Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නෝවාගේ පුත් ජාපෙත්ගෙන් පැවත එන ආමේනියාව

ආමේනියානුවන්ගේ මූලාරම්භය පිළිබඳ විවිධ මත හා ජනප්‍රවාද පවතී. සම්ප්‍රදායට අනුව, ඔවුන් නෝවාගේ එක් පුතකු වන ජාපෙත්ගෙන් පැවතෙන්නන් බවට විශ්වාස කරයි. පුරාණයේ සිට පැවතෙන විශ්වාසයකට අනුව මුළු මහත් ලෝකයම යට කර දැමූ ජලගැල්මෙන් පසු නෝවාගේ නැව අවසානයේදී නතර වූයේ අරගට්ස් කඳු මුදුන් අසලය. නෝවාගේ නැව අරගට්ස්කන්ද සමීපයට පැමිණීමෙන් අනතුරු ව නෝවා ගේ පවුල මුලින් ම අරගට්ස් කන්ද වටා හා ආර්මේනියා භූමියේ පදිංචි වූ බව පවසයි. පසුව බැබිලෝනියාවට ගිය නමුත් බැබිලෝනියාවේ ඇතිවූ විවිධ බාධක කම්කටොලු සහ  දුෂ්කරතා  නිසා ඔවුන් නැවට නැවත පැමිණි බව විශ්වාස කරයි. ආමේනියානුවන් විශ්වාස කරන්නේ නෝවාගේ නැව තිබෙන්නේ කොහේදැයි ඔවුන් දන්නා බවයි. නෝවාගේ නැව අරගට්ස් කන්ද මුදුනේ අයිස්වලට යට වී තවමත් ඇති බවට ආර්මේනියා ජන විඤ්ඤාණයේ පුළුල් විශ්වාසයක් පවතී.

අරගට්ස් කන්ද පූජනීය වස්තුවක්

හිමෙන් වැසී ඇති අරගට්ස් කන්ද ආර්මේනියාවේ ප්‍රධාන ජාතික සංකේතය වන අතර බොහෝ ආමේනියානුවෝ එය පූජනීය වස්තුවක් කොට සලකති. ග්‍රීක ඉතිහාසඥ හෙරෝඩෝටස්ට අනුව, ආර්මේනියානුවන් මුලින් ත්‍රේස් හි වාසය කළ අතර පසුව කුඩා ආසියාවට ගොස් ෆ්‍රිජියාව තරණය කරමින් යුප්‍රටීස් ගඟ අවට භූමිය කරා ගොස් ඇත. එය පසුව ආර්මේනියාව බවට පත්විය. හෙරෝඩෝටස් පවසන්නේ ආමේනියානුවන් පැමිණියේ වෙනම දිශා දෙකකින් බවත්; එක් කණ්ඩායමක් බටහිරින් ත්‍රේස් සහ ෆ්‍රිජියා වෙතින් වන අතර අනෙක් කණ්ඩායම ගිනිකොන දෙසින් මෙසපොතේමියාවේ සිට ආ බවත් ය.තවත් ඉතිහාසඥයන් පිරිසක් පවසන්නේ ආර්මේනියානුවන් 9 වන සහ 6 වන සියවස් අතර නැගෙනහිර ඇනටෝලියාවේ රජකම් කළ යුරාර්ටු රාජධානියෙන් පැමිණි බවයි. ක්‍රි.පූ 6 වන සියවසේදී ඇසිරියානුවන්, මේදවරුන් සහ සිතියන්වරුන් දිගින් දිගටම සිදු කළ වැටලීම්වලින් පසු යුරාර්ටු ඉතිහාසයෙන් අතුරුදහන් වූ විට, ඔවුන්ගේ අසල්වැසියන් ආමේනියානුවන් “ආමේන්” ලෙසත් ඔවුන්ගේ රට “ආමේනියාව” ලෙසත් හැඳින්වූ බවට අදහස් පළ කරති.

