Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Galaxy Note මෙතෙක් ආ ගමන් මඟ සහ Note 10 සතු විශේෂාංග

Samsung සමාගමේ ඉදිරිපෙළ දුරකතන ශ්‍රේණි වශයෙන් Galaxy S සහ Galaxy Note දුරකතන කාගේත් සිත් ගන්නවා. දුරකතන තිර නිෂ්පාදනය සඳහා නම් දරන Samsung සමාගම Note Series එක වෙත විශාල ප්‍රමාණයේ සහ දෙපසින් නවන ලද තිර සමඟ නවතම තාක්ෂණික අංග තම ඉදිරිපෙළ දුරකතන වෙත දායාද කරනවා.

Note Series එක සමඟ ස්මාර්ට් දුරකතන වෙත සාමාන්‍ය Stylus එකකින් ඔබ්බට යන අත්දැකීමක් ගෙන ආ Samsung සමාගමේ නවතම Galaxy Note 10 දුරකතනය දක්වා එය ආ ගමන් මඟ දෙස අපි හැරී බලමු.

ප්‍රථම Galaxy Note දුරකතනය

Galaxy Note N7000 මාදිලිය (phonesdata.com)

Galaxy Note N7000 ලෙස හැඳින්වුණු මෙය අද අපි දකින Note Series එකට අත්පොත් තැබූ දුරකතන මාදිලිය යි. මෙහි මුල්වරට S Pen එකක් අඩංගු වූ අතර 2011 ඔක්තෝබර් 29 වැනිදා එළි දැක්වුණා.

එහි අඟල් 5.3ක තිරයක් තිබුණු අතර ඒ කාලයේ එය ඉතා සුවිසල් තිරයක් වූවා. පසුපස කවරය ගැලවීමට හැකියාව තිබුණා. ඊට යටින් SIM පත, MicroSD කාඩ් එක සහ ගැලවිය හැකි 2500 mAh බැටරිය දකින්නට ලැබුණා.

දැන් 1GB RAM එකක් ගැන සිතීමත් උගහට නමුත් එකල එය සුවිසල් RAM ධාරිතාවක් වූවා. 16 GB හෝ 32 GB අභ්‍යන්තර ධාරිතාවක්, පසුපස 8 MP කැමරාවක් හා ඉදිරිපස 2 MP කැමරාව කාගේත් සිත්ගත් දේවල් බවට පත් වුණා.

Air View ගෙන ආ Galaxy Note II සහ Note 3

වම්පස Note II සහ දකුණුපස Note 3 (ytimg.com)

මුල් Note දුරකතනයට වසරකට පසු එනම්, 2012 දී අඟල් 5.5ක වැඩිදියුණු කළ AMOLED තිරයක් සමඟ Note 2 කරළියට පිවිසියා. එහි දෙගුණයක RAM ධාරිතාවක්, Quad-core ප්‍රොසෙසරයක් තිබුණා. මෙහි මුල් Note උපාංගයට සමාන මෙගාපික්සල් ප්‍රමාණයක් කැමරාවල දකින්නට ලැබුණ ද ඒවායේ හැකියාවන් වර්ධනය කොට තිබුණා. බැටරිය 3100 mAh වූවා.

Note II හි ප්‍රථම වරට Air View හැකියාවන් S Pen එකට යොදා තිබූ අතර තිරයට ආසන්නව ඉහළින් S Pen එක රැගෙන යන විට Mouse pointer මෙන් ‍එම චලනය හඳුනාගන්නට ඊට හැකියාව තිබුණා. එමඟින් ඇතැම් Apps වලට අදාලව Previews දැකගත හැකි වුණා.

2013 දී දුරකතන ලොව ජයගත් Note 3 හි අංකය Note II හි මෙන් රෝම ඉලක්කමක් වූයේ නැහැ. 3GB RAM එකක්, 13 MP පසුපස කැමරාවක් තිබූ එය අඟල් 5.7 තිරයක් සමඟ 1080p Resolution එකක් ගෙන ආවා. Note Series එකේ මුල් වරට IR Blaster එකක් (TV, A/C ආදිය පාලනය කළ හැකි රිමෝට් හිසක්) ගෙන ආවා.

