Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාල යාත්‍රිකයන්ට වෙන්වූ Stephen Hawking ගේ අකාලික සාදය

21 වැනි සියවසේ ජීවත් වෙන ඔබටත් මටත් කාල තරණය කියන මාතෘකාව අපේ ජීවිතයේ එක දවසක හෝ අනිවාර්යයෙන් ම අහන්නට ලැබෙන මාතෘකාවක්. සැබෑවට ම කාල තරණය කරන්න පුළුවන් ද බැරි ද කියන එක ගැන විද්‍යාඥයන් අතර අදත්  තියෙන්නේ මතභේදාත්මක අදහස්. ඒ අදහස්, න්‍යායන් කොහොම වුණත් කවදා හරි දවසක කාල තරණය කරන්න ලැබුණොත් අපි හැමෝ ම ආපහු අතීතයට යන්න එහෙම නැති නම් අනාගතයට යන්න ලොකු ආසාවකින් ඉන්නේ. එහෙම යන්න අවස්ථාවක් ආවොත් ඔයාලත් නොවැරදී ම Stephen Hawking නම් මහා විද්වතාගේ කාල යාත්‍රිකයන් ගේ සාදයට එක් වෙන්න අමතක කරන්න නම් එපා. 

විවිධ වයස්වලදී ස්ටීවන් විලියම් හෝකිං – youtube.com 

 

සාදයට පෙර ජීවිතයෙන් බිඳක් 

ස්ටීවන් විලියම් හෝකිං උපත ලබන්නේ 1942 ජනවාරි 8 වැනිදා එංගලන්තයේ Oxford නගරයේදී. Frank Hawkingට සහ Isobel Hawkingට දාව තමයි මේ අපුර්ව කොලු ගැටයා ලෝකයේ උපත ලබන්නේ. ඔහුගේ පියා ජීව විද්‍යාඥයෙක්. හෝකිං ගේ ජීවිතය එතරම් ම සුන්දර එකක් නම් නෙමෙයි. වයස අවුරුදු 22 දී ඔහුට Amyotrophic Lateral Sclerosis (ALS) එහෙම නැති නම් Lou Gehrigගේ රෝගය යැයි හඳුන්වන රෝගයක් වැලඳුණු අතර එය ඔහු ටිකෙන් ටික රෝද පුටුවක් වෙත සීමා කරන්නට සමත් වුණා.

ඒ,  රෝගය සමඟ ඇති වූ අංශභාග තත්ත්වය නිසාවෙන්. ඒ සමඟ ම වගේ කතා කිරීමේ අපහසුතා මතු වූ බැවින් බොහෝ විට සන්නිවේදනය කිරීම සඳහා තාක්ෂණික මෙවලමක් භාවිත කරන්න හෝකිංට සිදු වෙනවා. හැබැයි මේ කිසිවකින් ස්ටීවන් විලියම් හෝකිං නම් අප්‍රතිහත ධෛර්යවන්තයා විශ්වයේ අභිරහස් සොයා යාම නවතන්නේ නම් නැහැ. 

හෝකිං කියන්නේ දක්ෂ ලේඛකයෙක්

පසු කාලයක ඔහු සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන් අතර ප්‍රමුඛයෙක් බවට පත් වෙනවා. හෝකිං ඊට අමතර ව  සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය හා ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සංකලනයෙන් පැහැදිලි කළහැකි විශ්වවේදී නියමයක් ඉදිරිපත් කළ ප්‍රථමයා විදිහටත් හඳුන්වන්න පුළුවන්. විශ්වවේදියෙක් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික විශ්වවේද මධ්‍යස්ථානයේ පර්යේෂණ අධීක්‍ෂකයෙක් වගේ ම හෝකිං කියන්නේ දක්ෂ ලේඛකයෙක්.

තවත් සියවස් ගණනාවක් ඉදිරියටත් විද්‍යාව සහ විශ්වයේ අභිරහස් ගවේෂණය සඳහා අනාගත ලෝකය පොලඹවන ‘A Brief History of Time’ ඇතුළු ජනප්‍රිය විද්‍යා ග්‍රන්ථ රාශියක් ඔහු අතින් ලියවෙනවා. 2014 දී හෝකින්ගේ චරිතය මුල්කරගෙන ‘The Theory of Everything’ චිත්‍රපටය නිර්මාණය වෙනවා. මෙහිදී හෝකිං ලෙස චරිත නිරූපණය කරන්නේ ඔස්කාර් සම්මාන ලාභී එඩී රෙඩ්මේන්.  මේ චිත්‍රපටයට වගේ ම එහි සිදු කරන අපුර්ව රඟපෑම වෙනුවෙන් එඩී රෙඩ්මේන්ටත් සම්මාන හිමි වෙනවා. 