කොකේසියන් කඳුවැටිය සහ අරගට් කන්ද – tourhq.com 

ඉන්දු-යුරෝපීය භාෂාවක්

ආමේනියානු භාෂාව ඉන්දු-යුරෝපීය භාෂාවක් වන අතර එය අද්විතීය හෝඩියකින් යුක්ත වන අතර එය ක්‍රි.ව. 5 වන සියවස ආරම්භයේදී සොයා ගැනිණි. බොහෝ ආමේනියානුවන් ආමේනියානු අපෝස්තලික පල්ලියට අයත් වන අතර, ඔවුන් 4 වන සියවසේ මුල් භාගයේදී ක්‍රිස්තියානි ධර්මය රාජ්‍ය ආගම ලෙස පිළිගත් ලෝකයේ පළමු ජාතිය වේ. ආමේනියාව ක්‍රි.ව. 1 වන සියවස දක්වා වූ කාලවලදී පොහොසත් සංස්කෘතියකට හිමිකම් කියූ කලාපීය අධිරාජ්‍යයක් වූ අතර එක් කාලයක කළු හා කැස්පියන් මුහුද අතර ඇති සියලු ම භූමිය ඔවුන්ගේ පාලනයට නතු ව තිබිණි. පාර්තියන් (ඉරාන), රෝම, අරාබි, මොන්ගෝලියානු සහ පර්සියානු ආක්‍රමණවලින් පසුව ආමේනියාව සැලකිය යුතු ලෙස දුර්වල වී තිබිණි. 1454 දී ආර්මේනියාව, ඔටෝමාන් අධිරාජ්‍යය සහ සෆාවිඩ් පර්සියාව අතර බෙදී ගියේය.

සෙවන්වන්ක් ආරාමය සහ සෙවන් විල – nationsonline.org 

යුරෝපයේ හා ආසියාවේ වැදගත් සන්ධිස්ථානය

ආමේනියාව, දකුණු කොකේසස් කඳුවැටියට අනුබද්ධ කඳුකර රටක් වන අතර එය යුරෝපයේ හා ආසියාවේ වැදගත් සන්ධිස්ථානයක පිහිටා ඇත. උතුරින් ජෝර්ජියාව සමඟ ද, ඊසාන දෙසින් සහ නිරිත දිගින් අසර්බයිජානය සමඟ ද, නැගෙනහිරින් අර්තාක් ජනරජය සමඟ ද, බටහිරෙන් තුර්කිය සහ දකුණ ඉරානය සමඟ ද, එහි දේශසීමා වැටී තිබේ. ආමේනියාව සැබැවින් ම මනස්කාන්ත ස්වභාව සෞන්දර්යය පිරුණු අද්විතීය සංස්කෘතියක් හා සම්ප්‍රදායයක් වර්ධනය වූ දේශයකි. කඳු නිම්න, අක්‍රීය ගිනි කඳු සහ වේගවත් ගංගා අපූරු දසුන් මවයි. එනිසාම පුරාණ ආමේනියාවේ ජනයා සොබාදහමට වන්දනාමාන කළ බවට ඇති තොරතුරු පුදුමයට කරුණක් නොවේ.

ආමේනියාවේ උස ම ස්ථානය වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 4,090 ක් ඉහළින් පිහිටි අරගට්ස් කන්දයි. අරගට්ස් යනු කොකේසස්හි උසම ස්ථානයයි. ආමේනියාවේ දිගම ගංගාව අරාක්ස් ගඟ වන අතර එහි දිග කි.මී. 158 කි. මේ ගංගාව තුර්කිය, ආර්මේනියාව, අසර්බයිජානය සහ ඉරානය හරහා ගලා බසින අතර එවිට ගඟේ සම්පූර්ණ දිග ප්‍රමාණය කිලෝමීටර් 1,072 කි. මුහුදු මට්ටමේ සිට මීටර 650 ට වඩා පහළින් පිහිටා ඇති බිම් ප්‍රමාණය, රටේ බිම් ප්‍රමාණයෙන් 3% වැනි ඉතා සුළු ප්‍රතිශතයක් පමණි. ඉතිරි සියල්ල උස් බිම් ය.