Note 3 සතුව S Pen එක රැඳවුම් කවුළුවෙන් ඉවත් කළ බව හඳුනා ගැනීමේ හැකියාව, ඉතා දුරින් පැවතියහොත් (අමතක වී ගිය අවස්ථාවක් වැනි) එය දැනුම් දීමේ හැකියාව, Air Command view එක පමණක් නොව Pure Android සතුව හෝ නොතිබුණු Multi Window හැකියාවන් එහි දකින්නට ලැබුණා.

Galaxy Note 4 සහ දෙපසින් නැවුණු තිරයක් ගෙන ආ Note Edge

Galaxy Note 4 දුරකතනය (samsung.com)

2014 සැප්තැම්බරයේදී එළිදැක්වුණු Note 4 දුරකතනය ඔක්තෝබරයේදී වෙළඳපොළ වෙත එක් කෙරුණා. Note 3 එකට වඩා RAM හෝ තිර ප්‍රමාණයේ වෙනසක් මෙහි සිදු නොවුණු අතර පසුපස කැමරාව OIS සමග 16 MP තරම් ඉහළ අගයකට ගමන් කළා. එසේම resolution එක Quad-HD වුණා.

මෙහි Galaxy series එකේ මුල් වරට Quick Charge හැකියාව සමඟ Home button එක මත Fingerprint Sensor එකක් අන්තර්ගත වුණා. එසේම, හෘද ස්පන්දන මාපකයක් (heart rate sensor) සහ රුධිර ඔක්සිජන් මට්ටම මැනිය හැකි SpO2 සංවේදකයක් එක් වුණා.

Note Edge හි දාරයේ App shortcuts ඇති ආකාරය (aolcdn.com)

Note 4 උපාංගයට සමගාමීව Note Edge නමින් තවත් මාදිලියක් බිහිවුණා. එහි විශේෂත්වය වූයේ තිරය දෙපසින් වක්‍ර කොට භාවිතයට තවත් ඉඩහසර විවෘත කොට දීමයි. එහි Notifications දිස්වීම, App shortcuts, කැමරාව සඳහා වැඩිපුර බොත්තම් රැඳවීම සමඟ Note ස්මාර්ට් දුරකතන වෙත නවමු අත්දැකීමක් විවර කළා. Note 4 Duos මඟින් සිම්පත් දෙකක් භාවිතා කළ හැකි වුණා.

Galaxy Note 5 සහ… කෝ Note 6?

Note 5 දුරකතනයෙන් S Pen එක ඉවතට ගෙන ඇති ආකාරය (digitaltrends.com)

මුල් වරට ලෝහ සහ වීදුරු නිමාවක් ලද Note 5 දුරකතනය Note Series එකට වටිනා පෙනුමක් එක් කළ උපාංගයක්. එසේම ප්‍රථම වතාවට Nano-SIM එකක්, ගැලවිය නොහැකි Li-Po 3000 mAh බැටරියක් මෙය ගෙන ආවේ microSD slot එකට සමුදෙමින්.

Note 4 දුරකතනයට සාපේක්ෂව තිර ප්‍රමාණයේ වෙනසක් නොවූවද 4GB RAM එකක්, රැහැන් රහිත ආරෝපණ හැකියාව (Wireless charging) මෙය සතු වුණා. S Pen එක ක්ලික් ශබ්දයක් සමඟ Auto-eject වන පරිදි සැකසුණු අතර එය ඉවත් කළ වහා තිරය Lock වී තිබුණද සටහනක් තබන්නට හැකිවීම වාසියක් වුණා. මේ කාලය වන විට සෙල්ෆි ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පැවති නිසා ඉදිරිපස කැමරාව 5 MP බවට පත් කොට තිබුණා.

මෙතෙක් කාලයක් පුරාවට Note දුරකතන ආවේ S Series එකට වඩා අංකයක් පසුපසිනුයි. මෙය ඔවුනට ව්‍යාපාර ප්‍රවර්ධනයේ දී බාධාවක් වූ නිසාදෝ අපට Note 6 දුරකතනයක් වෙනුවට ඍජුවම Note 5 සිට Note 7 දක්වා පිම්මක් දකින්නට ලැබුණා. වින්ඩෝස් 9 සහ iPhone 9 පවා නොතිබූ නිසා මෙය එතරම් පුදුමයට කරුණක් නොවෙයි.

