ගූග්ල් සමාගම සතු පුළුල් නිෂ්පාදන සංඛ්‍යාව නිසා නිතැතින්ම ඕනෑම කෙනෙක් ගූග්ල් ගිණුමක් සකසාගෙන ඒවායේ පහසුකම් භුක්ති විඳිනු ලබනවා. ඊමේල් බැලීමට ජීමේල්, බ්ලොග් එකක් ලියනවා නම් බ්ලොගර්, වීඩියෝ බලනවා නම් යූටියුබ්, ගමනක් යනවා නම් ගූග්ල් මැප්ස් පමණක් නොව, පරිගණකයෙන් අන්තර්ජාලයට පිවිසීමේදී ක්‍රෝම් මෙන්ම දුරකතනය අතට ගත්තාම එහි මෙහෙයුම් පද්ධතිය වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් තිබෙනවා. ඒ කියන්නේ අපේ මුළු ජීවිතයේ සෑම අවශ්‍යතාවයක්ම නොමිලේ ලබා දෙමින් අපිව ඇද බැඳ තබා ගන්නට ගූග්ල් හෙවත් දැන්, ඇල්ෆබට් සමාගම මේ වන විටත් සමර්ථ වී හමාරයි. ඉතින් ඔබට මේ සම්බන්ධව ඇතිවූ භීතිකාවක් හෝ ඔබ වැරදීමකින් තනන ලද ගිණුමක් හෝ භාවිත කොට අවසන්ව ඉවත් කිරීමට සැරසෙන ගූග්ල් ගිණුමක් මකා දැමීමට අවශ්‍යව ඇත්නම් මේ ලිපිය ඊට උපකාර වේවි.

ගූග්ල් සමාගමට බිය විය යුතුද?

jayshable.com

ඔබට ලැබෙන ඊමේල් එකේ සිට, යන එන තැන්, බලන වීඩියෝ, සොයන සෙවුම්, පිවිසෙන වෙබ් අඩවි, ලිපි ගොනුවල අඩංගු කරන දේවල්, Keep වැනි සේවාවන් හරහා තබා ගන්නා මතක සටහන්, දුරකතනයේ භාවිත කරන ඇප්ස් ආදී සෑම දෙයක්ම ගූග්ල් සමාගම දන්නවා. WhatsApp වල End-to-End ආකේතනය ලබා දෙනු ලැබූවද ගූග්ල් සමාගම එවන් කතාවක් නොකියන්නේ ඔවුන්ට ඍජුවම අපගේ දත්ත බලාගත හැකි නිසා ඒවා හරහා අපට අංචියක් ඇදීමට යැයි ඕනෑවට වඩා සිතීමෙන් අනිසි බියක් ඇති කර ගැනීම ඉතා පහසුවෙන්ම කරගත හැකි දෙයක්.

