවා. සිකුරුගේ වායුගෝලය කෙතරම් ඝනකම්දැ යි කියනවා නම්, පෘථිවියේ මුහුදු මට්ටමේ දී (උදාහරණයක් ලෙස කොළඹ, ගාල්ල, කළුතර, හෝ මිගමුව වැනි නගරයක දී) අපට දැනෙන වායුගෝලීය පීඩනය මෙන් 90 ගුණයක පීඩනයක් අපට සිකුරු මත දී දරා ගැනීමට සිදුවෙනවා. සිකුරු මතුපිට තිබෙන මේ වායුගෝලීය පීඩනය ඔබට පෘථිවියේ දී අත්දැකීමට අවැසි නම් ඔබ සාගරය තුළ කිලෝමීටරයක් පමණ ගැඹුරට පිහිනිය යුතු යි.

වායුගෝලයක් සහිත ග්‍රහලොවක් නිසාම විවිධ කාලගුණික විපර්යාසයන් සිකුරු තුළ සුලභ යි. පැයට කිලෝමීටර 300ට අධික වේගයකින් හමන සුළං නිතරම පාහේ සිකුරු මත ඇතිවන අතර, වර්ෂාපතනයන් ද සිදුවෙනවා. නමුත් මේ වර්ෂාව සමන්විත වෙලා තිබෙන්නේ ගැටෙන ඕනෑම දෙයක් විනාශ කිරීමට සමත් පිරිසිදු සල්ෆියුරික් අම්ලයෙන්. නමුත් සිකුරු පෘෂ්ඨය මත පවතින අධික උණුසුම නිසා සල්ෆියුරික් වර්ෂාව පෘෂ්ඨය මත පතිතවීමට පෙර වාෂ්පවී යනවා. සිකුරු මතුපිට ඊයම් උණු කිරීමට තරම් අධික උෂ්ණත්වයක් පවතින නිසා මෙය පුදුමයට පත්විය යුතු කාරණයක් නොවේ.

වායුගෝලයෙන් පෘෂ්ඨය මත ඇතිවන දැවැන්ත පීඩනය හේතුවෙන් ඉහත සඳහන් කළ අන්දමේ දරුණු සුළං ද සිකුරු පෘෂ්ඨය මතට ළඟා වෙන්නේ නැහැ. ඒ අනුව සිකුරු මතුපිට සිටින කෙනෙකුට දරුණු අම්ල වැසි සහ සුළංවලින් බේරෙන්න පුළුවන් වුණත්, ලෝහ උණු කළ හැකි උෂ්ණත්වය සහ තලා පොඩි කර දැමිය හැකි වායු පීඩනයෙන් නම් ගැලවීමක් නැහැ.

අඟහරුගේ දූවිලි කුණාටු

අඟහරු මත ඇතිවන ඩස්ට් ඩෙවිල් සංසිද්ධිය/newscientist.com/

සිකුරු ග්‍රහයාගේ වායුගෝලීය පීඩනය පෘථිවියේ මෙන් 90 ගුණයක් තරම් ප්‍රබල වුණාට අඟහරු මත දී එම තත්ත්වය හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගන්නවා. අඟහරුට තියෙන්නේ පෘථිවියට වඩා 100 ගුණයකින් තුනී වායුගෝලයක් වන අතර, එහි 95%ම අඩංගු වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව යි. කෙසේ නමුත්, යම් යම් කාලගුණික සංසිද්ධීන් ඇතිවීම සඳහා අඟහරුගේ මේ දුර්වල වායුගෝලය ප්‍රමාණවත්. ඒ අතරින් අඟහරු මත ඇතිවන දූවිලි කුණාටු ප්‍රධාන යි. සමහර විට සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වය අතින් වැඩිම දූවිලි කුණාටු අඟහරු මත ඇතිවෙනවා වන්නට පුළුවන්. එයට හේතුව වන්නේ, මෙම කුණාටු ඇතැම් අවස්ථාවල දී මුළු ග්‍රහලෝකය පුරාම පැතිරී මාස ගණනක් පැවතෙන නිසා යි. කලාපීය වශයෙන් සිදුවන දූවිලි කුණාටු අඟහරු මත සුලභ වුණත්, ග්‍රහලෝකය පුරාම පැතිරෙන මෙවැනි දූවිලි කුණාටු සෞරග්‍රහ මණ්ඩලය තුළ සිදුවන ඉතා කටුක කාලගුණ විපර්යාසයක් ලෙස සැළකිය හැකියි.

