Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩි ම කාලයක් ආයු වළඳන ජීවීන් 7 දෙනෙක්

මෙලොව එළිය දකින සෑම ජීවියකු ම කෙදිනක හෝ මෙලොව හැරදා යා යුතු ය. එය ස්වභාවධර්ම නියමයකි. සියලු ම ජීවීන්ට එකිනෙකාට වෙනස් වූ නිශ්චිත ජීවිත කාල සීමාවක් ස්වභාවධර්මය තීරණය කර ලබා දී ඇත. ඇතැම් විට එය ඉපදීමෙන් පසු පැය ගණනක්, දින ගණනක්, මාස ගණනක් හෝ වසර ගණනක් විය හැකි ය. මිනිසුන් වන අපගේ සාමාන්‍ය ආයු කාලය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කරන පරිදි වසර 79 කි. මෙය විවිධ රටවලට අනුව වෙනස් විය හැක. කෙසේ නමුත් වසර 100 කට වඩා ජීවත් වන පුද්ගලයන් පිළිබඳව ද වර්තමානයේ දී අපට ඉඳහිට අසන්නට ලැබේ.

මෙම ලිපියෙන් අප ගෙන එන්නේ වසර සියයකටත් වඩා ජීවත් වන ලොව වැඩි ම ආයු කාලයක් සහිත ජීවීන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරුයි. 

පැය 24ක් පමණක් ජීවත් වන Ephemeral Mayflies
පැය 24 ක් පමණක් ජීවත් වන Ephemeral Mayflies 

Ephemeral Mayflies බත්කූරන්

ලොව අඩු ම කාලයක් ජීවත් වන ජීවීන් වන්නේ Ephemeral Mayflies නම් බත්කූරන් විශේෂයයි. මෙම බත්කූරන් විශේෂය මෙලොවට බිහි වී පැය විසි හතරක් වැනි කෙටි කාලයක් පමණක් ජීවත් වී මරණයට පත් වේ.                                      

ගැලපැගොස් යෝධ ඉබ්බා (Galapagos Giant Tortoise)

ගැලපැගොස් යෝධ ඉබ්බන් ප්‍රමාණයෙන් ඉතා විශාල විශේෂයකි. මෙම ඉබ්බන් විශේෂය ඇන්ටාක්ටිකාව හැරුණු විට අනෙකුත් සියලු ම මහද්වීපවලින් හමු වේ. ගැලපැගොස් ඉබ්බන් යනු එකම විශේෂයක් පමණක් ම නොවේ. මොවුන්ගේ වෙනත් උප විශේෂ ද ඇතැම් ස්ථානවලින් හමු වේ. දිනකට පැය 16 ක් පමණ නිදා ගන්නා මෙම ඉබ්බන් ඉතා අලස ජීවීන් කොටසකි. ගැලපැගොස් ඉබ්බන්ගේ මන්දගාමී පරිවෘත්තීය ක්‍රියාවලිය හා ජලය ඉහළ ධාරිතාවක් ලබා ගැනීමේ හැකියාව හේතුවෙන් ආහාර හෝ ජලය නොමැති ව වසරක් පමණ ජීවත් විය හැකි ය.

ගැලපැගොස් යෝධ ඉබ්බා.
ගැලපැගොස් යෝධ ඉබ්බා. 123rf.com

මෙම ඉබ්බන් බිත්තර දැමීමේදී, ඉන් බිහි වන්නේ ගැහැනු පැටවුන් ද පිරිමි පැටවුන් ද යන්න තීරණය වන්නේ මෙම බිත්තරවල පවතින උෂ්ණත්වය අනුව  වේ. බිත්තර අධික උෂ්ණත්වයක් සහිත නම් ඉන් පිරිමි පැටවුන් බිහි වීමේ සම්භාවිතාව වැඩි ය. මෙම යෝධ ඉබ්බන්ට වසර 100 ක් පමණ ඉතා නිරෝගී ව ජීවත් විය හැක. වසර සියයකට වඩා ජීවත් වුණු මෙම ඉබ්බන් පිළිබඳව ද විවිධ රටවලින් වාර්තා වේ.

අත්ලාන්තික් සයුර මධ්‍යයේ පිහිටි ශාන්ත හෙලේනා නම් කුඩා දූපතේ විසූ ‘ජොනතන්’ නම් යෝධ ගැලපැගොස් ඉබ්බා ද අවුරුදු 187ක් ජීවත් ව තිබිණි. පින්ටා දූපතේ ජීවත් වූ ජෝර්ජ් නමැති ඉබ්බකු වසර 152 ජීවත් ව සිට 2012 වසරේ දී මිය ගොස් ඇත. වසර 344 ක් ජීවත් ව සිටි අප්‍රිකානු ස්ප(ර්)ඩ් ඉබ්බකු පිළිබඳව ද නයිජීරියාවෙන් වාර්තා වේ.’

