Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බංගලාදේශ ක්‍රිකට් නායකත්වයේ සිටිය දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ ක්‍රීඩකයා

පසුගිය දිනෙක බංගලාදේශයේ පැවති මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට එරට පාලක පක්ෂය සමත් වුණා. ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් පාලක අවාමි ලීගය එහිදී ජයග්‍රහණය ලබනවා. එම පක්ෂය එරට පාර්ලිමේන්තුවේ ආසන 298න් 287ක් ලබාගන්නා අතර ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතික පෙරමුණට රැක ගැනීමට හැකි වී තිබෙන්නේ ආසන හතක් පමණයි. ඒ පිළිබඳව ලිපියක් roar පිටුවෙන් මීට පෙර ඔබ වෙත ගෙන ආවා.

එම මැතිවරණයේ දී අවාමි ලීගය නියෝජනය කරමින් මහා මැතිවරණයට ඉදිරිපත් වූ, බංගලාදේශ එක් දින ක්‍රිකට් නායක මෙන්ම දක්ෂ වේග පන්දු යවන්නෙක් වන මෂ්රෆී මොටාසා ‌මැතිවරණය ජයගනිමින් බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවට තේරී පත් වෙනවා. එරට එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද මේ වන විට ඔහු කටයුතු කරමින් සිටිනවා.

ක්‍රිකට් පිටියේ ක්‍රියාකාරීව සිටින කාලයක දී පාර්ලිමේන්තුවට පැමිණි, බංගලාදේශයේ ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ද මෂ්රෆී මොටාසා යි.

2018 වසරේ නොවැම්බර් මාසයේ දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු දෙසැම්බර් 22 පැවති මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කරනවා. එසේ කෙටි කාලයක් තුළ මැතිවරණය ජයගැනීම කැපී පෙනෙන සිදුවීමක් ලෙස සඳහන් කළ හැකි යි. ඔහු නියෝජනය කළ මැතිවරණ ආසනයෙන් 96%ක ජන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය ලබා ගැනීමට මොටාසා සමත් වෙනවා.

ක්‍රිකට් පිටියේ සිට පාර්ලිමේන්තුව කරා පැමිණි මොටාසා පිළිබඳව යි අද ලිපිය.

මොටාසාගේ ක්‍රිකට් දිවිය

මෂ්රෆී මොටාසා (NDTV Sports)

1983 වසරේ දී බංගලාදේශයේ Narail දිස්ත්‍රික්කයේ උපත ලබන මොටාසා කුඩා කාලයේ පටන් ක්‍රිකට්, පාපන්දු, හා බැඩ්මින්ටන් යන ක්‍රීඩාවලට දක්ෂතා දක්වනවා.

2001 වසරේ එරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කරන ඔහු ටෙස්ට් තරග, එක්දින තරග හා පළමු පෙළ ක්‍රිකට් තරග රාශියකට සහභාගී වී තිබෙනවා.

2001 වසරේ සිම්බාබ්වේට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ ඔහු මේ වන විට ටෙස්ට් තරග 36කට සහභාගී වෙනවා. 2001 වසරේ සිම්බාබ්වේට එරෙහිව සිය මංගල එක්දින තරගයට සහභාගී වූ ඔහු මේ වන විට එක්දින තරග 202කට සහභාගී වී තිබෙනවා. ඊට අමතරව T 20 තරග 54 කට ද, පළමු පෙළ තරග 57කට ද  සහභාගී වී තිබෙනවා.

ටෙස්ට් තරග 36 තුළ දී ලකුණු 797 ක් ලබා ඇති මොටාසා එක්දින තරග 202 තුළ ලකුණු 1728ක් ලබා ගෙන තිබෙනවා. T20 තරග 54ක දී ලකුණු 377ක් ද පළමු පෙළ තරග 57ක් තුළ ලකුණු 1458ක් ද රැස් කරගෙන තිබෙනවා.

