Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවතම Samsung ප්‍රොසෙසරය වන Exynos 9820 ගැන තතු

සැම්සන්ග් සමාගමේ Exynos 9 ශ්‍රේණියේ නවතමයා වන Exynos 9820 කියන්නේ, එම සමාගමේ ප්‍රථම NPU එකක් සහිත ප්‍රොසෙසරය යි. මේ වසරේ ආ S9 සහ Note 9 දුරකථනවල අඩංගු කළ Exynos 9810 පැරණි එකක් බවට පත් කරමින් එන මේ නවතමයා සතු ව ලබන වසර සඳහා වූ දුරකථන විශේෂාංගවලට අවශ්‍ය සවිබලය ගෙන එනවා. AI තාක්ෂණය ස්වාධීනත්වයට ගෙන එන අවධියක මේ නවතමයා Samsung සමාගමට නවමු පියවරක්.

CPU අභ්‍යන්තර සැකැස්ම වෙනස් වෙයි

කොටස් තුනකින් යුත් පද්ධතියක් (samsung.com)

පෙර ප්‍රොසෙසරයට වඩා Exynos 9820 හි අභ්‍යන්තර විශාල වෙනස්කම් දරනවා. 9810 ප්‍රොසෙසරයේ තිබුණේ cores 4 ඒවා දෙකක එකතුවක්. එහි Cortex A75 cores හතරක් සහ custom cores හතරක් ලෙස අඩංගු ව තිබුණා. නව 9820 සතු ව කොටස් තුනක බෙදීමක් දකින්නට තිබෙනවා. Arm සමාගමේ නවතම ප්‍රොසෙසරය වන Cortex-A75 ඒවා දෙකක්, Cortex-A55 ප්‍රොසෙසර 4ක්, සහ සැම්සන්ග් සමාගමේ නිර්මිත අධි බල custom CPU කොටස් දෙකක් මඟින් එම කොටස් ත්‍රිත්වය සම්පූර්ණ වෙනවා. ඒ අනුව මෙහි තිබෙන්නේ cores 2 ඒවා දෙකක්, සහ cores 4ක් ලෙස යි. කාර්යක්ෂමතාව සඳහා අඩු බල (හැකියාවෙන් අඩු සහ අඩු බැටරි බලයක් අවශ්‍ය) Cores 2ක්, සහ සැම්සන්ග් සමාගමෙන් නිර්මිත දෙකොටසින් වැඩි බලයක් අවශ්‍ය ක්‍රියාකාරකම් (ගේමිං වැනි) ඉටු කරනවා.

නව ප්‍රොසෙසරයේ සැකැස්ම හරහා පෙර එකට වඩා නව කොටස නිසා 20%ක හැකියාවන් වර්ධනයක් සිදු ව තිබෙනවා. බැටරි බල භාවිතය ද එමඟින් 40%කින් අඩු වී තිබීම විශේෂත්වයක්. මෙය 8nm ප්‍රොසෙසරයක්. ප්‍රොසෙසරවල මෙම nm (නැනෝමීටර්) අගයයෙන් කියැවෙන්නේ එහි චිප්සෙට් එක තුළ ඇති ට්‍රාන්සිස්ටර් අතර ඇති දුර ප්‍රමාණය වන අතර, දුර අඩුවන තරමට වැඩි සවිබලයක් එතුළ රැඳවීමට හැකියාව ලැබෙනවා.

අලුතින් එන NPU (Neural Processing Unit) එක

මෙහි ඇත්තේ NPU එක් පද්ධතියක් පමණයි (timeincuk.net)

කෘත්‍රීම බුද්ධියෙන් යුතු ක්‍රියාකාරකම් කරන්නට අවශ්‍ය ස්වාධීන බලය ලබාදෙන NPU එකක් ප්‍රථම වරට සැම්සන්ග් සමාගමේ ප්‍රොසෙසරයක් සඳහා අඩංගු වන්නේ Exynos 9820 සමග යි. හැබැයි, ඔබට මතක නම් ලොව ප්‍රථම ද්විත්ව NPU ප්‍රොසෙසරය වූ Kirin 980 මෙන්ම ඇපල් සමාගමේ, තත්පරයකට AI ක්‍රියාවන් ට්‍රිලියන 5ක් කළ හැකි A12 Bionic ප්‍රොසෙසරය සතුවත් NPU දෙකක් ම තිබුණා. කොහොම නමුත්, මෙය අඩංගු කරලීම නිසා දැන් අන්තර්ජාල සර්වරයක් මත යැපෙන්නේ නැති ව ස්වාධීන ව AI සම්බන්ධ කටයුතු ක්ෂණික ව කරන්නට උපාංගයට අවස්ථාව ලැබෙනවා.

බොහෝ විට මෙහි ප්‍රයෝජනවත් බව එන්නේ කැමරාවට යි. අවස්ථාව හඳුනාගැනීම හෙවත් scene recognition සඳහා පෙර තිබූ 9810 ප්‍රොසෙසරයට වැඩි හැකියාවක් තිබුණේ නැහැ. එහි ඇති අඩුපාඩු ද නව ප්‍රොසෙසරය සපුරාලන අතර, එය 7 ගුණයකින් වැඩි වේගයක් ද දරනවා. AR හා VR තාක්ෂණයන් ද වඩාත් හොඳින් එය සවිබලගන්වනු ලබන නිසා Samsung සමාගමේ AR emoji ද වඩාත් හොඳින් ක්‍රියාකරනු ඇති.