අඟහරු මත ඇතිවෙන තවත් සුවිශේෂ කාලගුණික සිදුවීමක් තමයි “ඩස්ට් ඩෙවිල්” කියන්නේ. පෙනුමෙන් ඒවා පෘථිවියේ ඇතිවෙන ටොනාඩෝ සුළිකුණාටුවලට සමාන වුණත්, මේවා අඟහරු මත ඇතිවෙන්නේ කෙසේ ද යන්න වග පිළිබඳව ඇත්තේ අල්ප දැනුමක්. මේ ඩස්ට් ඩෙවිල් කාලගුණික සංසිද්ධිය, ඕනෑම මොහොතක මිලියන ගණනින් ග්‍රහලෝකය පුරාම ඇතිවිය හැකියි.

බ්‍රහස්පති සහ සෙනසුරුගේ දියමන්ති වරුසා

සෞරග්‍රහ මණ්ඩලය තුළ බ්‍රහස්පති ප්‍රසිද්ධවී තිබෙන්නේ වායු යෝධයෙක් ලෙස යි. එනම් අනේකවිධ කාලගුණික විපර්යාසයන්වීමට සුදුසු වායුගෝලයක් බ්‍රහස්පති සතුවෙනවා. මේ වායුගෝලය 90%ම සමන්විත වෙලා තියෙන්නේ හයිඩ්‍රජන්වලින්. ඉතිරි 10% තුළ ප්‍රධාන වශයෙන් හීලියම් අඩංගු යි. බ්‍රහස්පතිට ඝන පෘෂ්ඨයක් නොමැති බැවින් (සරලවම පෘථිවියට වගේ පොළොවක් නැහැ), පෘථිවියේ වායුගෝලීය පීඩනය හා සමාන පීඩනයක් බ්‍රහස්පතිගේ පවතින ස්ථානය එහි පෘෂ්ඨය ලෙස සළකනු ලබනවා. බ්‍රහස්පතිගේත් පෘථිවියේ වගේම වර්ෂාපතනයන් හටගන්නවා. හැබැයි බ්‍රහස්පතීගේ වර්ෂාපතනයෙන් වැටෙන්නේ පෘථිවියේ දී නම් අධික මිලක් නියම වන දියමන්ති යි. මේ සංසිද්ධිය සෙනසුරුහිත් ඇතිවෙන බව පැවසෙනවා.

බ්‍රහස්පතිගේ මහා රතු ලපය ඓතිහාසික වැදගත්කමකින් යුතු කුණාටුවක් ලෙස සැළකිය හැකියි/newsweek.com/

නවතම දත්තවලට අනුව බ්‍රහස්පති, සෙනසුරු වැනි වායු යෝධයන්ගේ වායුගෝලයන්හි ස්ඵටිකමය කාබන් අඩංගු යි. වායුගෝලයේ පවතින මීතේන්, අකුණු ක්‍රියාකරකම්වලට ලක්වීම නිසා එම කාබන් නිපදවෙන බව අනුමාන කරනවා. මේ කාබන් දැවැන්ත වායු පීඩනය හමුවේ ග්‍රැෆයිට් බවට පත්වෙනවා. මෙසේ මතුපිටට වැටෙමින් පවතින ග්‍රැෆයිට්, තව තවත් දැඩි වන වායුපීඩනය හමුවේ දියමන්ති බවට පරිවර්තනය වන බව අනුමාන කෙරෙනවා. මෙම දියමන්ති විෂ්කම්භයෙන් සෙන්ටිමීටරයක් පමණ වියහැකි බව විද්‍යාඥයින් අනුමාන කරන අතර, එම දියමන්ති ග්‍රහලෝකවල උණුසුම් හරය හා ගැටීමෙන් පසු විනාශවන බව උපකල්පනය කෙරෙනවා. 

බ්‍රහස්පති මත තවත් ආකාරයේ වර්ෂාවක් හටගන්නවා. මේ වර්ෂාව සමන්විත වන්නේ හීලියම්වලින්. මෙම හීලියම් වායුගෝලයේ ඉහළ ස්ථරය තුළ මීදුමක් සේ පවතින අතර, ඒවා හයිඩ්‍රජන් සමග මිශ්‍රවෙන්නේ නැහැ. මේ හීලියම් බිඳිති වශයෙන් ක්‍රම ක්‍රමයෙන් විශාලවී නියෝන් වායුව සමග සංයෝජනය වෙමින් වරුසාවක් සේ වැටෙන්න පටන්ගන්නවා.