දෙපස නැවුණු තිරයක් තිබුණු Note 7

Iris Scanner එකක් සහිත Note 7 දුරකතනය (cbsistatic.com)

2016 දී එළිදැක්වුණු, විශේෂාංගවලටත් වඩා වෙනත් හේතුවක් නිසා ලොව කතා බහට ලක් වූ Note 7 දුරකතනය සතුව මුල් වරට Always-on display එකක් තිබුණා. සිම්පත් දෙකක් දැමිය හැකි මාදිලියේ එක් සිම්පතක් වෙනුවට microSD card එකක් යොදන්නට අවස්ථාව සලසා තිබුණා. 

Iris Scanner එක සමඟ ඇසේ තාරා මණ්ඩලය පරිලෝකනය මඟින් එය Unlock කළ හැකි වුණා. ජලයට සහ දූවිල්ලට ඔරොත්තු දීමේ හැකියාව, ඉහළ මට්ටමේ 12MP කැමරාව එහි හැකියාවන් එකල ඉදිරිපෙළින් ම තැබුවා.

මෙය වඩාත්ම කතා බහට ලක් වන්නට පටන් ගත්තේ බැටරි පුපුරා යන්නට පටන් ගැනීමත් සමඟයි. ඒ සමඟ උපාංග නිෂ්පාදනය නවතා දැමුණු අතර බැටරියේ ඍණ අග්‍රයේ ඍජුව ගැටුණු (ධන අග්‍ර) පෑස්සුම් තීරුවක් නිසා මෙය සිදුවූ බව සොයා ගත්තා. ඉන් අනතුරුව කල් පැවැත්ම, බාහිර හා X කිරණ පරීක්ෂාව ඇතුළු ක්‍රමවේද 8ක් යටතේ තම දුරකතන පරීක්ෂා කරන බවට Samsung සමාගම පොරොන්දු වුණා.

Home Key එකට සමුදුන් Note 8 සහ Note 9

වම්පස Note 9 සහ දකුණුපස Note 8 (fonpit.de)

2017 දී Galaxy S8 දුරකථනය සමඟ හඳුන්වා දුන් Infinite display නමැති මුළු දුරකථනයේ ම පැතිරී ගිය තිරය නිසා මෙතෙක් Samsung සමාගමේ ආවේණික ලක්ෂණයක් බඳුවූ home key එක Note 8 සමඟ ඉවත් කෙරුණා. අඟල් 6.3ක තිරයක්, 6GB RAM එකක් සහ පසුපස කැමරා දෙකක් සහ ඉදිරිපස 8 MP කැමරා එය එකල හොඳම දුරකතනයක් බවට පත් කළා.

වැඩිදුර කියැවීමට: නීට් එකට වැඩ කරදෙන Samsung Galaxy Note 8 දුරකථනය

2018 දී එළිදැක්වුණු Note 9 උපාංගය විවිධ වර්ණ වලින් යුත් S Pen මෙන් ම ඊට Bluetooth ද එක් කරනු ලැබුවා. මේ නිසා Pen එක රඳවා තිබියදී එය තත්පර 30කින් උපරිම ආරෝපණය ලබා පැය බාගයක ක්‍රියාකාරීත්වයක් ලබා දෙන්නට සමත් වුණා. එහෙත් එය ලිවීම්/ඇඳීම් වලට බාධාවක් නොවෙයි. ජල-කාබන් සිසිලන පද්ධතියක්, 8 GB හෝ 6 GB RAM එකක්, පරිගණක් මෙන් භාවිතා කළ හැකි DeX විශේෂාංගය එය අපූර්ව දුරකතනයක් බවට පත් කළා. ඒ ගැන වැඩි විස්තර අ‍පගේ Note 9 පිළිබඳ ලිපියෙන් කියවන්නට පුළුවන්.

