Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවතම Huawei View 20 මුහුණතේ සිදුරක්

Notch එක 2018 වසර ඩැහැගනිද්දී ඉන් ඔබ්බට ගිය වෙනසක් විවිධ දුරකතන සමාගම් ගනු ලැබුවා. ඇන්ඩ්‍රොයිඩ් හි ඉදිරියෙන් සිටින තාක්ෂණික දැවැන්තයෙක් වන සැම්සන්ග් සමාගම ද තම A8 දුරකතනයට Infinity-O නමින් තිරය මත සිදුරක් සහිත ව ඉදිරිපස කැමරාව ඔබ්බවා ලූ අතර, 2019 වසර සඳහා Huawei සමාගම ද එවන් දුරකතනයක් ඉදිරිපත් කරනවා. ඔවුන්ගේ Honor වෙළඳ නාමය වසර කිහිපයක් තිස්සේ අඩුමිල දුරකතන තරගකාරීත්වයේ ඉදිරියෙන් ම සිටිනු දකින්නට ලැබුණා.

Huawei View 20 දුරකතනයේ මුහුණතේ සිදුරක් ඇති අතර Huawei nova 4 සතු ව ද කැමරාව සඳහා එලෙස තිරය සිදුරු කරමින් ඉඩ ලබා ගෙන තිබෙනවා. Huawei Mate 20 Pro සතු ව Notch එකක් තිබූ අතර, Mate 20 සාමාන්‍ය දුරකතනය සතු ව කඳුළු බිඳුවක් (tear drop) වන් notch එකක් තිබුණා. ඒ අනුව, Huawei සමාගම දැනට තිබෙන පූර්ණ තිර මාදිලි සියල්ල ම ඇති පෙනුමක් තම නිෂ්පාදනයන්ට එක් කරගෙන තිබෙනවා.

බාහිර පෙනුම

ඉදිරි හා පසුපස පෙනුම (androidheadlines.com)

Honor View 20 දුරකතනයේ මුහුණත සම්පූර්ණයෙන් ම පාහේ තිරයෙන් ආවරණය වී තිබෙනවා. එහි ඉහළ සහ දෙපස දාර ඉතා ම තුනී යි. පහළ දාරය සාපේක්ෂ ව මහත නමුත් එය නොසැලකිය හැකි ඝනකමක්. වම් පස ඉහළ, සෙල්ෆි කැමරාව යොදා ඇති අතර ස්පීකරය ඉහළ දාරයෙහි ම සිහින් ව යොදා තිබෙනවා. ලා නිල් (Sea Blue), තද නිල් (Phantom Blue), රතු, සහ කළු (Magic Night Black) වර්ණයන්ගෙන් යුත් මාදිලිවලින් දුරකතනයේ දාර සහ පසුපස වර්ණ ගැන්වෙනවා. පසුපස වෙනුවෙන් වැඩි කාලයක් ගතකර නිමැවුමක් ඉදිරිපත් කරන Huawei සමාගම දුරකතනයට වැඩි වටිනාකමක් එක් කරනවා. ඒ, ආලෝකය පතිත වන විට දිලිසෙන V හැඩැති රටාවක් ඉහළ සිට පහළට විහිදෙන ආකාරයට යි. කළු මෙන්ම තද නිල් මාදිලිවල මෙය වඩාත් සිත්ගන්නාසුලු පෙනුමක් ගෙන දෙනවා.

පසුපස දිලිසෙන V හැඩය (digit.in)

පසුපස ඉහළ වම් පසින් කැමරා දෙකක් තිරස් ව දකින්නට තිබෙනවා. ප්‍රධාන කැමරාවෙන්; ෆ්ලෑෂරය සහ අනෙක් කැමරාව දාරයක් මඟින් වෙන් කර දක්වා තිබෙනවා. දුරකතනයේ විශේෂාංගයක් වන කෘත්‍රීම බුද්ධිය සහිත කැමරාව ඔප් නංවා දක්වන්නට “AI Vision” ලෙස ඒ සමග ම දකුණු පසට බරව සටහන් කර තිබෙනවා. පැත්තෙන් බලද්දී කැමරාව මඳක් පිටතට නෙරා ආ බව දකින්නට ලැබෙනවා. කැමරා තීරයට පහතින් මැදට වන්නට විශාල ඇඟිලි සලකුණු සංවේදකය දැකගත හැකියි. පහළට ආසන්නයෙන් “Honor” ලෙස මාදිලිය දක්වා තිබෙන නිසා දිලිසීම හරහා “Honor V” යන්න අරුත් ගැන්වෙනවා.

