Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 ක්‍රිකට් කිරුළ දෙවන වරටත් හිස පැළඳූ එංගලන්තය

2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මෙල්බර්න් ක්‍රිකට් පිටියේ දී ඊයේ (13) පැවැත්වුණා. එම තරගයෙන් පාකිස්තානය පරදවා කඩුලු 5ක ජයක් හිමි කර ගත් එංගලන්ත කණ්ඩායම දෙවන වරටත් T20 ලෝක කුසලානය දිනා ගත්තා.

ඔවුන් මීට පෙර 2010 දී ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 7ක ජයක් ලබමින් T20 ලෝක කුසලානය දිනා ගෙන තිබුණා. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට පසුව T20 ලෝක කුසලානය දෙවරක් දිනූ කණ්ඩායම ලෙසින් එංගලන්තය ඉතිහාසගත වුණා.

2022 T20 ලෝක කුසලානය දිනාගත් එංගලන්ත කණ්ඩායම – gettyimages.com

එංගලන්තය ජය කණුව වෙත ගෙන ගිය කරන්-ස්ටෝක්ස් සුසංයෝගය

මෙල්බර්න් පිටියේ දී ඊයේ දිනයේ පැවැත්වුණු T20 ලෝක කුසලාන අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ජෝස් බට්ලර් පන්දුවට මුලින් පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දුන්නා. ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන්ට රිසි සේ පන්දුවට පහර දීමට එංගලන්ත පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දු වාර 7.1ක් අවසන් වෙද්දී පාකිස්තාන ලකුණු පුවරුව 45/2 ලෙස දිස් වුණා.

ඒ මොහොතේ පිටියේ එක් වුණු නායක බාබර් අසාම් සහ ශාන් මසූඩ් ලකුණු 39ක වටිනා සබඳතාවක් ගොඩ නඟමින් ලකුණු පුවරුව 84/2 දක්වා ඔසවා තැබුවා. තරගය දෙපිලට ම විවෘත වී තිබුණු ඒ මොහොතේ ක්‍රියාත්මක වුණු එංගලන්ත පන්දු යවන්නන් ඉක්මනින් කඩුලු 2ක් දවා ගත් නිසා පාකිස්තාන කණ්ඩායමේ ලකුණු තත්ත්වය 85/4ක් බවට පත් වුණා.

එම තීරණාත්මක අවස්ථාවේ සටන අත් නොහැරි ශාන් මසූඩ් සහ ශඩාබ් ඛාන් පන්දු 24කින් එකතු කළ ලකුණු 36 නිසා පන්දු වාර 16.2ක් අවසන් වෙද්දී පාකිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 121ක් ලබා සිටියා.

පාකිස්තාන පිතිකරුවන් පන්දුවට පහරදෙමින් – gettyimages.com

පාකිස්තාන කණ්ඩායමට ලකුණු අවශ්‍ය වුණු ඒ මොහොතේ දක්ෂ පන්දු යැවීමක නිරත වුණු එංගලන්ත පන්දු යවන්නන් කඩුලු දවා ගනිමින් පාකිස්තාන ඉනිම අඩපණ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉනිමේ අවසන් පන්දු 22 තුළ පාකිස්තාන පිතිකරුවන්ට කඩුලු 4ක් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 16ක් පමණ යි.

නියමිත පන්දු වාර 20 අවසානයේ පාකිස්තාන ඉනිම 137/8ක් ලෙසින් නිමාව දුටුවා. එහි දී පාකිස්තාන ඉනිම කඩා බිඳ දැමූ සෑම් කරන් ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිද්දී අඩිල් රෂීඩ් සහ ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 2 බැගින් දවා ගෙන පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

දක්ෂ ලෙස පන්දු යැවූ අඩිල් රෂිඩ් – gettyimages.com

ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවන්ට පහසුවෙන් සිය ඉලක්කය වෙත යාමට පාකිස්තාන වේගපන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. එහි දී හැරිස් රවුෆ් සහ ෂහීන් අෆ්රිඩී සිදු කළ දක්ෂ පන්දු යැවීම නිසා පන්දු වාර 5.3ක් නිමා වෙද්දී එංගලන්ත ලකුණු පුවරුව 45/3ක් ලෙස දිස් වුණා.