භූගෝලීය කලාප හතක්

ආමේනියාවේ පහළ ම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 380 ක් ඉහළින් පිහිටි ඩෙබෙඩ් ගඟේ උද්‍යානයයි. ආමේනියාවේ විශාලත ම ජලාශය වන්නේ සෙවන් විල වන අතර එය යුරේසියාවේ විශාලත ම ඉහළ අගයක් සහිත මිරිදිය විල්වලින් එකකි. කිලෝමීටර් 29,743 ක භූමි ප්‍රදේශයක් සහිත ආමේනියාව බෙල්ජියමට වඩා මඳක් කුඩා හෝ එක්සත් ජනපද මේරිලන්ඩ් ප්‍රාන්තයට වඩා තරමක් කුඩා ය. ආමේනියාවේ ජනගහනය මිලියන 3 ක් පමණි.

ආමේනියාවේ කාන්තාර සහ අර්ධ කාන්තාරවල සිට ඇල්පයින් හා උප ඇල්පයින් තණබිම් දක්වා භූගෝලීය කලාප හතක් ඇතුළු ව එහි දේශසීමා තුළ විශ්මය ජනක භූ දර්ශන රාශියක් ඇත. උණුසුම් හා සූර්යයාලෝකය සහිත ගිම්හාන, සීතල හා අයිස් සහිත ශීත, සහ වසන්තයේ දළු දමමින් නැගෙන සුන්දර ශාක එයට විචිත්‍රත්වය ගෙන එයි.

යුනෙස්කෝව ලෝක උරුමයන් ලෙස නම් කල  හග්පාත් සහ සනහින් ආරාම – unesco.org 

ඉතාමත් ප්‍රසිද්ධ සුන්දර “සෙවන් විල“

ආමේනියා භූමිය ආසියාවේ බටහිර කොටසේ පිහිටා ඇති අතර ආමේනියානු සානුවේ ඊසානදිග කොටස, කොකේසස් කඳුවැටිය සහ ආසන්නත ම ආසියාව අතර කුර් සහ අරාක්ස් ගංගා අන්තර් ගංගා භූමිය වැටී ඇත. ආමේනියාවේ භූමිය මුහුදු මට්ටමට වඩා සාමාන්‍ය උන්නතාංශය මීටර් 1800 කි. භූමියෙන් 76.5% ක් මුහුදු මට්ටමේ සිට මීටර් 1000-2500 ක් උසින් පිහිටා ඇත. ඉහළ ම උන්නතාංශය අරගට්ස් කන්ද මුදුන මීටර් 4090 කි. රටේ උස් කඳු මුදුන් වන කපුට්ජු  මීටර් 3906ක් උසින් පිහිටා ඇත. අෂ්ඩාක් මුදුන මීටර් 3598ක් වේ.ස්පිටකසාර් මුදුන මීටර් 3555ක් වන අතර වර්ඩනිස් මුදුන මීටර් 3522ක උස ය. මෙහි දිගම ප්‍රධාන ගංගා කීපයක්  අතර වොරොටන් ගංගාව කිමී111 කි. ඉතාමත් ප්‍රසිද්ධ සුන්දර විලක් වන “සෙවන් විල“ අයත් වන්නේ ආමේනියාවට වන අතර ප්‍රධාන ගංගා 28 ක් සහ කුඩා ගංගා බොහෝ ප්‍රමාණයක් ගලා බසින්නේ මෙම සෙවන් විලට ය.එය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමට වඩා මීටර් 1899.90 උසකිනි. පුරාණ යුගයේ හා මධ්‍යතන යුගයේ බොහෝ ස්මාරක සහ කලාකෘති රට පුරා සොයාගත හැකි ය. ආමේනියාවේ ඉතාම සිත් ගන්නා සුන්දර දසුන් අතරට සෙවන් විලෙහි ජල නිකේතන, අර්ස්නි සහ ජර්මුක් උණු දිය උල්පත්, දිලිජන්, අග්වෙරාන්, සග්කාඩ්සෝර්, බුරාකාන් සහ ගුගාර්ක් වනාන්තර සහ කඳුකර ස්වාභාවික ගුහා සහ කඳු ආදිය ඇතුළත් ය.