ඔහු මේ වන විට ටෙස්ට් කඩුලු 78ක්, එක්දින තරගවල දී කඩුලු 258ක්, T20 කඩුලු 42ක්, හා පළමුපෙළ තරග කඩුලු 135ක් ලබාගෙන තිබෙනවා.

2009 වසර වන විට මොටාසා ටෙස්ට් හා T20 තරගවලින් සමුගන්නවා. නමුත් එක්දින තරග සඳහා දිගින් දිගටම ක්‍රීඩා කරනවා. 2019 එක් දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින පිටියෙන් තමන් ඉවත්වන බව ඔහු විසින් නිවේදනය කෙරුනා.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම

එක්දින පිටියේ (The Cricket Monthly)

පසුගිය දෙසැම්බරයේ බංගලාදේශයේ පැවති එරට 11 වන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔහු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වෙන බව  මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නේ මැතිවරණයට ඉතාමත් ආසන්න කාලයක දී යි. ඒ නොවැම්බර් මාසයේ යි.

ඔහු නියෝජනය කරන්නේ අගමැතිවරිය වන ෂෙයික් හසීනා ගේ අවාමි ලීගය යි. එහිදී ඔහුගේ ආසනය වන්නේ ඔහු උපන් ප්‍රදේශය වන Narail දිස්ත්‍රික්කය යි. ඔහු ලබාගත් මුළු ජන්ද ප්‍රමාණය 274, 418ක් වන අතර එය එම ආසනයේ ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාවෙන් 96%ක ප්‍රතිශතයක් ලෙස සඳහන් වෙනවා. ඔහුගේ ප්‍රතිවාදියාට ලබා ගැනීමට හැකි වන්නේ ජන්ද 8,006ක් පමණ යි. ඒ ප්‍රතිඵලයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ඔහු 2019 ජනවාරි 1 වන දා සිට එරට පාර්ලිමේතුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබනවා.

දූෂිත මැතිවරණයක් ද ?

අගමැතිනිය සමග (Dhaka Tribune)

බංගලාදේශයේ මෙවර පැවති මහා මැතිවරණය දූෂිත මැතිවරණයක් බව එරට විපක්ෂය, රාජ්‍ය නොවන සංවිධාන හා විවිධ රටවල් විසින් ප්‍රකාශ කරනවා. මැතිවරණය තුළ දී දකින්නට ලැබුණු රාජ්‍ය මර්දනය හා දූෂණ පිළිබඳව ප්‍රධාන විපක්ෂයේ නායකයා ලෙස දැනට ක්‍රියාකරන කමල් හුසේන් අවධාරණය කරන නමුත්, නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවති බව නව අගමැති ලෙස නැවත පත්වෙන ෂෙයික් හසීනා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් එම ප්‍රකාශයට විරුද්ධ වන බොහෝ දෙනෙක් ෂෙයික් හසිනාගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනය ප්‍රතික්ෂේප කරන බවත් විශේෂයෙන් තරුණ ප්‍රජාව ඊට තදින් විරුද්ධ බවත් පවසනවා.

මැතිවරණය සර්ව සාධාරණව පැවති බවත් එහිදී මැතිවරණ වංචා සිදු නොවූ බවත් මෂ්රෆී මොටාසා පවසා තිබෙනවා. තමන් එදින ජන්ද මධ්‍යස්ථාන 30කට වඩා නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි වූ බවත්, කිසිම ජන්ද පොළක කිසිම ආකාරයේ මැතිවරණ නීති රීති උල්ලංඝනය වීමක් සිදු නොවූ බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මැතිවරණ ව්‍යාපාරයේ (The Indian Express)

ඒ සමග අවාමි ලීගය නියෝජනය කරමින් මැතිවරණය ජයග්‍රහණය කළ අය අතරට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ තවත් දෙදෙනක් ඇතුළත් වෙනවා. ඒ  බංග්ලාදේශ පළමු ටෙස්ට් නායක නයිමූර් රහමාන් හා බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් යන දෙදෙනා යි.

කවරයේ පින්තූරය - Sporting News

මූලාශ්‍රයයන්:

indianexpress.com

cricbuzz.com

espncricinfo.com

Related Articles