The Big Bang Theory රංගන ශිල්පීන් සමග – quora.com 

 

ඉහත සඳහන් කරුණු හෝකිං පිළිබඳ අතිශය ජනප්‍රිය යි. ඔබ දන්නවද හෝකිං කියන්නේ චිත්‍රපට, ටෙලි කතා මාලා, වාර්තා චිත්‍රපට ගණනාවකට රංගනයෙන් සහය දැක්වූ පුද්ගලයකු බව? මේ කතා මාලා සහ චිත්‍රපට වෙත තමා ලෙසම වගේම විවිධ චරිත ලෙසත් තවත් ඒවා සඳහා හඬ නළුවකු ලෙසත් ඔහු සම්බන්ධ වෙනවා. ඒවා අතරින් Star Trek: The Next Generation, The Culture Show, Alien Planet, I Love the World., Late Night with Conan O’Brien,  වගේම, The Big Bang Theory වගේ වැඩසටහන් හඳුන්වන්නට පුළුවන්. ඊට අමතර ව The Simpsons වැනි කාටූන් කතා මාලාවලට පවා හෝකිං තම දායකත්වය ලබා දී තිබෙනවා. 

Stephen Hawking කියන්නේ මෑත ඉතිහාසයේ පහළ වූ සුවිශේෂී ම විද්වතුන්ගෙන් කෙනෙක් කිව්වොත් නිවැරදි යි. 76 වසරක් ආයු වළඳා 2018 මාර්තු 14 වැනි දා මිය යද්දී විශ්වයේ ආරම්භය ගැන වගේ ම විශ්වයේ අභිරහස් කළුකුහර පිළිබඳත් සිදු කළ අනාවරණ සහ පළ කළ මතවාද නිසා ඔහු ලෝකප්‍රකට කෙනෙක්.  කොහොම නමුත් ඒ කාරණාවලට අමතර ව ලෝකයේ පැවැත් වූ ජනප්‍රියත ම කොක්ටේල් සාදයේත් හිමිකරු වෙන්නේ ඔහු යි. දවස 2009 ජූනි 28 Cambridge විශ්වවිද්‍යාලයේ Gonville & Caius College එකේ Stephen Hawking  සාදයක් පවත්වනවා. මේක විශේෂ වෙන්නේ මේ වෙනුවෙන් ආරාධනා පත්‍ර නිකුත් වෙන්නේ ඊට පසු ව දවසේ වීම යි. 

Stephen Hawking ගේ සාදය

ඔව්, සාදයට පස්සේ දවසේ තමයි පෙර දිනය දාල ආරාධනා නිකුත් වෙන්නේ.  ඒ නිසා මේ සාදයට කිසිවෙක් සහභාගී වෙන්නේ නම් නැහැ. මේක හැබැයි මේ ප්‍රාඥයාට වෙච්ච වැරදීමක් එහෙම නම් නෙමෙයි. මේ සාදය පැවැත්වෙන්නේ කාලය හරහා ගමන් කරන්න හැකි time travellersල එහෙම නැති නම් කාල යාත්‍රිකයන් වෙනුවෙන්.  Stephen Hawking කියන්නේ කාල තරණය ගැන විශ්වාස කළ විද්වතෙක්, කවදා හරි දවසක කාල තරණය යතාර්ථයක් බවට පත් වුණොත් Stephen Hawking ගේ සාදය හිස් එකක් නම් නොවෙන බව අපට විශ්වාස යි.  මේ වෙත සහභාගී වෙන්න ඉඩ ලැබෙන්නේ විශේෂ ආරාධනාවක් මගින්. ඒවගේම ඔහු ගේ භෂ්මාවශේෂ ලෝකප්‍රකට Isaac Newton සහ Charles Darwinට නුදුරින් Westminster Abbey හි තැන්පත් කර තිබෙනවා. 

Cocktail Party එකට අමතර ව ඔහු ගේ අවසන් කටයුතුවලටත් සහභාගී වෙන්න කාල යාත්‍රිකයන්ට ඔනුගේ පවුලෙන් ආරාධනා ලැබෙනවා.  2019ත් 2038 අතර කාලයේ ඉපදුණු කාල යාත්‍රිකයන්ට තමයි මේ ආරාධනාව නම් හිමි වෙන්නේ. ඉතින් දවසක දැනට විද්‍යා ප්‍රබන්ධවලට පමණක් සීමා වූ කාල තරණය යතාර්ථයක් බවට පත් වුණොත්  අමතක කරන්න එපා Gonville & Caius College එකේ Welcome Time Travellers කියලා ගහපු බැනර් එකක් යට ශ්‍රේෂ්ඨ Stephen Hawking කොක්ටේල් එකක් තොලගාන ගමන් ඔබ එක්ක කුලුපග වෙන්න ඔබ එනකම් බලන් ඉන්නා බව. 

මේ හා සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

හෝකින්ග්ගේ අලුත්ම න්‍යායෙන් විශ්වය ගැන අමුතුම අදහසක් අලුත් වෙලා

ලෝක අවසානය ගැන පුරෝකථන : පළමු දිගහැරුම

කවරයේ ඡායාරූපය: Stephen Hawking  - atlasobscura.com 

මූලාශ්‍ර:

Mirror.co.uk 

Atlasobscura.com 

Livescience.com 

Ianvisits.co.uk 

Dailymail.co.uk 

Stephenhawkinginterment.com 

Bbc.com 

Wikipedia.org 

Related Articles