ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් බිහිවුණු ක්‍රිකට් තරු

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයන් රැසක් දායාද කළ පාසලක්. 1975-2020 කාල සමය තුළ ටෙස්ට් ක්‍රිකට් වරම් ලබාගත් ක්‍රීඩකයන් 6 දෙනෙකු ද, එක්දින සහ 20/20 තරග වරම් ලබාගත් ක්‍රීඩකයන් 6 දෙනෙකු ද ශාන්ත තෝමස් විදුහලෙන් බිහි වුණා. විශේෂයෙන්ම 70 සහ 80 දශකවල දී ශාන්ත තෝමස් විදුහලෙන් සුපිරි ක්‍රිකට් තරු බිහිවුණත් පසු යුගයේ දී එම තත්ත්වය දක්නට ලැබුණේ නැහැ. ගෙවුණු වසර 32ක පුරාවටම එම විදුහලෙන් බිහිවුණේ එක් ටෙස්ට් ක්‍රීඩකයෙකු පමණ යි.

70 දශකය 

70 දශකයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලි 2කට සහභාගි වුණා. එම තරගාවලිවල දී ශ්‍රී ලංකාව නියෝජනය කළ මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, දුලිප් මෙන්ඩිස්, සහ මෙවන් පීරිස් යන ක්‍රීඩකයන් සිව්දෙනා ශාන්ත තෝමස් විදුහලෙන් සිප් සතර හදාරා තිබුණා. 

අනුර තෙන්නකෝන් 

ශ්‍රී ලංකාවේ පළමු එක්දින ක්‍රිකට් නායකයා වීමේ ගෞරවය හිමිකරගත් අනුර තෙන්නකෝන්, 1975 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවා. 1979 ලෝක කුසලාන තරගාවලියේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් තෙන්නකෝන් නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ දී අගනා ලකුණු 59ක් ලබාගත්තා. එය ශ්‍රී ලංකා නායකයෙකු එක්දින තරගයක දී ලබාගත් මුල්ම අර්ධ ශතකය බවට පත් වුණා. එසේම එය තෙන්නකෝන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී ලබාගත් එකම අර්ධ ශතකය ලෙසින් සටහන් වුණා. 

නිල නොවන ක්‍රිකට් තරග සමයේ ලංකා කණ්ඩායමේ සිටි ප්‍රබල පිතිකරුවෙකු වුණු තෙන්නකෝන් සිය මංගල එක්දින තරගයේ දී අමිහිරි වාර්තාවක් තැබුවා. ඒ, එක්දින තරගයක දී ලකුණු නොලබා දැවීගිය මුල්ම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීම යි. සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ දී එක්දින තරග 4කට පමණක් සහභාගි වුණු තෙන්නකෝන් එහි දී ලකුණු 137ක් ලබාගත්තා. අනුර තෙන්නකෝන් නම් දක්ෂ පිතිකරුවාට ජාත්‍යන්තර තරග රැසක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණත්, ඔහු නිල නොවන ටෙස්ට් තරගවල දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. පහත දක්වා තිබෙන්නේ තෙන්නකෝන් නිල නොවන ටෙස්ට් තරගවල දී ලබාගත් ශතක කීහිපයක් පිළිබඳව යි.

1) 101- මාලිබෝන් ක්‍රිකට් සමාජයට එරෙහිව (1969 වසරේ දී)

2) 169*- ඉන්දියාවට එරෙහිව (1974 වසරේ දී)

3) 131- ඉන්දියාවට එරෙහිව (1974 වසරේ දී)

4) 101- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව (1975 වසරේ දී)

තෙන්නකෝන් ශ්‍රී ලංකාව සහභාගි වුණු මංගල එක්දින තරගයේ දී කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් සමග (gettyimages)

මයිකල් තිසේරා 

මයිකල් තිසේරා සහභාගි වුණු එකා ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට පත් වුණේ 1975 ලෝක කුසලානය යි. එම තරගාවලිය යටතේ පැවති තරග 3ට සහභාගි වුණු මෙම ක්‍රීඩකයා ලකුණු 78ක් ලබාගත්තා. එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 52ක් ලබාගනිමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ එකම අර්ධ ශතකය වාර්තා කිරීමට මොහුට හැකියාව ලැබුණා. 60 දශකයේ දී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ මෙම දක්ෂ ක්‍රීඩකයා 1965 වසරේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම සඳහා නායකත්වය ලබාදුන්නා. එය ලංකා කණ්ඩායමක් ලබාගත් පළමු නිල නොවන ටෙස්ට් තරග ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක් වුණා. පහත දැක්වෙන්නේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ඉන්දියා පළමු ඉනිම- 189/10 (සක්සේනා- 63*, ස්ටැන්ලි ජයසිංහ- 38/6, නෝටන් ෆෙඩ්‍රික්- 85/4)

