පත්තිනි රන් සළඹ තිබෙන නවගමුව ගැන නෑසූ කතා

පත්තිනි දෙවියන් වැඩ වාසය කරන බව විශ්වාස කරන ප්‍රධාන දේවාලය තිබෙන්නේ කඩුවෙලට නුදුරු නවගමුවේ. අගෝස්තුව නවගමුව පෙරහර සමය වුණත් මෙවර නම් පෙරහර කිරීම කොවිඩ් නිසා ගැටලුවක් වෙලා. පත්තිනි දෙවියන්ගේ රන් සළඹ නිදන් කොට ඇත්තේ නවගමුවේ බවයි බැතිමතුන් විශ්වාස කරන්නේ. නවගමුව පත්තිනි දේවාලයේ පත්තිනි මෑණියන් ජීවමාන ව වැඩ සිටි බව දේව පුරාවෘත්තවල සඳහන් ව තිබෙනවා.

1
  දේවාල බිමේ විහාරය – nawagamuwadevalaya.com

පිහිටීම

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මැතිවරණ බල ප්‍රදේශයේ තමයි නවගමුව පිහිටා තිබෙන්නේ. කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට  අයත් මේ ගම පුරාණ බෙදීම් අනුව හේවාගම් කෝරළයේ බටහිර පල්ලෙ පත්තුවට අයත් වෙනවා. කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ කඩුවෙල සිට දේවාලයට දුර කිලෝ මීටර 3ක්. දේවාලය පිහිටා තිබෙන්නේ මහා මාර්ගය අද්දරමයි.

දේවාලය නිසා තමයි ගමටත් නවගමුව කියලා නමක් ලැබිලා තිබෙන්නේ. අද නම් එතැන නගරයක් බවට පත්වෙලා. මෙහි පැරණි නම නවගමුව” නොව”නා ගොමුව”යයි මතයක් පවතිනවා. නා ගස් ගොමුවක පිහිටි නිසා නවගමුව වූ බව පැවසෙනවා. දේවාලය අසල දැනටත් උසට වැඩුණු  නා ගස් රාශියක් දැකගත හැකියි. ගම් නවයක් එක් වී සැදුණු ගමක් නිසා එම නම ඇතිවු බව තවත් මතයක්.  

2
 බෝධි වෘක්ෂයට වන්දනා කරන පිරිස්- facebook

දේවාල උපත

දේවකතාවලට අනුව නවගමුව දේවාලය ආරම්භ කර තිබෙන්නේ ගජබා රජු යි. මේ පිළිබඳපත්තිනි කෝල්මුර කවි”වල මෙසේ සඳහන් වෙනවා:

පින් ගජබා සඳ විපුල යසස් සුවීසා                            ලේ

ගන්න මහත් පඬුරු පුදා ඉට්ටන් කළ             සෙන්වා ලේ

මින් මතු තොර නොවී නිතර පෙරහැර කර      හැම වෙලේ

සින්හල පුරයට මුල් වන් නවගමුව                    දේවා ලේ

වරක් සොලී රට ජය ගෙන රුවල් නැවකින් පැමිණෙමින් සිටිය දී දරුණු කුණාටුවකට හසු වූ පසු ගජබා රජු හා පිරිස රටට ගොඩබැස කැලණි ගඟ ඔස්සේ ඔරුවකින් පැමිණ නවගමුව ප්‍රදේශයේ රාත්‍රිය ගත කර තිබෙනවා. ඒ ගමනේ දී පත්තිනි සළඹ හා පාත්‍ර ධාතුව ද  රජු  රැගෙන විත් ඇති අතර එහි ආරක්ෂාවට නාගොමුවක පූජාසනයක් තනවා එම පූජනීය වස්තු එහි තැන්පත් කර තබා තිබෙනවා. රජු පසුදින අනුරාධපුරයට යාමට සූදානම් ව ඒ අසලට ගිය විට දැක ගත හැකි වූයේ සළඹ වට කර ගෙන සුදු නාගයන් සත් දෙනකු සිටින අන්දමයි.  ඒ සළඹ සහිත පූජාසනය වට කරවා මුලින් ම කුඩාවට නවගමුව දේවාලය තැන වූ බවට ජනප්‍රවාදවල  සඳහන් වෙනවා.