8nm කියන්නේ පසුබෑමක් නොවෙයි ද?

ප්‍රොසෙසරයේ දෙපස (news.samsung.com)

Kirin 980 වැනි Huawei ප්‍රොසෙසර 7nm වෙද්දී Samsung සමාගම 8nm ගෙන ඒම ලැජ්ජාවට කාරණයක් ලෙස සිතෙනවා. නමුත්, සැම්සන්ග් සමාගමේ ම 8nm LPP FinFET නමැති process node මත එය පාදක වෙමින් එම අඩුපාඩුව වසා ගන්නවා.

මෙම process node කුඩා වන තරමට ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. බැටරි බල භාවිතය අවම වෙනවා. එවිට කාර්යක්ෂමතාව උපරිම අගයකට පැමිණෙනවා. කුඩා ට්‍රාන්සිස්ටර සක්‍රීය හෝ අක්‍රීය වීමේ දී පාවිච්චි කරන්නේ අඩු බලයක්. එසේ ම, ට්‍රාන්සිස්ටරයක හැකියාව මනින්නේ එයට කෙතරම් වේගයෙන් on හෝ off වෙන්නට හැකි ද යන්න මත යි. එනිසා බොහෝ නිෂ්පාදකයන් තමන්ගේ ප්‍රොසෙසරවල ට්‍රාන්සිස්ටර් කුඩා කිරීමට පෙළඹෙන නමුත් ඒ සඳහා වැඩි වියදමක් අවශ්‍ය වෙනවා. එවිට ඒවා ඉහළ මිළ දුරකථනවල පමණයි යොදන්නට සිදුවන්නේ.

Qualcommහි Snapdragon සහ Samsungහි Exynos

Samsungවලට ඇමරිකාවේ Exynos විකුණන්නට බැහැ (samsung.com)

සැම්සන්ග් සමාගම තමන්ගේ Exynos ප්‍රොසෙසරය තිබුණත්, ඇමරිකාවට ලබාදෙන්නේ Qualcomm ප්‍රොසෙසර සහිත දුරකථන යි. එයට හේතුව වන්නේ Qualcomm සතු බලපත්‍ර කොන්දේසි නිසා Samsung සමාගමට තමන්ගේ ප්‍රොසෙසරය වෙනත් දුරකථනයක් හරහා හෝ එහි අලෙවි කිරීමට බාධාවන් පැන වී තිබීම යි. එනිසා ඔවුන් Exynos ප්‍රොසෙසර සහිත උපාංග විකුණන්නේ ලංකාව ඇතුළු දකුණු ආසියාවට මෙන්ම යුරෝපයට යි.

Qualcomm මඟින් ද නව ප්‍රොසෙසරයක් හඳුන්වා දෙන්නට නියමිත යි. එය Snapdragon 8150 වනු ඇති. එය ද කොටස් තුනකින් යුත් 7nm ප්‍රොසෙසරයක් වීමට නියමිත අතර AI හැකියාවන්ගෙන් ද එය 22,082ක benchmark අගයක් දරමින් ඉදිරියෙන් සිටිනවා.

නව ප්‍රොසෙසරය ඉහළ Gaming සමග කැමරා 5කට ලැහැස්තියි

Nokia 10 සඳහා ද කැමරා 5ක් එන බවට කටකතා තිබෙනවා. (vox-cdn.com)

නව ප්‍රොසෙසරයේ අඩංගු Mali-G76 MP12 GPU එක නිසා පෙරට වඩා දෙගුණයක හැකියාවන් ඇති ව ග්‍රැෆික්ස් කටයුතු කරන්නට සවිබල දරනවා. වඩාත් සංකීර්ණ පරිගණක ක්‍රීඩා ඉතා පහසුවෙන් එමඟින් දෝතට ගෙන එනු ඇති. පෙර 9810 ප්‍රොසෙසරයට වඩා මෙහි ඇති නව GPU එක හැකියාවන්ගෙන් 40%ක් ඉහළ යි. බැටරි භාවිතය 35%කින් අවම කරගෙන තිබෙනවා. එනිසා පෙරට වඩා gaming හැකියාවන් එය උපාංගවලට ලබා දෙනවා.

Exynos 9820 ප්‍රොසෙසරය 30fps අගයකින් යුතු 8K ප්‍රමාණයේ වීඩියෝ රෙකෝඩ් කිරීමේ උසස් හැකියාවක් දරනවා. එනිසා එම සහාය දුරකථනයක අඩංගු කරනවා නම් ඒ සඳහා අඩු තරමේ 33MP කැමරාවක්වත් තිබිය යුතු යි. තව දෙයක්; මේ ප්‍රොසෙසරය කැමරා පහකට සහාය දක්වනවා. එහෙනම් මේ දත්තයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදලා කම්බයින් කළා ම අපිට S10 දුරකථනයේ කැමරාවන් ගැන දළ අදහසක් ගන්නට පුළුවන්. කැමරා ප්‍රමාණය වැඩිවීම විකාරරූපී වුවත්, Galaxy A9 (2018) දුරකථනයේ කැමරා 4ක් ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව ඇතුළත් කර තිබුණා. එය ලබන වසරේ 5ක් බවට පත්වේවි ද?

 

කවරය: gizmochina.com

Related Articles