ලංකා පළමු ඉනිම- 144/7 (අනුරුද්ධ පොලොන්නෝවිට- 53, කුල්කර්ණී- 43/4)

ඉන්දියා දෙවන ඉනිම- 66/10 (අනුරුද්ධ පොලොන්නෝවිට- 7/3, ජයසිංහ- 14/3, ෆෙඩ්‍රික්- 24/3)

ලංකා දෙවන ඉනිම- 115/6 (අබූ ෆුවාඩ්- 40, මනෝ පොන්නයියා- 22, ගොයෙල්- 33/4)

ලංකාවට කඩුලු 4ක ජයක් 

නායකයෙකු පමණක් නොව පිතිකරුවෙකු ලෙස ද දස්කම් දැක්වූ තිසේරා නිල නොවන ටෙස්ට් තරගවල දී ශතක 2ක් ලබාගැනීමට සමත් වුණා. ඒ ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 122 සහ පාකිස්ථානයට එරෙහිව ලබාගත් ලකුණු 120 යි. එම ශතක 2ම විදෙස් රටවල දී ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

මයිකල් තිසේරා (gettyimages)

දුලිප් මෙන්ඩිස් 

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි දුලිප් මෙන්ඩිස් පසු කලෙක ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් වුණා. 1972 නිල් මහා සටනේ දී ඔහු ලකුණු 184ක් ලබාගත්තේ එම අවධිය වන විට තරගාවලි ඉතිහාසය තුළ පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. පාසල් අවදියේ සිටම ප්‍රවේගකාරි පිතිකරුවෙකු ලෙසින් නම් දරා සිටි දුලිප් 1975 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබාගත්තා. එදා සිට වසර 13ක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වුණු දුලිප් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. පහත දක්වා තිබෙන්නේ එම දස්කම් පිළිබඳව යි.

1) 1979 එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ඉන්දු-ලංකා එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 47ක ජයක් හිමි වුණා. එය ශ්‍රී ලංකාව ලබාගත් මුල්ම ජාත්‍යන්තර එක්දින තරගය ජයග්‍රහණය ලෙසින් ඉතිහාස ගත වුණා. එම තරගයේ දී හයේ පහර 3ක් සමගින් පන්දු 57කදී වේගවත් ලකුණු 64ක් ලබාගත් දුලිප් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මට්ටමේ එක්දින තරගයක දී එවැනි සම්මානයක් දිනාගත් මුල්ම අවස්ථාව ලෙසින් සටහන් වුණා. එසේම ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගත වුණා.

2) 1982 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුල්ම වරට ටෙස්ට් තරගයක් පැවැත්වුණේ මදුරාසියේ චෙපොක් පිටියේ දී යි. එම තරගයේ දී සුපිරි දස්කම් දැක්වූ දුලිප් මෙන්ඩිස් ඉනිම් දෙකේදීම ශතක ලබාගත්තේ එවැනි දස්කමක් දැක්වූ පළමු ලාංකීය පිතිකරුවා බවට පත්වෙමින්. එහිදී ඔහු ඉනිම් ද්විත්වය තුළ ලකුණු 105 බැගින් ලබාගැනීමත් විරල ගණයේ දස්කමක් වුණා. එසේම මෙම පිතිකරුවා දිලිප් දෝෂිගේ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

3) 1984 වසරේ දී ලෝඩ්ස් පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගය දුලිප්ට අමතක නොවන එකක් වුණා. එම තරගයේ දී පළමු ඉනිමේ දී ලකුණු 111ක් ලබාගත් මෙම පිතිකරුවා දෙවන ඉනිමේ දී වේගවත් ලකුණු 94ක් ලබාගත්තා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ ශතකයක් ලබාගත් මුල්ම නායකයා බවට පත් වුණා. 