3
විහාර බිමේ දසුනක් – facebook

සෙල්ලිපි සාධක

නවගමුව පත්තිනි දේවාලය පිළිබඳ මුල් ම ලිඛිත සාධක හමුවනුයේ කෝට්ටේ යුගයේදී යි.  කෝට්ටේ  Ⅴ වන බුවනෙකබාහු රජු  (ක්‍රි.ව. 1521 – 1551 ) විසින් ප්‍රදානය කරන ලද ගොඩගම සන්නසෙන් පත්තිනි කෝවිලේ පෙරහර සඳහා පහන් තෙල් නැලි පසක් දිය යුතු බව  සඳහන් කර තිබෙනවා. සීතාවක යුගයේදී මෙම ප්‍රදේශය සටන් ඇවිළුණු පෙදෙසක් බවට පත් වුණා. හේවාගම් කෝරළේ හේවායන් සීතාවක රාජසිංහ රජු පෘතුගීසින් සමඟ කළ සටන්වලට සහභාගි වුණා.

 මායාදුන්නේ රජු (ක්‍රි.ව. 1521 – 1580 ) සීතාවක සිට හොළඹ කොටුවේ පරංගින් හා යුද පිණිස ගමන් ගන්නා අතර අතර නවගමුව දේවාලයට‍ භාරයක් වුණු බවත් ජනප්‍රවාදවල කියැවෙනවා.   ක්‍රි.ව 1576 දී පෘතුගීසින් නවගමුව දේවාලය හා විහාරය විනාශකර එතැන යුද කඳවුරක් බවට පත්කරනවා.  දේවාලය සහ විහාරයට අයත් ගොඩනැගිලිවල ගල් කණු ආදිය යොදා ඒ අසල පෘතුගීසි පල්ලියක් ඉදි කළ බවත් සඳහන් වෙනවා. මෙසේ විනාශ කළ නවගමුව දේවාලය මායාදුන්නේ රජු නැවත වරක් ප්‍රතිසංස්කරණය කරනවා.

නටබුන් ගොඩක්

පසුව ක්‍රි.ව. 1594 දී කොළඹ කොටුවේ කපිතාන් පේදුරු කෝවේන් පෙරේරා දේවාලය සම්පූර්ණයෙන් නටබුන් ගොඩක් බවට පත්කරනවා.  ඉන්පසු දොවොල්බිම දිගුකලක් වනගත ව පැවති අතර නැවත කටුවාවල සුමන තිස්ස නාහිමියන් විහාරය ආරම්භ කළ බවයි, පැවසෙන්නේ.

 නවගමුව දේවාල බිමේ සහ අවට පොළොව විවිධ අවශ්‍යතාවන් සඳහා  හෑරීමේ දී ශිලා ගොඩනැගිලි කොටස්, ඌර කැට ළිං, ඕලන්ද කාසි, මධ්‍යකාලීන ලෝහ බුද්ධ ප්‍රතිමා යනා දී පුරාවස්තු හමු වී තිබෙනවා. කෙසේවුවත් පුරාවිද්‍යා කැණීමක් නම් මේ අවට තව ම සිදුකර නැහැ.

4
 පත්තිනි දේවාලය – lankabhimanee.blogspot.com

දේවාල බිම

නාගස් වදුලක පිහිටි පත්තිනි දේවාලය මෑත අතීතයේ තැනූ ගොඩනැගිල්ලක තමයි පිහිටා තිබෙන්නේ. එයට පසුපසින්  පිහිටියේ  කාලි දේවාලයයි. සූනියම් ගම්භාර දෙවොලත් ඒ අසල ම දැකගත හැකියි. එය හඳුන්වන්නේ ගල්කණු දේවාලය කියලයි. එතැන පුරාණ ගොඩනැගිල්ලකට අයත් ගල්කණු තිබූ නිසා ඒ නම ලැබී තිබෙනවා.

