Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරි දස්කම් පෑ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල තරගාවලියේ පෙරමුණට

2022 Road Safety World Series ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී මේ දිනවල පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, සහ බංග්ලාදේශය යන රටවල්වල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින ක්‍රිකට් තරු මෙම තරගාවලිය සඳහා එක් ව සිටිනවා.

එම තරගාවලියේ මූලික තරග වටයේ 11 වන තරගය නිමාව දකිද්දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකි ව තිබෙනවා. එහි දී ඔවුන් සහභාගි වුණු තරග තුන ම ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සුපිරි දස්කම් 

Road Safety World Series ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගි වුණු තරග 2ක් ගෙවුණු සතියේ දී පැවැත්වුණා. ඒ අතුරින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය කාන්පූර් හි දී පසුගිය අඟහරුවාදා පැවැත්වුණා. 

පන්දු යවන්නන්ට වඩාත් හිතකර තණතීරුවක පැවති එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන්නේ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම යි. එහි දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු සනත් ජයසූරිය ලකුණු 3කට දවා ගත් කඩුලු 4 නිසා එංගලන්ත ඉනිම පන්දු වාර 19ක් තුළ ලකුණු 78කට සීමා වුණා.

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු සනත් ජයසූරිය – espncricinfo.com

 

ජයග්‍රහණය සඳහා ලකුණු 79ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14.3ක් අවසානයේ දී කඩුලු 3ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. එහි දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මුණවීර සහ උපුල් තරංග පිළිවෙළින් ලකුණු 24ක් සහ ලකුණු 23ක් ලබා ගත්තා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත ලෙජන්ඩ්ස්- 78/10 (19), (බෙල්- 15, ජයසූරිය- 3/4, කුලසේකර- 11/2, චතුරංග- 17/2)

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්- 79/3 (14.3), (මුණවීර- 24, තරංග- 23, මැස්කරේනස්- 3/1, පැරී- 9/1)

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා- සනත් ජයසූරිය 

 දිල්ෂාන් මුණවීර – gettyimages.com

 

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම හමුවේ ලබා ගත් ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ දිනයේ දී තවත් ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි ව යි. ඉන්ඩෝර් හි දී පැවති එම තරගයේ කාසියේ වාසිය පරාජය වී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.

එහි දී ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළ ජීවන් මෙන්ඩිස් පන්දු 27කින් ලකුණු 43ක් ලබා ගනිද්දී උපුල් තරංග ද පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 36ක් ලබා ගත්තා. 

ජීවන් මෙන්ඩිස් – gettyimages.com

 

ඉන් අනතුරු ව ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු මෝර්නි වෑන් වයික් වේගවත් අර්ධ ශතකයක් ලබා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 14.1ක් අවසන් වෙද්දී දකුණු අප්‍රිකා ලකුණු පුවරුව 118/2ක් ලෙසින් දිස් වුණා. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා පන්දු 35කින් අවශ්‍ය වුණේ ලකුණු 48ක් පමණ යි.

එනිසා තරගයේ වැඩි වාසිය දකුණු අප්‍රිකාව දෙසට නැඹුරු වී තිබුණා. එවැනි වටපිටාවක දක්ෂ ලෙස පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් කඩුලු ඉක්මනින් ලබා ගෙන නියමිත පන්දුවාර 20 තුළ දකුණු අප්‍රිකා ඉනිම 154/6 ලෙසින් සීමා කළා. 

මෝර්නි වෑන් වයික් – gettyimages.com

 

එහි දී දකුණු අප්‍රිකා පිතිකරු මෝර්නි වෑන් වයික් පන්දු 56කින් වේගවත් ලකුණු 76ක් ලබා ගත්ත ද එය දකුණු අප්‍රිකා පරාජය වැලැක්වීමට ප්‍රමාණවත් වුණේ නැහැ. එම ඉනිමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් කුලසේකර ලකුණු 33කට කඩුලු 2ක් දවා ගනිද්දී ඉසුරු උදාන ලකුණු 20කට කඩුල්ලක් බිඳ දැමුවා. ඔවුන් දෙදෙනාට අමතර ව දක්ෂ පන්දු යැවීමක නිරත වුණු චතුරංග ද සිල්වා සිය පන්දුවාර 4 ඇතුළත ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 12ක් පමණක් ලබා දීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට වීශාල රුකුලක් වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්- 165/6 (20), (ජීවන්- 43, තරංග- 36, මුණවීර- 26, කෲගර්- 43/2, බෝතා- 18/1)

දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස්- 154/6 (20), (වෑන් වයික්- 76, කුලසේකර- 33/2, උදාන- 20/1, ජීවන්- 18/1)

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලකුණු 11ක ජයක් 

තරගයේ වීරයා- ජීවන් මෙන්ඩිස් 

නුවන් කුලසේකර – gettyimages.com

 

ඒ අයුරින් ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග 3කට සහභාගි වී ලකුණු 6ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන ඊළඟ තරගය නවසීලන්තයට එරෙහි ව සැප්තැම්බර් 24 වැනි දා (සෙනසුරාදා) පැවැත්වීමට නියමිත යි. 