‘ජොනතන්’ නම් යෝධ ගැලපැගොස් ඉබ්බා

කෙසේ වෙතත් ඉබ්බකුගේ උපරිම ආයු කාලය වසර 200 ක් පමණ වන බවත් එය ද ඉතාමත් කලාතුරකින් විය හැකි දෙයක් බවත් එක් මතයකි. ගැලපැගොස් ඉබ්බකු වසර 344 ක් ජීවත්වූ බව පිළිගත නොහැකි බව ඒ අනුව මතු වූ මතය යි.

දීර්ඝ ජීවිත කාලයකට හිමිකම් කියන ඉන්දියානු තාරකා ඉබ්බන් ගැන වන ලිපිය ද ඔබට මෙතැනින් කියවිය හැකි යි.

නොමැරෙන රෙඩ් සී අ(ර්)චින් (Red Sea Urchin)

රෙඩ් සී අ(ර්)චින් යනු නොගැඹුරු මුහුදේ ජීවත් වන මුහුදු ජීවියෙකි. මෙම ජීවියාට ඇස් හෝ කකුල් පිහිටා නොමැත. රතු පැහැති කටු සහිත ශරීරයකින් සමන්විත මෙම මුහුදු ජීවියා මුහුදේ දී කටුවල ආධාරයෙන් චලනය වීම සිදු කරයි.

රෙඩ් සී අ(ර්)චින් ජීවියා.
රෙඩ් සී අ(ර්)චින් ජීවියා. olympiccoast.noaa.gov

බොහෝ විට රෙඩ් සී අ(ර්)චින් ජීවියා අමරණීය ජීවියකු ලෙස විශ්වාස කෙරේ.

වසර 100ක් පමණ ඉතා නිරෝගී ව ජීවත් වීමට හැකි මෙම ජීවීන් බොහොමයක් ම මිය යන්නේ විලෝපිකයන් ගේ ආහාර බවට පත් වීමෙනි. උන් වසර 200ක් පමණ කිසිදු වයස්ගත වීමේ සලකුණක් නොපෙන්වයි. මෙම සත්වයන්ගේ වයස නිර්නය කරන්නේ කාබන්-14 පරීක්ෂණය මගිනි.

වසර 226 ක් ජීවත් වූ
වසර 226 ක් ජීවත් වූ “Hanaka” නම් කොයි මත්ස්‍යයා – ladbible.com

ජපාන කොයි මත්ස්‍යයා (Japanese Koi Fish)

ජපාන කොයි මත්ස්‍යයකුගේ සාමාන්‍ය ආයු කාලය වන්නේ වසර 40 කි. වඩාත් උචිත පාරිසරික තත්ත්වයන් යටතේ ජීවත් වුවහොත් වඩා වැඩි කාලයක් ජීවත් වීමට මෙම මත්ස්‍ය විශේෂයට හැකි ය. 

“Hanako” නම් කොයි මත්ස්‍යයා වසර 226 ක් පමණ ජීවත් වී 1977 දී මිය ගොස් ඇත. විද්‍යාඥයන් මෙම මත්ස්‍යයාගේ වයස තීරණය කර ඇත්තේ ශරීරයේ ඇති හොඳින් වැඩුණු වළලු ගණනය කිරීමෙනි.

බෝව්හෙඩ් තල්මසා (Bowhead Whale)

බෝව්හෙඩ් තල්මසුන්ට වසර 200ක ට වඩා ජීවත් වීමට හැකියාව ඇත. මොවුන් වැඩිම කාලයක් ජීවත් වන ක්ෂීරපායි ජීවියා වන අතර පස් වැනියට විශාලත ම ක්ෂීරපායීන් ද වේ. බොහෝ විට මෙම තල්මසුන් ගේ වයස තීරණය කිරීම පහසු කටයුත්තක් නොවේ.

බොව්හෙඩ් තල්මසා.
බොව්හෙඩ් තල්මසා. news.mongabay.com

2007 වර්ෂයේ දී ඇලස්කා වෙරළේදී අල්ලා ගත් එක් බෝව්හෙඩ් තල්මසකුගේ ශරීරය තුළ ට කා වැදී තිබුණු, වසර 130 කට පමණ ඉහත දී, මිනිසුන්  මසුන් මැරීමට යොදා ගත් “Harpoon” නම් හෙල්ලයක තුඩක් මගින් නිගමනය කෙරුණේ මෙම තල්මසුන් වසර 200 ක් පමණ ජීවත් වන බවයි.

සිදු කළ DNA පරීක්ෂණ මගින් ද මෙම තල්මසුන්ට වසර 268 ක් පමණ කාලයක් ජීවත් වීමට හැකි බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත.   

ග්‍රීන්ලන්ත මෝරා (Greenland Shark)

ග්‍රීන්ලන්ත තල්මසුන් වසර ගණනක් යනතුරු ම විද්‍යාඥයන්ට අභිරහසක් ව පැවතිණි. වැඩි ම ආයු කාලයක් සහිත පෘෂ්ඨවංශීන් වන ග්‍රීන්ලන්ත මෝරුන්ට වසර 300 ත් 500 ත් අතර කාලයක් ජීවත්විය හැකි ය. මෙම මෝරුන් ඉතා මන්දගාමී ජීවීන් කොටසක් වේ. මොවුන්ගේ උපරිම වේගය වන්නේ පැයට සැතපුම් 0.76 ක තරම් කුඩා අගයකි. සෑම වසරකම මෙම මෝරුන්ගේ ශරීරය සෙන්ටි මීටර 01 කින් පමණ වැඩේ.