බ්‍රහස්පතිගේ දක්නට ලැබෙන අනෙක් වැදගත්ම කාලගුණික සංසිද්ධිය වන්නේ එහි ඇතිවෙන අති ප්‍රබල කුණාටුමය තත්ත්වයන්. මේ කුණාටු සම්බන්ධයෙන් නම් බ්‍රහස්පති ග්‍රහයාට ඓතිහාසික වැදගත්කමකුත් හිමිවෙනවා. දුරේක්ෂවල සහායෙන් පවා දැකීමට හැකි බ්‍රහස්පතිගේ සුප්‍රසිද්ධ රතු ලපයත් කුණාටු සංසිද්ධියේ ප්‍රතිඵලයක්. වර්ෂ 1665 තරම් ඈත කලක දී පවා විද්‍යාඥයින් මේ රතු ලපය නිරීක්ෂණයකොට තිබෙනවා. බ්‍රහස්පතිගේ රතු ලපය තුළ සුළඟේ වේගය පැයට කිලෝමීටර 430-680 අතර පරාසයක විහිදෙනවා.

මෙවැනිම දරුණු සුළං ප්‍රවාහ සෙනසුරු ග්‍රහයාගේ වායුගෝලය තුළත් ඇති වෙනවා. සෑම වසර 30කට වරක් පමණම සෙනසුරු මත ඇතිවෙන මහා සුදු ලපය එවැනි දරුණු ගණයේ කුණාටු පද්ධතියක් ලෙස හැඳින්විය හැකියි. මේ සුදු පැහැ ලපයේ විෂ්කම්භය සැතපුම් දහස් ගණනක් වන අතර, ඇතැම් විට එය සෙනසුරුගේ මුළු විෂ්කම්භයම ආවරණය වන පරිදි පැතිරීමටත් හැකියාව තිබෙනවා.

සෙනසුරුගේ දක්නට ලැබෙන සුදු පැහැ ලපය තවත් එක් දරුණු කුණාටුවක දර්ශනයක්/sciencemag.org/

ටයිටන්ගේ මෙතේන් හිමපතනය

මෙතෙක් වෙලා ලිපියෙන් ඔබ වෙත ගෙන ආවේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කිහිපයක කාලගුණික විපර්යාසයන් ගැන යි. නමුත් දැන් ඉදිරිපත් කරන්න යන්නේ සෙනසුරුට අයත් ටයිටන් නම් උපග්‍රහයාගේ කාලගුණික සංසිද්ධීන් කිහිපයක්. 

ටයිටන් කියන්නේ ඉතා සුවිශේෂී උපග්‍රහයෙක්. එයට හේතුව වන්නේ ටයිටන් මතත් පෘථිවියේ වාගේම විල්, ගංගා, සාගර, සහ ග්ලැසියර පැවතීම යි. ඒ වගේම මේ උපග්‍රහයා මත වර්ෂාව සහ හිම පතනයවීම් ද සිදුවෙනවා. පෘථිවියේ නම් ඉහත සඳහන් සියලු කාලගුණික තත්ත්ව සහ භූ ගෝලීය ලක්ෂණ ඇතිවන්නේ ජලය ආශ්‍රයකර ගෙන යි. නමුත් ටයිටන්වල දී ඒ සඳහා දායකවන රසායනික ද්‍රව්‍යයන් හාත්පසින්ම වෙනස්. ටයිටන් මෙතේන්, එතේන්, ප්‍රොපේන්, සහ අනෙකුත් හයිඩ්‍රොකාබන මිශ්‍රණ රැසක් අඩංගු උපග්‍රහයෙක්. පෘථිවියේ පවතින මුළු ස්වභාවික වායු සහ හයිඩ්‍රොකාබන් ඉන්ධන ප්‍රමාණය මෙන් සිය ගුණයක ප්‍රමාණයක් ටයිටන් උපග්‍රහයා තුළ අඩංගු යි. ඒ නිසා පෘථිවියේ දී ජලයෙන් ඇතිවන වර්ෂාව හා හිමපතනය වැනි කාලගුණික සිදුවීම් ටයිටන්වල දී මෙතේන් වැනි හයිඩ්‍රෝකාබන ආශ්‍රයෙන් සිදුවෙනවා.