දුරකතනයේ දාර ඇලුමිනියම්වලින් නිපදවා ඇති අතර වම් පස දාරයෙහි සිම්පත් කවුළුවත්, දකුණු පස දාරයේ Power සහ ශබ්ද පාලක බොත්තම් සුපුරුදු පරිදි දක්නට ලැබෙනවා. තිරය මෙන්ම දුරකතනයේ දාරයන් ද කවාකාරව නිපදවා තිබෙනවා.

තිරය

කැමරා සිදුර සහිත LCD තිරය (droid-life.com)

අඟල් 6.3ක IPS LCD තාක්ෂණයෙන් යුත් තිරයක් ඇති මෙහි තිර විභේදනය (resolution) Full HD හෙවත් 1080 x 2310 අගයක් ගන්නවා. අඟලක ඇති පික්සල් ඝනත්වය (ppi) 398 පමණ වෙනවා. තිරය මත ඇති සිදුර ගැඹුරු එකක් නොවෙයි. වාසනාවකට ඔවුන් LCD තිර ලේයරයට සමගාමී ව ම කැමරාව ද සම මට්ටමෙන් යොදා තිබෙනවා. නමුත් තිරයේ කළු පැහැති බොඳ වූ රවුමක් කැමරා සිදුර වටා දකින්නට ලැබෙනවා. මෙම සිදුර ඊට ආසන්න දාරයේ මැදින් සකසා නොතිබීම ටිකක් ඇසට සහ හිතට අපහසුතාවක් එක් කරනවා. එය මඳක් දකුණු පසට වන්නට තිබීමෙන් අසමමිතික බව හොඳින් දැනෙනවා.

සමීප දසුනක් (9to5google.com)

Notch එක සහිත දුරකතනවල වීඩියෝ නැරඹීමේ දී සැම විට ම එය සැඟවෙන නමුත්, මෙය නම් වීඩියෝ නරඹන අවස්ථාවන්හි පවා ඇස ගැටෙනවා. තිරය 19.25:9 අනුපාතයෙන් යුතු නිසා සාමාන්‍ය ප්‍රමාණයේ වීඩියෝ කොහොමටත් වම් සහ දකුණු පසින් කළු පැහැති දාරයන් සමග යි නරඹන්නට සිදුවන්නේ. ඇතැම් ඇප්වල වම් පස ඉහළ ඇති Menu අයිකන ආදිය කැමරා සිදුර ඇති ස්ථානයේ ම රැඳවෙන නිසා ඒවා පාවිච්චි කිරීමේ දී අපහසුතා ඇති වෙනවා. මේ ගැටළුව Settingsවලින් සකසා ගන්නට පුළුවන්. ඔවුන් Settingsවල මෙම සිදුර “Notch” ලෙස ම නම් කර තිබෙනවා. එය හරහා කැමරාවේ උස දක්වා වූ ප්‍රදේශය තිරයෙන් ඉවත් කරලන්නට හැකියි. ඒත් අපි පූර්ණ තිර දුරකතනයක් මිල දී ගන්නේ ඉන් කොටසක් ඉවත් කර පාවිච්චි කරන්න ද?

කැමරා

පසුපස කැමරා දසුනක් (cbsistatic.com)

Honor View 20 දුරකතනයේ පසුපස ප්‍රධාන කැමරාව මෙගා පික්සල් 48ක් තරම් ඉහළ අගයකින් යුතු යි. දුරකතනයක එතරම් ඉහළ අගයක මෙගා පික්සල් ප්‍රමාණයක් ඇති විට ලැබිය හැකි ඡායාරූප ගුණාත්මක බව මෙතෙකැ යි කියන්නට බැහැ. අවාසනාවකට, අන් දුරකතනවල වගේ ම එය හුදෙක් විකුණුම් “බටර් පාරක්” බවට පත් වන්නේ සෙන්සරයේ කුඩා බව නිසා යි. එවිට පික්සල ප්‍රමාණයත් ඉතා කුඩා වී යාමෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය අඩු වෙනවා. අවසානයේ ඡායාරූපයේ විස්තරාත්මක බවට (details) මෙය අවාසිදායක ලෙස බලපානවා. එනිසා ඉහළ MP අගය ගැන පුදුම වීමට දෙයක් නැහැ. මෙම සෙන්සරය Sony සමාගමෙන් නිපදවා ඇති අතර, ඔවුන් මෙම ගැටළුව විසඳීමට අසල ඇති පික්සලවලින් දත්ත ලබාගෙන ආලෝක තත්ත්ව සමනය කිරීමේ තාක්ෂණයක් භාවිතා කරනවා.