ඒ මොහොත වන විට පාකිස්තාන වේගපන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටියා. එනිසා එංගලන්ත පිතිකරුවන්ට තරමක් අසීරුවෙන් පන්දුවට පහරදෙන්නටයි සිදු වුණේ.

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන හැරිස් රවුෆ් – gettyimages.com

එංගලන්ත කණ්ඩායම පීඩනයට පත් ව සිටි මොහොතක ඉතාමත් වගකීමෙන් පන්දුවට පහරදුන් බෙන් ස්ටෝක්ස් සහ හැරී බෘක් ලකුණු 39ක වටිනා සබඳතාවක් ගොඩ නැඟුවා. එංගලන්ත ලකුණු පුවරුව 84/3ක් බවට පත්ව තිබුණු මොහොතක ෂඩාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ බෘක් දැවී ගියා.

ඒ සමඟ ම තරගය යළි දෙපිලට ම විවෘත වුණා. එම තීරණාත්මක අවස්ථාවේ ඉතාමත් වගකීමෙන් පන්දුවට පහර දුන් ස්ටෝක්ස් සිය යුතුකම මනාව ඉටු කරමින් පන්දු 49කින් නොදැවී ලකුණු 52ක් ලබා සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

එංගලන්තය ජයග්‍රහණය කරා ගෙන ගිය බෙන් ස්ටෝක්ස් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව
පාකිස්තානය- 137/8 (20), (මසූඩ්- 38, බාබර්- 32, කරන්- 12/3, රෂීඩ්- 22/2, ජෝර්ඩන්- 27/2)
එංගලන්තය- 138/5 (19), (ස්ටෝක්ස්- 52*, බට්ලර්- 26, බෘක්ස්- 20, රවුෆ්- 23/2, අෆ්රිඩී- 13/1)
එංගලන්තයට කඩුලු 5ක ජයක්
තරගයේ වීරයා- සෑම් කරන්
තරගාවලියේ වීරයා එංගලන්තයේ සෑම් කරන්

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දී සුවිශේෂී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසක් සිටියා. ඔවුන් අතුරින් ක්‍රීඩකයන් 9 දෙනෙක් තේරූ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ජයග්‍රාහකයා තේරීම සඳහා ICC වෙබ් අඩවියේ ඡන්ද විමසීමක් පැවැත්වූවා. මේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තේරූ එම ක්‍රීඩකයන් 9 දෙනාගේ ලැයිස්තුව යි.

1). වනිඳු හසරංග- ශ්‍රී ලංකාව
2). ජෝස් බට්ලර්- එංගලන්තය
3). ඇලෙක්ස් හේල්ස්- එංගලන්තය
4). සෑම් කරන්- එංගලන්තය
5). ෂහීන් අෆ්රිඩී- පාකිස්තානය
6). ෂඩාබ් ඛාන්- පාකිස්තානය
7). විරාත් කෝලි- ඉන්දියාව
8). සූර්යකුමාර් යාදව්- ඉන්දියාව
9). සිකන්දර් රාසා- සිම්බාබ්වේ

එම ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ එංගලන්තයේ සෑම් කරන්ට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. තරගාවලිය පුරා ම දක්ෂ අයුරින් පන්දු යැවූ කරන් තරග 6කදී කඩුලු 13ක් දවා ගත්තා. ඔහු අවසන් තරගයේ දී ලකුණු 12කට කඩුලු 3ක් බිඳ දමමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා. කරන් ඇෆ්ගනිස්තානයට එරෙහි ව ලකුණු 10කට දවා ගත් කඩුලු 5 මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දී යම් පන්දු යවන්නෙක් සිදු කළ හොඳ ම පන්දු යැවීම ලෙසින් වාර්තා අතරට ද එක් වුණා.