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන – espncricinfo.com

ටෙනිස් පිටියේ සුපිරි තරුවක් සිය ක්‍රීඩා දිවියට සමු දෙයි 

ගෙවුණු දශක 2ක තුළ ලෝක ටෙනිස් පිටියේ සිටි දක්ෂත ම ක්‍රීඩකයන් කිහිප දෙනා අතර ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ඉදිරියෙන් ම සිටියා. ඒ ඔහු විම්බල්ඩන්, ප්‍රංශ විවෘත, අමෙරිකානු විවෘත, ඕස්ට්‍රේලියානු විවෘත යන ග්‍රෑන්ඩ්ස්ලෑම් තරගාවලිවල දී සහ අනිකුත් ටෙනිස් තරගාවලිවල දී දැක්වූ සුපිරි දස්කම් නිසා යි. එලෙස පෙන්වූ සුපිරි දස්කම් නිසා සිය ටෙනිස් දිවියේ දී සති 310ක කාලයක් ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙසින් වැජඹීමට ෆෙඩරර්ට අවස්ථාව ලැබුණා. 

රොජර් ෆෙඩරර් – gettyimages.com

 

රොජර් ෆෙඩරර්ගේ සුපිරි දස්කම් මතු වුණු ග්‍රෑන්ඩ්ස්ලෑම් තරගාවලි ගැන කතා කරද්දී විම්බල්ඩන් තරගාවලිය අමතක කරන්නට බැහැ. ඒ එය ඔහු මුල් ම වරට දිනා ගත් ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතාව බවට පත්වුණු නිසා යි. එසේ 2003 දී මුල් ම වරට විම්බල්ඩන් පිරිමි ඒකල ශූරතාව දිනා ගත් ෆෙඩරර් යළි 2004, 2005, 2006, 2007, 2009, 2012, 2017 යන වසරවල දී එම ශූරතාව දිනා ගත්තා.

ඒ අනුව ඔහු සිය ටෙනිස් තරග දිවිය තුළ දී දිනා ගත් විම්බල්ඩන් පිරිමි ඒකල ශූරතා ගණන 8ක්. එය විම්බල්ඩන් ටෙනිස් ඉතිහාසය තුළ යම් ක්‍රීඩකයෙක් දිනා ගත් වැඩිම පිරිමි ඒකල ශූරතා ප්‍රමාණය යි. 

2003 විම්බල්ඩන් ශූරතාව දිනා ගත් අවස්ථාව – gettyimages.com

 

ඊට අමතර ව ඕස්ට්‍රේලියානු විවෘත ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාව 6 වාරයක්, අමෙරිකානු විවෘත ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාව 5 වාරයක්, ප්‍රංශ විවෘත ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාව එක් වරක් දිනා ගැනීමට මෙම සුපිරි ක්‍රීඩකයාට හැකි වුණා.

එලෙස ටෙනිස් පිටිය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වූ ෆෙඩරර් සිය ටෙස්ට් තරග දිවිය තුළ දී ශූරතා 103ක් දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. ෆෙඩරර් දිනාගත් එම කුසලාන 103 දෙවැනි වන්නේ අමෙරිකානු ක්‍රීඩක ජිමී කෝනර්ස් දිනා ගත් කුසලාන 109ට පමණ යි. 

අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගත් අවස්ථාවක් (gettyimages.com)

 

1998 දී ජාත්‍යන්තර ටෙනිස් පිටියට පිවිසි මෙම ක්‍රීඩකයා ගෙවුණු වසර 24ක කාලය තුළ අඛණ්ඩ ව දස්කම් දක්වමින් සිය නාමය ටෙනිස් පිටියේ තුළ ඉහළින් ම රඳවා ගත්තා. ඕනෑම ක්‍රීඩකයෙක් නිසි වයස එළඹුණු පසුව ක්‍රීඩාවෙන් සමු ගැනීම කළ යුතු යි.