4) 1985 වසරේ දී ඉන්දියාවට එරෙහිව පී සරා ඕවල් පිටියේ දී පැවති ටෙස්ට් තරගය ලකුණු 149කින් ජයගත් ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළා. එදා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ දුලිප් මෙන්ඩිස්න් නම් ක්‍රීඩකයා යි. එසේම එම තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව මුල්ම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කළා. එලෙස මුල්ම වරට ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් උරුමකර දුන් නායකයා ලෙස වාර්තා අතරට එකතු වුණු දුලිප් ලංකාවට මුල්ම වරට එක්දින තරගාවලි ජයක් හිමිකර දුන් නායකයා බවටත් පත් වුණා. ඒ 1983 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති එක්දින තරගාවලිය ජයග්‍රහණය කරා මෙහෙයවමින්. ඊට අමතරව දුලිප්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ලබාගත් වැදගත්ම ජයග්‍රහණය බවට පත්වුණේ 1986 ආසියා කුසලානය යි. ඒ අනුව ආසියානු කුසලානය ලංකාවට දිනා දුන් මුල්ම නායකයා ලෙසත් දුලිප් ඉතිහාසගත වුණා.

දුලිප් මෙන්ඩිස් (gettyimages)

දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ රැඳී සිටි දුලිප් ටෙස්ට් ඉනිම් 43ක දී අර්ධ ශතක 8ක් සහ ශතක 4ක් සමගින් ලකුණු 1329ක් ලබාගත්තා. ඉන්දියාවට එරෙහිව 1985 වසරේ දී ලබාගත් ලකුණු 124 ඔහු ටෙස්ට් ඉනිමක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. එසේම ඔහු එක්දින තරග 79කට සහභාගි වෙමින් ලකුණු 1527ක් ලබාගත්තා. ඕස්ට්‍රේලියාවට එරෙහිව 1985 වසරේ දී ලබාගත් ලකුණු 80 ඔහු එක්දින තරගයක දී ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

ඉහත ක්‍රීඩකයන් තිදෙනාට අමතරව දකුණත් වේගපන්දු යවන්නෙකු වුණු මෙවන් පීරිස් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරග 3ක් සඳහා තරග කළත් ඔහුට ලබාගත හැකි වුණේ කඩුලු 2ක් පමණ යි.

80 දශකය 

ගයි ද අල්විස්, සාලිය අහංගම, කෞෂික් අමලීන්, සහ කපිල විජේගුණවර්ධන 80 දශකයේ දී ශාන්ත තෝමස් විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා. පහත දක්වා තිබෙන්නේ ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව යි.

ගයි ද අල්විස් 

1983-1988 කාල සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ගයි ද අල්විස් ටෙස්ට් තරග 11කට සහ එක්දින තරග 31කට සහභාගි වුණා. එහිදී ටෙස්ට් තරගවල දී විශේෂ දස්කමක් දැක්වීමට අසමත් වුණු ගයි ඉනිම් 19ක දී ලබාගත්තේ ලකුණු 152ක් පමණ යි. නමුත් එක්දින තරග 31කදී අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 401ක් ලබාගත් ගයි පහත සඳහන් ශ්‍රී ලංකා වාර්තා ද්විත්වය ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගත්තා.

1) 1983 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පී සරා ඕවල් පිටියේ පැවති තරගයක දී කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරමින් උඩ පන්දු 5ක් රැකගත්තා. එය ලංකා කඩුලු රකින්නෙකු එක්දින තරගයක දී උඩ පන්දු 5ක් ලබාගත් මුල්ම අවස්ථාව ලෙස සටහන් වුණා.

2) 1983 එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ පිට පිටම පැවති තරග 2කදී මෙම පිතිකරුවා විසින් අර්ධ ශතක වාර්තා කළා. එහි දී ගයි විසින් පාකිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 59ක් ලබාගන්නා විට එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 56ක් ලබාගත්තා. එය ශ්‍රී ලංකා කඩුලු රකින්නෙකු විසින් එක්දින තරගයක දී අර්ධ ශතකයක් ලබාගත් මුල්ම අවස්ථාව ලෙසින් සටහන් වුණා.