ආමේනියාවේ දී සොයාගත් ලොව පැරණිත ම වයින් නිශ්පාදනාගාරය – davestravelcorner.com

ලොව පැරණිත ම වයින් නිශ්පාදනාගාරය

ලොව පැරණිත ම වයින් නිශ්පාදනාගාරය ආමේනියාවේ දී සොයාගෙන ඇති බව පුරාවිද්‍යාඥයෝ පවසති. ඒ මීට වසර 6,000 කට පමණ පෙර වයින් නිශ්පාදන යන්ත්‍රයක් සහ පැසවීමට ගන්නා භාජන දකුණු කොකේසස් බිමේ ගුහාවක තිබී හමු වීම සමඟ ය.ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කැණීම්වල සම අධ්‍යක්ෂ ග්‍රෙගරි අරේෂියන් පැවසුවේ එය සම්පූර්ණ වයින් නිශ්පාදනාගාරයක මුල්ම උදාහරණය බවයි. ගිනිකොනදිග ආමේනියාවේ කඳුකරයෙන් ඒ වැඩ බිම සොයා ගැනිණි.


වයින් ගැන දැනගන්න උමං තුළ වයින් ගබඩාකරන මෝල්ඩෝවාව ලිපියත් කියවන්න.


මීට වසර 5,500 කට පමණ පෙර පැරණිතම සම් සපත්තුව සොයාගත් ස්ථානය ද එම ප්‍රදේශය ම විය. ගුහාව තුළ, ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයන්ගේ කණ්ඩායම නොගැඹුරු ද්‍රෝණියක් සොයා ගත් අතර, මීටර 1 ක් (අඩි 3 ක්) පමණ උසින් යුක්ත වූ අතර එය ගැඹුරු බඳුනකට බැස යයි. මිනිසුන්ගේ පාදවලින් මිදි පාගා දැමූ වයින් ඇඹරුම් යන්ත්‍රයක් ලෙස මෙය හඳුනාගෙන ඇත.මෙම කණ්ඩායම මිදි බීජ, සම්පීඩිත මිදි වල අවශේෂ සහ වියළි වැල් දුසිම් ගණනක් ද සොයා ගත්හ. 2011 දී ඔවුන් සොයා ගත්තේ පෘථිවියේ පැරණිතම වයින් කර්මාන්ත ශාලාව ය. එය අරීනි ගම්මානය අසල ගුහාවක තිබී සොයා ගැනිණි.

වසර 5,500 කට පමණ පෙර සොයා ගත් පැරණිතම සම් සපත්තුව – eltravelclub.am

මහා සේද මාවතේ ගමන් මඟ වැටී ඇති ආමේනියා රාජ්‍යය

මහා සේද මාවතේ ගමන් මඟ වැටී ඇති ආමේනියාව, දකුණු කොකේසස් හි කළු මුහුද සහ කැස්පියන් මුහුද අතර පිහිටා ඇති රළු කඳු සහ අක්‍රියවී ගිය ගිනි කඳුවලින් පිරි රටකි. එය පැරණි සෝවියට්  ජන රජයන්ගෙන් කුඩාම ජනරජය වූ අතර පළමුවන ලෝක යුද්ධයෙන් පසු, 1922 දී  සෝවියට් සංගමයේ ජනරජයක් බවට පත්විය. 1990 දී ආර්මේනියාව නිදහස ප්‍රකාශයට පත් කළ අතර එය 1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව ස්වාධීන රටක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට ලක්විය. ආමේනියාවේ වත්මන් ජනගහනය මිලියන 3 කටත් වඩා අඩු ය. ආමේනියාවෙන් පිටත ප්‍රධාන වශයෙන් රුසියාව,  එක්සත් ජනපදය, ප්‍රංශය, ජෝර්ජියාව, ලෙබනනය, ඉරානය සහ සිරියාව යන රටවල මිලියන 5 ක් පමණ ආමේනියා ජනතාවක් ජීවත් වන බවට ගණන් බලා ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් 1900 ගණන්වල ආරම්භයේදී සංක්‍රමණය වූහ.