ටයිටන් මත ඇති සාගර ගැන පළවූ ලිපියක් ඔබට මෙතනින් කියවිය හැකියි.

ටයිටන් මත හයිඩ්‍රොකාබන වලින් සැදුම්ලත් විල් පිහිටා තිබෙනවා/rt.com/

සෞරග්‍රහ මණ්ඩලයේ වේගවත්ම සුළඟ

ඉතා දරුණු මට්ටමේ සුළං ප්‍රවාහ ඇතිවන ග්‍රහලෝක දෙකක් ගැන මේ ලිපියෙන් සාකච්ඡා වුණා. සෙනසුරුගෙන් ආසන්නයේ පිහිටන යුරේනස් තුළ තිබෙන්නේත්, බ්‍රහස්පති සහ සෙනසුරුට සමාන කාලගුණික තත්ත්වයන්. නමුත් මේ හැම කුණාටුවක්ම පරදවන අති දරුණුතම කුණාටු තත්ත්වය ඇතිවන්නේ නෙප්චූන් ග්‍රහලෝකය තුළ යි. සාමාන්‍යයෙන් මේ සුළං ප්‍රවාහයන්වල වේගය පැයට කිලෝමීටර 2400ක් පමණ වෙනවා. දැනට අනාවරණය කරගෙන තිබෙන තොරතුරු අනුව සෞරග්‍රහ මණ්ඩලයේ වේගවත්ම කුණාටු කාලගුණික තත්ත්වයන් ඒ අනුව නෙප්චූන් තුළ හටගන්නවා. එම සුළං ප්‍රවාහ “සුපර්සොනික් ප්‍රවාහයක්” එහෙමත් නැතිනම් ශබ්දයේ වේගයත් අභිබවා යන තරමේ වේගයකින් යුතු බව කියවෙනවා.

නෙප්චූන් ග්‍රහයා බොහෝ කුණාටුවලට නිවහන වන අතර ඒවා නිරීක්ෂකයින්ට පෙනෙන්නේ අඳුරු කලාප ලෙසට යි. ඇතැම්විට මේ අඳුරු කලාප පෘථිවියටත් වඩා විශාල ලෙස වර්ධනය වෙනවා. පෘථිවියටත් වඩා විශාල, පැයට කිලෝමීටර් 2400ක් පමණ සුළං ඇති වන කුණාටුවක් ගැන සිතන්නටවත් පුළුවන් ද?? ඒ වගේම මේ දරුණු කුණාටුවලට දශක ගණනක් වුණත් පවතින්නට පුළුවන්. නෙප්චූන් මෙවැනි අති ප්‍රබල සහ අති විශාල කුණාටු ඇති කිරීමට තරම් ශක්තිය ගොඩනඟන අන්දම ගැන තවමත් හරිහැටි අනාවරණයක් නැහැ. නමුත් මේ අසාමාන්‍ය කාලගුණය සූර්යයාගේ බලපෑමෙන් සිදුනොවන බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. 

කොහොම නමුත්, මේ ලැයිස්තුවට ඇතුළත්කර තිබෙන්නේ බොහොම ස්වල්පයක් වූ කරුණු පමණ යි. විශේෂයෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනිකඳු පවතින අයෝ නමැති උපග්‍රහයා තුළ ඉතා අමුතු ගණයේ කාලගුණික සංසිද්ධීන් සිදුවෙනවා. ඒ වගේම පෘථිවිය හැර සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ ග්‍රහලෝකවල අසාමන්‍ය උෂ්ණත්ව වෙනස්වීම් ද සුලභ යි. 

සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට පවතින ග්‍රහලෝකවල පාරිසරික තත්ත්ව හා ආකර්ෂණීය කාලගුණික ක්‍රියාකරකම් ගැන පවා විද්‍යාඥයින් මේ වෙනකොට තම අවධානය යොමුකොට අවසන්. ඉතින් ඔබ මෙතන සඳහන් නොවන ග්‍රහලොවක් ගැන විශේෂිත තොරතුරක් දන්නේ නම් අපත් සමග බෙදාගත හැකියි.

Cover photo: නෙප්චූන්ගේ කුණාටු සංසිද්ධීන් අභව්‍යකාශයට අඳුරු කලාප ලෙසින් දිස්වන අයුරු/nasa.tumblr.com/

මූලාශ්‍රයයන්: ownyourweather.com/

earthlyuniverse.com/

bbc.com

space.com/

Related Articles