ව්‍යාපාරයක ඇසින් බැලුවාම, ඒ කියන්නේ ගොරකා අස්සට රබර් දාන, මිරිස් කුඩු වලට ගඩොල් කුඩු දාන පහත් ව්‍යාපාරකරණයෙන් නොව, දිගු කාලීන දැක්මක් ඇති හොඳ ව්‍යාපාර ඥාණයකින් යුත් සාර්ථක ආයතනයකට තම පාරිභෝගිකයන්ගේ දත්ත ලබාගෙන ඒවායෙන් අප චිත්‍රපටවල දකින ගේම් ගැසීමට අවශ්‍ය වන්නේ නැහැ. එසේ කිරීමෙන් සිදු වන්නේ චීනය මෙන් එම සමාගම ඉවතලා තමන්ගේම සේවාවන් පමණක් භාවිත කරන ලෝකයක් බිහිවීම පමණයි. මන්ද, ගූග්ල් සමාගම කියන්නේ තාක්ෂණික දැවැන්තයෙක් වූවත් අන්තර්ජාලයේ සිය දහස් ගණනක් වූ සේවාවන්ගෙන් තවත් එක් සේවාවක් පමණයි. දිනෙක ගූග්ල් සමාගමේ AI රොබෝවරයෙකු වැරදීමකින් හෝ එවන් අමනෝඥ යමක් කළහොත් ක්ෂණිකව ජීමේල් ඉවතලා අවුට්ලුක් හෝ යාහූ මේල්, බ්ලොගර් ඉවතලා වර්ඩ්ප්‍රෙස්, ඩ්‍රයිව් ඉවතලා ඩ්‍රොප් බොක්ස් සහ තවත් හොඳ සේවා, වැනි විකල්ප වෙත ක්ෂණයකින් මාරු වෙන්නට පුළුවන්. අනෙක, එවන් තත්ත්වයක් ඇති වුවහොත් ඉන් වාසි ගන්නට බලාගෙන නව විවෘත කේත සහ නිදහස් සේවාවන් බිහි කරවන අය සිටින්නට ද පුළුවන්. ඒ නිසා කිසි දිනෙක අප ගූග්ල් සමාගමට ම ගැලී සිටිය යුතුයැයි දේව වාක්‍යයක් කොහිවත් නැහැ.

Google සමාගම තම සෙවුම් වාර්තාගත කළත් Duckduckgo සෙවුම් යන්ත්‍රය එසේ කරන්නේ නැහැ (vpnmentor.com)

අපට නොමිලේ සේවාව සැපයීම හරහා ගූග්ල් සමාගම බලාපොරොත්තු වන එකම දේ අපේ අවශ්‍යතාවයන්, රුචිකත්වයන් හඳුනාගෙන ඊට අදාලව වෙළඳ දැන්වීම් පළ කරන්නන්ට වැඩි වාසි සලසා දීමයි. ඒ අනුව වැඩකට නැති කරදරකාරී දැන්වීම් වෙනුවට අප කැමති දේවල් ගැන වෙළඳ දැන්වීම් නිතර දකින්නට ලැබෙන අතර ඒවා පළ කරන අයට ද වැඩිපුර ඒවාට ප්‍රතිචාර දැක්වීම් ලැබෙනවා. ගූග්ල් මැප්ස් හරහා වුවත් ගූග්ල් සමාගම අප රැඳෙන ස්ථාන භාවිත කරන්නේ ට්‍රැෆික් දත්ත ලබා ගැනීමට, වෙළඳ ස්ථානවල දත්ත ලබා ගැනීමට සහ අපට ඒවාට යාමට Uber වැනි සේවාවන් සමඟ එක්ව ඔවුන් සොච්චමක් සොයා ගැනීමටයි. ඒ අනුව බලන කල ව්‍යාපාර සහ අපව එක් කරන තවත් ව්‍යාපාරයක් පමණයි ගූග්ල් සේවාවක් කියන්නේ. අප විසින් සේවාව භාවිත කරනවාට ගෙවන මුදල ගූග්ල් සමාගම සොයා ගන්නේ ද අනෙකුත් ඔවුන් හා අත්වැල් බැඳගත් ව්‍යාපාරයකින්.

