Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෑතකාලයේ දී ලංකාවට හිමි වූ ජාත්‍යන්තර ක්‍රීඩා පදක්කම්

ශ්‍රී ලංකාව මෑතක දී ක්‍රීඩා තරගාවලිවල දී දිනාගත් පදක්කම් ගැන කතා කළොත්, ඉතා ආසන්නයේම පැවති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එහෙම නැත්නම් සාග් ක්‍රීඩා උළෙල පිළිබඳව කතා කළ යුතුම වෙනවා. එම ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 40ක් දිනාගනිමින් සමස්ත තරගාවලියේ තෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. එම තරඟාවලියේ දී මලල ක්‍රීඩා අංශයෙන් රන් පදක්කම් 15ක් දිනාගන්නා ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා අංශයෙන් රටවල් හත අතරින් ප්‍රථම ස්ථානය දිනාගන්නවා.

මේ පිළිබඳව අප විසින් මීට ප්‍රථම ගෙන එන ලද ලිපිය කියවන්න; 
“ශ්‍රී ලංකාව දකුණු ආසියානු තරග බිම වර්ණවත් කරයි”

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ප්‍රථම පැවති ආසියානු මලල ක්‍රීඩා උළෙල 

විදූෂා ලක්ෂානි (newsbugz.)

23 වන ආසියාතික මලල ක්‍රීඩා ශුරතාවලිය පැවැත්වෙන්නේ 2019 වසරේ අප්‍රේල් 21 සිට අප්‍රේල් 24 වන දා දක්වා යි. එය කටාර් රාජ්‍යයේ පැවැත්වෙන අතර, මේ සඳහා රටවල් 43ක් සහභාගී වෙනවා. මෙම මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ශ්‍රී ලංකාවට එක පදක්කමකින් සෑහීමට පත් වීමට සිදුවෙනවා.

ආසියාතික මලල ක්‍රීඩා ශුරතාවලියට සහභාගී වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනාගන්නේ යුද හමුදා ක්‍රීඩිකා විදුෂා ලක්ෂානි යි. ඇය සහභාගී වූ ඉසව්ව වන්නේ තුන් පිම්ම යි. ඊට අමතරව මෙම ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමත් වෙන්නේ නෑ.

2018 වසරේ පැවති යොවුන් ඔලිම්පික් 

පාරමී මාරිස්ටෙලා (thepapare)

2018 වසරේ ආජන්ටිනාවේ බුවනොර්ස් අයර්ස් හි ඔක්තෝම්බර් මාසයේ දී පැවති තුන්වන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් යොවුන් ඔලිම්පික් තරගාවලියක ප්‍රථමවරට පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකික ක්‍රීඩිකාවක් සමත් වෙනවා. එම ක්‍රීඩිකාව වන්නේ බාධක දිවීමේ මීටර් 2000 තරගය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාගන්නා පාරමී මාරිස්ටෙලා යි.

පාරමී මාරිස්ටෙලාට ලැබුණු ලෝකඩ පදක්කම හැර තවත් පදක්කම් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබෙන්නේ නෑ. 2010 වසරේ ප්‍රථම වරට යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වූ අතර, එය 2018 වසරේ පැවැත්වෙන ලද්දේ තුන්වන වතාවට යි.

යොවුන් ඔලිම්පික් පළමු තරගාවලි දෙකේ දී ම ශ්‍රී ලංකාවට එකදු පදක්කමක් හෝ දිනාගැනීමට නොහැකි වූ අතර 2018 තුන්වන තරගාවලියේ දී පාරමී මාරිස්ටෙලා දිනාගත් ලෝකඩ පදක්කමත් සමග යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාවට හිමි වූ පළමු පදක්කම ලෙස මෙය නම් කළ හැකි වෙනවා.

ලංකාවට පදක්කම් හයක් හිමි වූ 2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ඉන්දික දිසානායක (wikimedia)

21 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල 2018 වසරේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්‌ට් නගරයේ පැවැත්වෙනවා. එහි දී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් හයක් දිනාගැනීමට සමත් වෙනවා. එම පදක්කම් හයෙන් එක් පදක්කමක් රිදී පදක්කමක් වූ අතර අනෙක් පහ ලෝකඩ පදක්කම් විය.

එම රිදී පදක්කම හිමි කරගන්නේ ඉන්දික දිසානායක යි. ඒ, කිලෝග්‍රෑම් 69 බර පන්තියේ බර ඉසිලීමේ ඉසව්වෙනුයි. ඊට අමතරව බර ඉසිලීමෙන් තවත් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. ඒ දිනූෂා හංසනී ගෝමස් කාන්තා කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් හා පිරිමි කිලෝග්‍රෑම් 56 බර පන්තියෙන් චතුරංග ලක්මාල් ජයසූරිය වශයෙනි. 

මෙහි දී බොක්සිං ක්‍රීඩාවෙන් තවත් ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමත් වෙනවා. බොක්සිං කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට තිවංක රණසිංහ සමත්වෙන අතර, බොක්සිං කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ ඉෂාන් බණ්ඩාර ද ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වෙනවා.

අනූෂා කොඩිතුවක්කු (thepapare)

අනූෂා කොඩිතුවක්කු කාන්තා බොක්සිං ක්‍රීඩාව නියෝජනය කරමින් මෙම තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වෙනවා. ඒ අනුව අනූෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී බොක්සිං පදක්කමක් දිනාගත් පළමු කාන්තා ක්‍රීඩිකාව බවට වාර්තාවක් තබනවා.

2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියෙන් පදක්කම් හයක් දිනාගැනීම ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වන අතර, මීට පෙර පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියක එතරම් ප්‍රමාණයක පදක්කම් ශ්‍රී ලංකාව විසින් ලබාගෙන තිබෙන්නේ නෑ.

2018 ආසියානු ක්‍රීඩා උළෙල 

2018 වසරේ 18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව ද මෙම ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වෙනවා. නමුත්, 2018 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් එකක් හෝ දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන්නේ නෑ.

මූලාශ්‍රයයන්

Bbc.com
Indiatoday.in

කවර නිර්මාණය: Roar Media  

Related Articles