මේ දේවාල බැතිමතුන්ගේ වන්දනාමානයට නිරන්තරයෙන්ම ලක්වනු දැකිය හැකියි.   විෂ්ණු, කතරගම, සමන්, දැඩිමුණඩ, සූනියම් ආදී සතර මහා දේවාලත් මොරටුව, දුනුමාල, කඩවර ආදී විවිධ නම්වලින් හැඳින්වෙන ප්‍රාදේශීය දෙවිවරුනුත් මෙහි ඇදහීම සිදුවෙනවා. එම දෙවිවරුන් වෙනුවෙන් ද කුඩා දේවාල පසුකාලීන ව තනා තිබෙනවා.

5
 ප්‍රාදේශීය දෙවිවරුන් උදෙසා තැනූ දේවාල – wikiwand.com

 

පුරාණ විහාරය විනාශ වීමෙන් පසුව මෑත අතීතයේ තැනූ දෙවොල ආශ්‍රිත ව ඇති පන්සල ශ්‍රී සුගතබිම්බාරාම විහාරය යි. ප්‍රකට වියත් පඬිරුවනක් වූ කළුකොඳයාවේ ප්‍රඥාසේකර නාහිමියන් වැඩ වාසය කළේ මෙම විහාරයෙ යි. අදටත් මෙහි ඒ හිමියන්ගේ පුස්තකාලය දකින්න පුළුවන්. බෝධිය, පිළිමගෙය, වෛත්‍යය, ආවාස ගෙය  ඇතුළු විහාරාංග එහි දැකගත හැකියි.  

පැරණි විහාර බිමෙන් හමුවූ පුරාවස්තු ගැන 1960 දී ලේඛක වී. ඩී. ද ලැනරෝල් සඳහන් කරනවා:

දේවාලට අසලම විහාර භූමිය සමතලා කිරීමේ දී ලෝහ පිළිම වගයක්, පෙනය සහිත නාග රූප, කාමර නවයක් ඇති ලෝහ හෙප්පුවක්, ආදිය පොළොව යට වී හමුවී තිබේ. දැනට නාගොමුවේ විහාරාධිපති කළුකොඳයාවේ ප්‍රඥාසේකර නාහිමි විසින් මේ හෙප්පුව සහ නාග පෙනයක් ද කොළඹ කෞතුකාගාරයට තෑගි කරන ලදින් ඒවා එහිදී දැකගන්නට පුළුවන. ( වී. ඩී. ද ලැනරොල්- ලංකා පුරාවෘත්ත)

6
 පෙරහරේ යන හස්තියෙක්- wikiwand.com

 

පෙරහර මංගල්ලය

අගෝස්තු මාසයේ දී  නවගමුවේ පෙරහර සමය එළඹෙනවා.  කුඹල් පෙරහර, මල් පෙරහර, පාවාඩ පෙරහර, ගොන්පිට පෙරහර, රන්දෝලි හා අලි පිට පෙරහර වශයෙන් සත් දිනක්  එම පෙරහර දේවාලය අවට ගමේ සංචාරය කිරීම සිදුවෙනවා. නවගමුව පත්තිනි දේවාල පෙරහර කුඹල් පෙරහරෙන් ආරම්භ වන අතර, එය පැවැත්වෙන්නේ එක් දිනක් පමණයි. ඉන් පසුව පාවඩ පිට පෙරහර දින තුනක් පවත්වනවා. පාවඩ පිට පෙරහරට ගවයන් හෝ අලින් සම්බන්ධ කර ගන්නේ නැහැ. එම   කපු මහතුන් ඇතුළු දේව කාර්ය මණ්ඩලය පෙරහරේ ගමන් කරන්නේ පයින්. මෙම පෙරහර දෙක ම ගමන් ගන්නේ නවගමුව දෙවොල් බිම ඇතුළතයි. ඉන් පසු දින තුනක් පුරා පැවැත්වෙන්නේ ගොන්පිට පෙරහර යි.   