සෑම් කරන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයාට හිමි කුසලාන සමඟ – gettyimages.com

තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග

2022 T20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණු වනිඳු හසරංග තරග 8ක දී කඩුලු 15ක් බිඳ දැමුවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව ලකුණු 8කට දවා ගත් කඩුලු 3 මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වුණු ඔහුගේ හොඳ ම පන්දු යැවීම යි.

වනිඳු අවසන් වරට 2021 දී පැවති T20 ලෝක කුසලාන තරගාවලියේ දීත් කඩුලු 16ක් දවා ගෙන තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණා. ඒ අනුව පාකිස්තානයේ උමාර් ගුල්ට පසුව පිට පිට ම පැවති T20 ලෝක කුසලාන තරගාවලි 2ක දී වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණු පන්දු යවන්නා ලෙසින් ද වනිඳු වාර්තා අතරට එක් වුණා.

තරගාවලිය තුළ පන්දුවෙන් දස්කම් දැක්වූ වනිඳු හසරංග – gettyimages.com

තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා ඉන්දියාවේ විරාත් කෝලි

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා වුණු විරාත් කෝලි ඉනිම් 6කදී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 296ක් ලබා ගත්තා. එහි දී ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු වැඩි ම ලකුණු ප්‍රමාණය බවට පත් වුණේ පාකිස්තානයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 82 යි.

සමස්ත තරගාවලිය තුළ කෝලි ක්‍රීඩා කළ ඉනිම් 6න් 3ක දී නොදැවී සිටි නිසා ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 98.66ක් තරම් ඉහළ අගයක් ගත්තා. විරාත් කෝලි 2014 T20 ලෝක කුසලාන තරගාවලියේ දීත් වැඩි ම ලකුණු ලාභියා බවට පත් වුණා. ඒ අනුව T20 ලෝක කුසලාන තරගාවලි 2කදී වැඩි ම ලකුණු ලාභියා වුණු එකම පිතිකරුවා ලෙසින් විරාත් කෝලි වාර්තා අතරට එක් වුණා.

තරගාවලිය තුළ පිත්තෙන් දස්කම් දැක්වූ විරාත් කෝලි – gettyimages.com

6 වන වරටත් කාන්තා රග්බි ලෝක කුසලානය දිනූ නවසීලන්තය

9 වන කාන්තා රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාක් පිටියේ දී ඊයේ (13) දිනයේ පැවැත්වුණා. ඒ සඳහා සහභාගි වුණේ වර්තමාන කාන්තා රග්බි පිටියේ සිටින ප්‍රබලත ම කණ්ඩායම් දෙකක් වන නවසීලන්තය සහ එංගලන්තය යි. ආරම්භයේ සිට ම තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධය අවසන් වෙද්දී ලකුණු 26-19ක් ලෙස තරගයේ පෙරමුණ ගත්තේ එංගලන්ත කණ්ඩායම යි.

තරගයේ දෙවන භාගයේ දී ඉතාමත් හොඳින් තරගයට අවතීර්ණ වුණු නවසීලන්ත ක්‍රීඩිකාවන් උත්සාහක දිනුම් 3ක් සමඟින් ලකුණු 15ක් ලබා ගනිද්දී එංගලන්තය ක්‍රීඩිකාවන් සාර්ථක කර ගත්තේ එක් උත්සාහක දිනුමක් පමණ යි. අවසානයේ දී ලකුණු 34-31ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළේ සත්කාරක නවසීලන්ත කණ්ඩායම යි. එය නවසීලන්ත කාන්තා කණ්ඩායමක් රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළ 6 වන අවස්ථාව යි. ඊට පෙර ඔවුන් 1998, 2002, 2006, 2010 සහ 2017 යන වසරවල දී කාන්තා රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබුණා.