එය මනාව තේරුම් ගත් ෆෙඩරර් සිය වසර 24ක ටෙස්ට් තරග දිවියට නැවතීමේ තිත තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව යළි කිසිදු දිනයක රොජර් ෆෙඩරර් නම් විශිෂ්ටයාගේ සුපිරි දස්කම් ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලියක දී දැකගැනීමට හැකිවන්නේ නැහැ. 

 රොජර් ෆෙඩරර් සිය ටෙනිස් දිවියේ දී දිනාගත් කුසලානවලින් බිඳක් – gettyimages.com

 

20/20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක් 

2022 T20 ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී එළඹෙන ඔක්තෝබර් 20 වැනිදා ආරම්භ කිරීමට නියමිත යි. ඒ සඳහා සහභාගි වන කණ්ඩායම් මේ දිනවල සිය සංචිත ප්‍රකාශයට පත්කරමින් සිටිනවා.

2022 ආසියා ක්‍රිකට් ශූරයන් ලෙස වැජඹෙන ශ්‍රී ලංකාව ද පසුගිය දිනයක සිය ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කළා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් කණ්ඩායම මෙසේ යි.

2022 ආසියා කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රමෝද් මදුෂාන්, ඩිල්ෂාන් මදුශංක 

ඊට අමතර ව ආදේශක ක්‍රීඩකයන් ලෙස අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් සංචිතයට එකතු කර තිබෙනවා.

දසුන් ශානක – gettyimages.com

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට මුලින් ම ක්‍රීඩා කරනවා. එම තරග වටය යටතේ ඔවුන් නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් සමඟින් තරග වැදීමට නියමිත යි. මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග කාල සටහන යි.

1). ශ්‍රී ලංකාව සහ නැමීබියාව- ඔක්තෝබර් 16

2). ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය- ඔක්තෝබර් 18

3). ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය- ඔක්තෝබර් 20 

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම වර්තමාන ක්‍රිකට් පිටියේ සිටින ඉහළ පෙළේ ක්‍රිකට් පුහුණුකරුවකු වන මහේල ජයවර්ධන පුහුණු උපදේශකයක් ලෙසින් 20/20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමඟින් එකතු වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දිනක නිවේදනය කළා. මහේල වැනි පළපුරුදු පුහුණුකරුවෙක් මෙවැනි තරගාවලියක දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් අත්වැල් බැඳ ගැනීම අපගේ ක්‍රීඩකයන්ට විශාල ශක්තියක් වනු ඇති. 

මහේල ජයවර්ධන – gettyimages.com

 

යුපුන්ට තවත් රන් පදක්කම් ද්විත්වයක් 

ශ්‍රී ලංකා සුපිරි කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් පසුගිය සතියේ ඉතාලියේ පැවැත්වුණු ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ දී  තවත් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වුණා. එහි දී නිසොලිනෝ ක්‍රීඩා සමාජය සඳහා තරග වැදුණු යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 10.35ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගත්තා.

ඊට අමතර ව මීටර් 100 සහාය තරග ඉසව්වෙන් ද යුපුන්ට රන් පදක්කමක් හිමි වුණා. වර්තමානය වන විට පිරිමි මීටර් 100 ලෝක ශ්‍රේණිගතකිරීම්වල 20 වන ස්ථානයේ සිටින යුපුන් දිනෙන් දින සිය හැකියාවන් ඔප මට්ටම් කරගැනීම මෙරට මලල ක්‍රීඩාවේ අනාගතයට සුබ ලකුණක්. 

මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනාගත් යුපුන් – facebook.com/chathura Ranasinghe

 

ආසියාව දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩකවන්ට මව්බිමේ දී ඉහළම ගෞරව 

2022 ආසියා ක්‍රිකට් සහ දැල්පන්දු ශූරතා දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම් පසුගිය අඟහරුවාදා මෙරටට පැමිණියා. එම කණ්ඩායම්වලට ගුවන්තොටුපළේ දී විශේෂ උත්සවයක් පැවැත්වුණා. ඉන් අනතුරුව ජයග්‍රාහී කණ්ඩායම් ද්විත්වය විශේෂ රථ පෙරහරකින් කොළඹ බලා ගියා.

එහි දී විවෘත බස් රථවල නැගී ගමන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම්වලට ආචාර කිරීමට විශාල පිරිසක් මඟ දෙපස රැස්ව සිටියා. එම පිරිස් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ දැල්පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගමන් කළ රථ පෙළපාලිය – gettyimages.com

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට්  කණ්ඩායම - facebook.com/Sri lanka cricket fans

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

cnn.com

asianmirror.lk

thepapare.com   

Related Articles