2019 ජයගන්නා Note 10 සහ Note 10+

Aura Glow පසුපස සහිත (වම්පස) Note 10 සහ (දකුණුපස) Note 10+ (cbsistatic.com)

අලුතෙන්ම නිකුත් වන Note 10 සහ Note 10+ සතුව Infinity-O හෙවත් තිරයේ ඉහළ මැදින් ඉදිරිපස කැමරාව යොදන ලද නිමැවුමක් තිබෙනවා. S10 දුරකතනයේ පසෙකින් යෙදූ කැමරා සිදුරට වඩා මෙමඟින් දුරකතනයට හොඳ පෙනුමක් ලැබී තිබෙනවා. මෙම තිරයට ආලෝකයට ගැලපෙන පරිදි ආලෝක කළමනාකරණය කළ හැකි වීම සහ රාත්‍රියේදී දෑසට ඇති වන බලපෑම වැළැක්විය හැකි බවට TUV සහිතනය පවා ලබා ඇති නිසා රාත්‍රී දුරකතන භාවිතය නින්දට බාධාවක් වන්නේ ද නැහැ.

Note 10 හි අඟල් 6.3 FHD+ Dynamic AMOLED තිරයක් තිබෙනවා. 8GB RAM එකක්, 3500 mAh බැටරියක් සහ 256GB අභ්‍යන්තර ධාරිතාවක් පමණක් නොව, 1TB දක්වා microSD card එකක් ඇතුලත් කරන්නට ද හැකි නිසා ලැප්ටොප් එකක තරම් ධාරිතාවක් ඔබට ලැබෙනවා. ප්‍රමාණයෙන් විශාල Note 10+ හි අඟල් 6.8ක තිරයක් සහ 12GB තරම් ඉතා ඉහළ RAM ධාරිතාවක් තිබෙනවා.

Note 10+ සහ Note 10 හි ඉදිරිපස පෙනුම (aolcdn.com)

මෙම දුරකතනවල පසුපස OIS සමඟ ස්ථාවර ඡායාරූප/වීඩියෝ ගත හැකි 12 MP අගයක wide කැමරාවක්, 2x optical zoom හැකියවක් ඇති 12 MP අගයක telephoto කාචයක් සහ 16 MP ultrawide කැමරාවක් මෙය සතුයි. ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 10යි. Note 10+ හි කැමරා පද්ධතියෙහි ඊට අමතරව DepthVision කැමරාවක් ද අඩංගු වෙනවා.

One UI සමඟ Android Pie ධාවනය කරන නිසා නවතම Android අත්දැකීම අත්විඳින්නටත්, Note 10+ සතු ඉහළ RAM ධාරිතාව සහ සිසිලන පද්ධතිය නිසා Call of Duty Mobile වැනි Mobile Games කිසිදු ආයාසයකින් තොරව ඔබට Play කරන්නට හැකි වෙනවා.

සිසිලන පද්ධතියක් ද සහිත අභ්‍යන්තර ව්‍යුහය (samsung.com)

ජල සහ දූවිලි ප්‍රතිරෝධී IP68 rating අගය, Dolby Atmos ශබ්ද මාධූර්යයන්, විනාඩි 30කින් දවසකට ප්‍රමාණවත් ආරෝපණයක් ලද හැකි වීම, විනාඩි 6කින් පැය 10ක බැටරි බලයක් ලබා ගන්නා S Pen එක සහ එය සතු අලුත්ම Gestures, Ultrasonic Fingerprint සෙන්සරය, Wireless charging සහ වෙනත් උපාංග ද මෙය මත තබා Charge කළ හැකි වීම ආදිය සමඟ මෙය Note Series එකෙහි සුපිරි වීරයා බවට පත් වෙනවා. මෙම දුරකතන දෙපළ කළු, සුදු සහ වර්ණ සංකලනයකින් යුතුව දිලිසෙන Aura Glow මාදිලියකින් ද සමන්විතයි.

Dialog Iconic Store වෙත පිවිසුණොත් කාටත් කලින් මේ අද්විතීය දුරකතනයේ හිමිකරුවෙක් බවට පත් වීමට ළඟදීම ඔබටත් අවස්ථාවක් උදා වෙනවා.

කවරය: tmobile.com

Related Articles