ගයි ද අල්විස් (gettyimages)

ශාන්ත තෝමස් විදුහලෙන් බිහි වුණු වේගපන්දු යවන්නන් ත්‍රිත්වය 

සාලිය අහංගම, කෞෂික් අමලීන්, සහ කපිල විජේගුණවර්ධන යන වේග පන්දු යවන්නන් තිදෙනා 80 දශකයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා. එම පන්දු යවන්නන් තිදෙනා අතුරින් අහංගම 1985 ඉන්දු-ලංකා ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 18ක් ලබාගනිමින් විශිෂ්ට දස්කම් දැක්වුවත් ආබාධයක් නිසා ඔහුට යළි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරගවලට සහභාගි වීමට අවස්ථාව ලැබුණේ නැහැ. අහංගම සේම අමලීන් ද අඩු තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ද, කපිල සැලකිය යුතු තරග ප්‍රමාණයක දී ශ්‍රී ලංකාව නියෝජනය කළා. පහත දක්වා තිබෙන්නේ ඔවුන් තිදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කඩුලු ලබාගත් ආකාරය යි.

1) සාලිය අහංගම- ටෙස්ට් කඩුලු- 18 (තරග- 3)

                          එක්දින කඩුලු- 0 (තරග- 1)

2) කෞෂික් අමලීන්- ටෙස්ට් කඩුලු- 7 (තරග- 2)

                             එක්දින කඩුලු- 9 (තරග- 8)

3) කපිල විජේගුණවර්ධන – ටෙස්ට් කඩුලු- 7 (තරග- 2)

                                      එක්දින කඩුලු- 25 (තරග- 26)

කපිල 1992 ලෝක කුසලාන තරගාවලියේ දී (gettyimages)

90 දශකය 

90 දශකයේ දී ශාන්ත තෝමස් විදුහලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පිවිසුණේ නිසල් ප්‍රනාන්දු සහ අරුණ ගුණවර්ධන යන ක්‍රීඩකයන් දෙදෙනා යි. මොවුන් දෙදෙනාම 1994 ඉන්දු-ලංකා එක්දින තරගාවලියේ දී එක්දින වරම් දිනාගත්තා. නමුත් ඔවුන් දෙපලට එම තරගාවලියෙන් පසුව යළි ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුණේ නැහැ.

2010 වසරේ සිට වර්තමානය දක්වා 

1994-2010 කාල සමය තුළ ශාන්ත තෝමස් විදුහලෙන් බිහිවුණු කිසිදු ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුණේ නැහැ. දිගු නිහැඬියාවකින් පසුව ජීවන් මෙන්ඩිස් සහ කෞෂාල් සිල්වා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබාගත්තේ 2010 සහ 2011 වසරවල දී යි.

ජීවන් මෙන්ඩිස් 

මෙම ක්‍රීඩකයා පිළිබඳව මුල්ම වරට ක්‍රිකට් ලෝකයේ අවධානය යොමු වුණේ 2002 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී යි. එම තරගාවලිය යටතේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු ජීවන් ලකුණු 19කට කඩුලු 7ක් ලබාගත්තා. එය එම කාල සමය වන විට යොවුන් ලෝක කුසලාන තරගයක දී වාර්තා වුණු හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. ඉන් වසර 8කට පසුව, එනම් 2010 වසරේ දී, ජාතික කණ්ඩායමට පිවිසි ජීවන් එක්දින තරග 58කට සහ 20/20 තරග 22කට ක්‍රීඩා කිරීමට වරම් ලබාගත්තා. එහිදී එක්දින ලකුණු 636ක් රැස්කරමින් කඩුලු 28ක් දවාගත් මෙම ක්‍රීඩකයා 20/20 ලකුණු 207ක් රැස් කරන අතරතුර කඩුලු 12ක් දවාගත්තා.

ජීවන් මෙන්ඩිස් (gettyimages)

කෞෂාල් සිල්වා 

2011 වසරේ සිට ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැඳී සිටින කෞෂාල් ඉනිම් 74ක දී ලකුණු 2099ක් ලබාගැනීමට සමත් වුණේ ශතක 3ක් සහ අර්ධ ශතක 12ක් සමග යි. එහි දී ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, සහ බංග්ලාදේශය යන කණ්ඩායම්වලට එරෙහිව ශතක ලබාගත් කෞෂාල් සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වුණු ලකුණු 139 වාර්තා කළේ බංග්ලාදේශයට එරෙහිව යි.

කෞෂාල් සිල්වා (gettyimages)

කවරයේ ඡායාරූපය- දුලිප් මෙන්ඩිස් 1984 ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී (News18.com)

මූලාශ්‍රයන්- Love of a Lifetime- Bertie Wijesinghe  

Related Articles