ග්‍රීන්ලන්ත මෝරා
ග්‍රීන්ලන්ත මෝරා – oceana.org

ගැහැනු සත්ත්වයන්ට ප්‍රජනන ක්‍රියාවලියේ යෙදිය හැක්කේ ඔවුන් වසර 100 ත් 150 ත් අතර වයස් ගත වූ පසුව ය. විද්‍යාඥයෝ මෙම මෝරුන්ගේ ඇසේ කාචය කාල නිර්ණය කිරීමෙන් වයස තක්සේරු කර ගත හැකි නව ක්‍රමයක් මෑතක දී සොයා ගත්හ. සෑම වසරක ම මෙම මෝරුන්ගේ ඇසේ කාචයට නව පටක එකතු වේ.  ඒ පටක තුළ ඇති සමස්ථානික ගණනය කිරීමෙන් වයස තීරණය කළ හැකි ය.

මුහුදු ක්වාහෝග් බෙල්ලෝ (Ocean Quahog)

ආහාරයට ගත හැකි මෙම ක්වාහෝග් බෙල්ලන් ඉතා දිගු ආයු කාලයක් සහිත ජීවින් විශේෂයකි. මෙම බෙල්ලන්ගෙන් බොහොමයක් දෙනා වසර 400 කට වඩා ජීවත් වන අතර 2006 වසරේ දී අයිස්ලන්ත වෙරළේ දී වසර 507 ක් වයස බෙල්ලකු සොයා ගැනිණි. මෙම බෙල්ලන්ගේ කට්ටේ වැඩුණු වළලු ප්‍රමාණය අනුව බෙල්ලන්ගේ වයස තීරණය කළ හැකි බව විද්‍යාඥයන් පවසයි.

මුහුදු ක්වාහෝග් බෙල්ලන්.
මුහුදු ක්වාහෝග් බෙල්ලන් – fisheries.noaa.gov

ක්වාහෝග් බෙල්ලන්ගේ කට්ටෙන් තවත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව  ලැබී ඇත. කාලයාගේ ඇවෑමෙන් මෙම බෙල්ලන්ගේ කටුව වර්ධනය වී ඇති ආකාරය අනුව වසර ගණනක් පුරාවට ම සගරයේ ඇති වුනු වෙනස්වීම් ද හෙළි කර ගැනීමට හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.  මෙම ජීවීන් නිසැකව ම වෙනස් වන ලෝකය නිරූපනය කරන ඡායාරූපයක් වැනි යයි ඔවුහු පවසති.

අමරණීය ජෙලි ෆිෂ් (Immortal Jellyfish)

අමරණීය වීම, එසේත් නොමැති නම් මහලු වූ පසු නොමැරී නැවත ළදරුවකු බවට පත් වීම, මිනිසුන් වන අපට නම් සිහිනයකි. මිනිසුන්ට මෙන්ම පෘථිවියේ වෙසෙන සියලු ම ජීවීන්ට මෙය කළ නොහැකි දෙයකි. එය සිහිනයක් නොවූ එක්තරා ජීවියකු සාගරයෙන් අපට හමු වේ.

අමරණීය ජෙලි ෆිෂ් (Immortal Jellyfish). මෙම අද්විතීය සත්ත්වයා මුහුදේ පාවෙමින් කීටයකු ලෙස ජීවිතය අරඹයි. මෙම කීටයා පිහිනීමට හැකි ජෙලි ෆිෂ් මත්ස්‍යයකු බවට පත්විමට පෙර කිසිදු චලනයකින් තොර වස්තුවක් ලෙස මුහූදු පතුලේ තැන්පත් වේ. බොහෝ දුරට මෙය සාමාන්‍යය තත්ත්වයකි.

immortal jellyfish මත්ස්‍යයා.
immortal jellyfish මත්ස්‍යයා. immortal-jellyfish.com

මෙම ඕනෑම අවධියක දී මෙම මත්ස්‍යයන්ට හානියක් වීමට ගියහොත් හෝ අවට පරිසරයේ යම්කිසි වෙනසක් සිදුවුවහොත් නැවතත් පෙර සිටි අවදියට ම ගොස් නැවතත් ජීවිතය මුල සිට ආරම්භ කරයි. කෙතරම් වයස් ගත වුවත් මෙම ක්‍රියාවළිය ඔවුන්ට දිගින් දිගට ම සිදු කළ හැක.  බොහොමයක් ජෙලිෆිෂ් මත්ස්‍යයන් වෙනත් විලෝපිකයන්ගේ ආහාර බවට පත් වන නිසා බහුතරයක් මත්ස්‍යයන්ට සදාකාලික ව ම ජීවත් වීමට වාසනාව ලැබෙන්නේ නැත. 

කවරයේ පින්තූරය: ගැලපැගොස් යෝධ ඉබ්බා -  pinterest.com   

මූලාශ්‍ර

onekindplanet.org

bbc.com  

Related Articles