මෙම දුරකතනයේ Microsoft Kinect ආකාරයේ විශේෂාංගයක් සහිත 3D time of flight (TOF) සෙන්සරයක් තිබෙනවා. ඒ, පසුපස අනෙක් කැමරාව වන TOF 3D stereo කැමරාව යි. එමඟින් සත්‍ය ලෝක භාණ්ඩ; ත්‍රිමාණ වස්තුවක් බවට පත් කර තිරය මතට ලබා දෙන්නට ඊට හැකියි. කෘත්‍රීම බුද්ධිය ද සහිත නිසා කැමරා ද්විත්වය හරහා දකින දේවල් හඳුනාගන්නට දුරකතන මෘදුකාංගයට හැකියි. ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 25 යි. ඉන් 1080p වීඩියෝවක් 30fps අගයකින් ගත හැකියි.

පද්ධති ගුණාංග සහ UI එක

EMUI වෙනුවට Magic UI (vox-cdn.com)

ලොව ප්‍රථම 7nm ප්‍රොසෙසරය සහ කෘත්‍රීම බුද්ධිමය හැකියාවන් ගෙන එන ලොව ප්‍රථම Neural Processing Unit (NPU) දෙකක් සහිත ප්‍රොසෙසරය යන HiSilicon Kirin 980 ප්‍රොසෙසරය මෙම දුරකතනයේත් යොදා තිබෙනවා. අපි මේ ගැන වැඩිදුරට Huawei Mate 20 දුරකතනය ගැන ලිපියේ දී කතා කළා.

වැඩිදුර කියැවීමට: Kirin 980 සමග AI හැකියාවන් ලද Huawei Mate 20 දුරකථන

අභ්‍යන්තර ධාරිතාව අනුව View 20 දුරකතනය මාදිලි දෙකකින් යුතු යි. 256 GB මාදිලියේ 8 GB RAM එකක් ඇති අතර, 128 GB මාදිලියේ 6 හෝ 8 GB RAM අගයන්ගෙන් ලබාගත හැකියි. දැනට නවතම Android වෙළුම වන 9.0 (Pie) මෙහි ධාවනය වන අතර, Android Q ද මෙයට ලැබෙනු ඇතැ යි අපේක්ෂා කළ හැකියි. GPU එක ලෙස Mali-G76 MP10 එක් කර තිබෙනවා.

Huawei සමාගමේ බහුල ව ඇති EMUI හෙවත් Emotion UI වෙනුවට Honor මාදිලිය සඳහා Magic UI එක එනවා. වර්ණ, අයිකන මෙන්ම ෆොන්ට් වලින් සුළු වෙනසක් එය ගෙන එනවා.

අනෙකුත් විශේෂාංග

3.5mm ජැක් එක ඉහළින් යොදා තිබෙනවා (xda-developers.com)

අභාවයට යමින් පවතින 3.5mm jack එක Honor View 20 සතු වෙනවා. USB Type-C 3.1 පෝට් එකක් ඇති අතර, එය USB On-The-Go හැකියාවෙන් යුතු නිසා Pen drive සබඳන්නට පුළුවන්. එසේ ම ත්වරණමානය, මාලිමාව ඇතුළු සුපුරුදු සංවේදකයන් සමග Bluetooth 5.0, NFC මෙන්ම දුරකතනය රූපවාහිනිය, වායු සමීකරණය ආදියට දුරස්ථ පාලකයක් සේ පාවිච්චි කිරීමට ඉඩ සලසන IR පෝට් එකක් ද මෙය සතු යි. වේගවත් ආරෝපණ හැකියාවක් ඇති මෙයට විනාඩි 30ක් ආරෝපණයෙන් 55%ක බැටරි බලයක් ලැබිය හැකියි. 4000 mAh බැටරිය ප්‍රොසෙසරයේ කෘත්‍රීම බුද්ධිමය හැකියාවන් නිසා වැඩි කාලයක් පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබෙනවා.

මේ නව දුරකතනයේ ඔබ සිත්ගත් දේවල් මොනවාද?

කවරය: xda-developers.com

Related Articles