ආමේනියාවේ සුන්දර අගනුවර යෙරෙවන් නගරය – wanderlust.co.uk  

ආමේනියාවේ අගනුවර වන යෙරෙවන් නගරය යනු ලොව පැරණිත ම ජනාවාස නගරවලින් එකක් වන අතර එය ඉපැරණි රෝමයට ද වඩා වසර 29 කට පෙර ඉදි කළ බව සැලකේ. ආමේනියාවේ යුනෙස්කෝ ලෝක උරුම තුනක් පිහිටා තිබේ. හග්පාත් සහ සනහින්ගේ ආරාම, එච්මියාට්සින් ආසන දෙව්මැදුර සහ පල්ලි, ස්වාර්ට්නොට්ස්හි පුරාවිද්‍යා ස්ථානය ගෙගාර්ඩ් සහ ඉහළ අසාත් නිම්නයේ ආරාමය ඒවා ය. කියුරිකියානු රාජවංශයේ (10 සිට 13 වන සියවස දක්වා) සමෘද්ධි සමයේ සිට ටුමේනියානු කලාපයේ මෙම බයිසැන්තියානු ආරාම දෙක වැදගත් ඉගෙනුම් මධ්‍යස්ථාන විය. ඉගැන්වීමේ සහ අකුරු ලිවීමේ පාසල සඳහා සනහින් ප්‍රසිද්ධ විය. පැවිදි සංකීර්ණ දෙක නියෝජනය කරන්නේ ආමේනියා ආගමික ගෘහ නිර්මාණ ශිල්පයේ ඉහළ ම තලය යි. එහි අද්විතීය ශෛලිය වර්ධනය වූයේ බයිසැන්තියානු
පල්ලියේ ගෘහ නිර්මාණ ශිල්පයේ මූලිකාංග හා කොකේසියානු කලාපයේ සාම්ප්‍රදායික වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පයෙනි. ටැටෙව් ආරාමයට යා හැකි කෙටිම, වඩාත් ම සුන්දර හා ආකර්ෂණීය මාර්ගය ලෙස ගිනස් වාර්තා පොතේ සටහන් අතරට ද එක්වූ, ලොව දිගම ආපසු හැරවිය හැකි කේබල් මාර්ගය (මීටර 5752), දරුණු වොරොටන් ගඟේ මිටියාවතට ඉහළින් ඇත. විනාඩි දොළහක අමතක නොවන පියාසැරියක් සහිතව මීටර් 320 ක උන්නතාංශයක මේ ආකාශ අධිවේගී මාර්ගය පිහිටා ඇත.

සුරූපී ආමේනියානු කාන්තාවක් – tourarmenia.am 

චෙස් ක්‍රීඩාව විෂය මාලාවේ කොටසකි

චෙස් ක්‍රීඩාව ආමේනියා අධ්‍යාපනයේ විෂය මාලාවේ කොටසකි. එයින් පැහැදිලි කරන්නේ ආමේනියානුවන් එම ක්‍රීඩාවට එතරම් දක්ෂ වන්නේ  ද යන්නයි. සෝවියට් සමූහාණ්ඩුවෙන් නිදහස් වූ දා පටන් එම ක්‍රීඩාවේ ලෝක ශූරයා බවට ආමේනියාව පත් වී ඇත. පිරිමි ජාතික කණ්ඩායම යුරෝපීය කණ්ඩායම් ශූරතාව 1999 දී ද, ලෝක කණ්ඩායම් ශූරතාව 2011 දී සහ චෙස් ඔලිම්පියාඩ් ශූරතා 2006, 2008, 2012 වසරවල දී ද, කාන්තා කණ්ඩායම යුරෝපීය ශූරතාවලිය 2003 දී ද දිනා ගැනීමට සමත්වී ඇත. අමෙරිකා පිරිමින් 44000 ක් යොදා කළ සමීක්ෂණයක දී ලොව සරාගී ම කාන්තාවන් අතර ආමේනියා කාන්තාවන්ට මුල් තැන ලැබී ඇත.

කවරයේ ඡායාරූපය - කොකේසියන් කඳුවැටිය සහ අරගට් කන්ද - nationsonline.org

මූලාශ්‍ර -

 bbc.com

telegraph.co.uk

armenia.travel

allaboutturkey.com

nationsonline.org

mfa.am

eltravelclub.am 

 wol.jw.org 

Related Articles