ශූරතාව දිනා ගත් නවසීලන්ත කාන්තා රග්බි කණ්ඩායම – gettyimages.com

19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2024 වසරේ දී පැවැත්වීමට නියමිත 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (13) දිනයේ දී ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාවට මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමි වුණේ තෙවන වරට යි. මීට පෙර 2000 සහ 2006 යන වසරවල දී ශ්‍රී ලංකාව 19න් පහළ ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දුන්නා.

19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවස්ථා 3කදී සත්කාරකත්වය දැරූ පළමු රට වන්නේ නවසීලන්තය යි. ඔවුන්ට 2002, 2010 සහ 2018 යන වසරවල දී එම වරම හිමි වුණා. ඒ අනුව නවසීලන්තයට පසුව අවස්ථා 3කදී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දුන් රට බවට පත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වුණා.

19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය – gettyimages.com

ආසනල් කණ්ඩායම එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු සටනේ තවදුරටත් පෙරමුණේ

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ 16 වන සතියේ තරග පසුගිය සති අන්තයේ දී ක්‍රියාත්මක වුණා. එම තරගවල දී ආසනල්, නිව්කාසල් යුනයිටඩ්, ලිවර්පූල්, ටොටෙන්හැම් හොට්ස්පර්, නොටිංහැම් ෆොරස්ට්, ඇස්ටන් විලා, ලෙස්ටර්ෂයර්, ෆුල්හැම්, බෝර්න්මවුත්, සහ මැන්චෙස්ටර් යුනයිටඩ් යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා.

එහි දී වාර්තා වුණු වඩාත් පෙරළිකාර ජයග්‍රහණය බවට පත් වුණේ ෆුල්හැම් කණ්ඩායම ප්‍රබල මැන්චෙස්ටර් සිටි කණ්ඩායම හමුවේ ගෝල 2-1ක් ලෙසින් ලබා ගත් ජයග්‍රහණය යි. එලෙස මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ෆුල්හැම් කණ්ඩායම හමුවේ එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයක් පරාජය වුණේ 2009 තරග වාරයෙන් පසුව වීම විශේෂත්වයක්. මේ, තරගාවලියේ 16 වන සතිය අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් ම සිටි කණ්ඩායම් 5 යි.

1). ආසනල්- ලකුණු 37
2). මැන්චෙස්ටර් සිටි- ලකුණු 32
3). නිව්කාසල් යුනයිටඩ්- ලකුණු 30
4). ටොටෙන්හැම් හොට්ස්පර්- ලකුණු 29
5). මැන්චෙස්ටර් යුනයිටඩ්- ලකුණු 26

ආසනල් ක්‍රීඩකයන් එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු පිටියේ දස්කම් දක්වමින් – gettyimages.com

ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ තොරතුරු

2022 ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ තරග දකුණු කොරියාවේ ඉන්චියොන් හි දී පසුගිය සති අන්තයේ පැවැත්වුණා. ඒ සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මූලික වටයේ පළමු තරගයේ දී හොංකොං කණ්ඩායම හමුවේ 33-0 ලෙසින් පරාජය ලැබුවා.

එම පරාජයෙන් පාඩම් ඉගෙන ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම හමුවේ 26-14ක් ලෙස ද, චීනය හමුවේ 21-19 ලෙස ද ජයග්‍රහණ ලබා ගෙන අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඉන් පසුව ප්‍රබල දකුණු කොරියා කණ්ඩායමට එරෙහි ව පැවති අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 31-14ක පරාජයක් උරුම වුණා. එම තරගයෙන් පරාජය වුණු ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ස්ථානය තේරීම සඳහා පැවති තරගයේ දී පිලිපීනය හමුවේ පරාජය ලැබුවා. එනිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරගාවලියේ සිව්වන ස්ථානය හිමි වුණා.

ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පැවති තරගයේ අවස්ථාවක් – scmp.com


මෙවර T20 ලෝක කුසලාන අවසන් තරගයේ වැඩි වාසිය කාටද? ලිපියත් කියවන්න.

කවරයේ ඡායාරූපය- 2022 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත පිල - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
cricbuzz.com
premierleague.com
icct20worldcup.com
rugbyworldcup.com

Related Articles