7
7 පෙරහරට නාවා සූදානම් කරන ගවයෙක්- dinamina.lk

ගොන්පිට පෙරහර

නවගමුව මහ පෙරහර මංගල්ලයට ඇතුළත් සුවිශේෂ පෙරහරක් වන්නේ ගොන් පිට පෙරහරයි. සුදුපැහැ අලංකාර එළ ගවයන් සියයකට ආසන්න ප්‍රමාණයක් පෙරහරට එක්කර ගන්නවා. මෙම පෙරහරට එක්කිරීම සඳහා පමණක් ප්‍රදේශයේ ගවයන් ඇතිදැඩි කරන පිරිසක් ද සිටිනවා. පෙරහර දින තුනක් පවත්වන අතර එය නැරඹීමට බොහෝ දෙනෙක් පැමිණෙනවා. මෙවැනි ගොන්පිට පෙරහක් පවත්වන්නේ නවගමුව සත්පත්තිනි දේවාලයේ පමණයි.  ‍

මෙහි ඇති එකම වෙනස වන්නේ අලි ඇතුන් වෙනුවට අලංකාර ලෙස සැරසූ ගොනුන් පෙරහරේ රැගෙන යාමයි. ඔවුන්ගේ පිට මත සතර මහා දේවාලවල දේවාභරණ වැඩමවීම සිදු කෙරෙනවා. නවගමුව රජමහ විහාරයේ ප්‍රධාන වාහල්කඩින් ඇරැඹෙන ගොන්පිට පෙරහර, ශ්‍රී සුමනතිස්ස මාවත ඔස්සේ විහාර මාවතට පිවිස දේවාල පිටුපස මාර්ගයට අවතීර්ණ වී නැවතත් රජමහා විහාරයට පැමිණීම සිදු වෙනවා.

8
ගොන්පිට පෙරහරේ ගමන් කරමින් – Dinamina.lk

 

මීට සියවස් ගණනකට පෙර ප්‍රදේශයේ ජීවත්වූ ගවයන් හඳුනා නොගත් කුර ලෙඩකින්  මිය යන්නට වුණා. ගව රෝග වසංගතය නිසා එදා විසූ අයට සිය ජීවනෝපාය කරගෙන යෑමට නොහැකි වුණා. ගම්වාසීන් නවගමුව පත්තිනි දේවාලයට ගොස් පත්තිනි මෑණියන්ට සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කර සිටියා.   

ගැමියන් පත්තිනි මෑණියන්ට පොරොන්දු වූයේ ගවයන් බිලි ගන්නා වසංගතය දුරු කළහොත් දේව දානයක් දී සධාතුක කරඬුව සහ වස්ත්‍රාභරණ ගවයන් පිට වැඩම කරවන බවයි. එම පොරොන්දුවෙන් පසු වසංගය දුරුවී ගිය බව පැවසෙනවා. එතැන් සිට එම පොරොන්දුව අනුව යමින් ගැමියන් මෙම පෙරහර පාරම්පරිකව පැවැත්වීම ආරම්භ කළා.

පත්තිනි මෑණියන් සම්බන්ධ ව ලියැවුණු පත්තිනි දෙවියන් වෙනුවෙන් අවුරුද්දට ගහන පොරපොල් ලිපියත් කියවන්න.

කවරය- නාගස් ගොන්නේ දේවාලය සහ පත්තිනි මෑණියන්ගේ ප්‍රතිමාව - facebook/ lankabhimanee.blogspot.com 

මූලාශ්‍ර:

Dinamina.lk

nawagamuwadevalaya.com

silumina.lk

Related Articles