අහිමිවන දේවල්

longwallpapers.com

පෙරකී පරිදි අප නිරන්තරයෙන් භාවිත කරන සෑම දෙයක්ම ගූග්ල් ගිණුම සමඟ බැඳී පවතිනවා. මූලික වශයෙන්ම ඊමේල් ලිපිනය හරහා පැමිණි සියළු ඊ ලිපි, යූටියුබ්හි නරඹන ලද වීඩියෝවල ඉතිහාසය, ඔබ පසුව බැලීමට සේව් කරගන්නා ලද වීඩියෝ, ඔබ ගූග්ල් ප්ලස් සේවාව භාවිත කරනවා නම් එහි ඔබ උඩුගත කළ ඡායාරූප වීඩියෝ, සහ පළ කරන ලද දේවල්, ගූග්ල් ෆොටෝස් වෙත නොමිලේ storage වැය නොවී උඩුගත කර තිබූ ඡායාරූප සහ වීඩියෝ, ගූග්ල් ඩ්‍රයිව් මත සකසා තිබුණු ලේඛන පැතුරුම්පත් ආදී සියළුම ලිපි ගොනු, ඔබ සතුව පැවති බ්ලොග් අඩවි, දුරකතනයේ සෙටිංස් බැකප් කිරීමට සහ මූලික වශයෙන්ම දුරකතනය භාවිත කිරීමට අවශ්‍ය ගූග්ල් ගිණුම යනු මෙසේ ගිණුම මකා දැමීම හරහා අහිමි වන දේවල් වලින් කිහිපයක් පමණයි. ඔබ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට යොදා ඇති ගූග්ල් ගිණුම මකා දමන්නට සැරසෙනවා නම් දුරකතනයේ භාවිතය සඳහා වෙනත් ගිණුමක් ප්‍රථමයෙන් ම සකසා ගෙන සිටීම වැදගත් වේවි. මන්ද, බොහෝ දුරකතන සමාගම් ආරක්ෂාව පිණිස ඊමේල් ගිණුමක් නොමැතිව දුරකතනය භාවිතයට ඉඩ නොදෙන නිසා ඔබට කෙටි කාලයකට හෝ දුරකතනය භාවිත කරන්නට නොහැකි තත්ත්වයකට පැමිණෙන නිසා ඒ ගැනත් කල්පනාකාරී විය යුතුයි.

සේවාවක් හෝ මුළු ගිණුම ම ඉවත් කරන හැටි

Thambaru/Roar

ගූග්ල් ගිණුමක් සම්පූර්ණයෙන්ම මකා දැමීම ගිණුම සකසනවා තරම්ම පහසුවෙන් කරගන්නට පුළුවන්. නමුත් ඔබට අවශ්‍ය ගූග්ල් ගිණුමේ එක් කොටසක් පමණක් ඉවත් කරන්නට නම් එය ද සිදු කරගන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔබට අවශ්‍ය ජීමේල් ගිණුම මකා දමා යූටියුබ් භාවිත කරන්නට අවශ්‍ය නම් ජීමේල් සේවාව පමණක් මකා දැමීමට පුළුවන්. එහෙමත් නැත්නම් සියල්ලම එකවර මකා දමමින් මුළු ගිණුමේම දත්ත ඉවත් කළ හැකි අතර ඒවා කිසිදු ලෙසකින්වත් ලබා ගැනීමට හැකිවන්නේ නැහැ.

  • ප්‍රථමයෙන් myaccount.google.com වෙත පිවිසෙන්න.
  • ඔබ දැනටමත් මැකීමට අවශ්‍ය Google ගිණුමට පිවිස නැත්නම් මුරපදය ද ලබාදී ලොග් වෙන්න.
  • දැන් ලැබෙන පිටුවේ ඇති Account Preferences යටතේ ඇති Delete your account or services යන්න තෝරන්න.
  • මෙහිදී අපට තෝරාගැනීමට කරන්නට පුළුවන්. ඔබට එක් සේවාවක් පමණක් මැකීමට අවශ්‍ය නම් Delete Products වෙතත්, සියළුම දත්ත මැකිය යුතු නම් Delete Google Account and data වෙතත් පිවිසෙන්න.
  • එවිට ඔබට නැවත username සහ password ලබා දෙන ලෙස විමසනවා.
  • ඔබ සම්පූර්ණයෙන්ම මකා දමනවා නම් ආරක්ෂණ හේතූන් මත ප්‍රථමයෙන් ඔබට ඒ පිළිබඳව දැනුම් දෙන ඊමේල් එකකුයි ඔවුන් එවන්නේ.
  • දැන් ජීමේල් වෙත ගොස් ඔවුන් එවූ ඊමේල් එකේ ඇති ලින්ක් එක ක්ලික් කිරීමෙන් ඔබට ගිණුම මකා දමන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය: Google