Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

YouTube වීඩියෝ හරහා අනුග්‍රාහක දැන්වීම් පෙන්විය හැකි ක්‍රම

පෙර දශකයේ බ්ලොග් ලිවීම හරහා ආදායම් ඉපැයීම උච්චතම අවස්ථාවකට පිවිසුණත් දැන් වීඩියෝ හෙවත් ව්ලොගින් (Vlogging) හරහා මුදල් ඉපැයීම යි නූතන රැල්ල. අන්තර්ජාලය හරහා මුදල් උපයන්නට ක්‍රම කියන බව පවසමින් ඊට වහල්ව එන අයගෙන් තමා මුදල් උපයා ගන්නා ආකාරයේ තුච්ඡ සංස්කෘතියක් බිහිවීම නිසා බොහෝ දෙනෙක් මේ දේවල් වලට යොමුවීමට පසුබට වෙනවා. නමුත් තමන්ගේම YouTube චැනල් එකක් පටන් ගෙන එය වැඩිවර්ධනය කරගන්නට මඟක් සොයමින් සිටින ධෛර්යවත් කෙනෙක්ට මේ ලිපිය බොහොම වැදගත් වේවි.

YouTube මත AdSense දැන්වීම් – හොඳම ක්‍රමය නොවෙයි

දැන්වීම් ප්‍රචාරකයෙකුට YouTube දැන්වීම් පළ කළ හැකි ස්ථාන. වීඩියෝ මත, සෙවුම් ප්‍රතිඵල පිටුවේ සහ අන්තර්ගතය තුළ. (mobyaffiliates.com)

ගූග්ල් සමාගමේම සේවාවක් වන AdSense දැන්වීම් හා මුදල් ඉපයීම වැඩි දෙනෙක් භාවිත කරන ක්‍රමවේදයක්. මෙහි දී සිදුවන්නේ වීඩියෝව ඇරඹීමට ප්‍රථමයෙන් හෝ දිගු වීඩියෝ අතරතුර YouTube හරහාම අපේ වීඩියෝ එක මත දැන්වීමක් බලෙන් පෙන්වා ඉන් ලැබෙන ලාභයෙන් කොටසක් අපට ද ලබා දීම යි. මෙම ආකාරයේ දැන්වීම් බලෙන්ම පෙන්වන නිසා අපේ ප්‍රේක්ෂකයන්ට එය බාධාවක් වනවා මෙන්ම ඔවුන් සම්පූර්ණ දැන්වීමම (අවම වශයෙන් Skip බොත්තම එන තෙක්) නරඹන බව, Ad block කරන උපක්‍රම පාවිච්චි කරන බව ආදිය හරහා අපට මෙම ක්‍රමයෙන් ආදායමක් ලැබීම එතරම් විශ්වාසය තැබිය හැකි දෙයක් නොවන බවට පත් කරවනවා.

මෙම ක්‍රමය වඩාත් සුදුසු වන්නේ නිළියන්ගේ වල්පල් පෙන්වා බොරුවට හදන වීඩියෝ වලට යි. ඒවා බලන පිරිස වෙළඳ දැන්වීම් දහසක් තිබුණත් තමන්ගේ හැඟීම් සංසිඳුවා ගැනීමට වීඩියෝව නරඹනවා. අවසානයේ පුස්සක් වුවත් වීඩියෝ පළ කරන අයට නම් දැන්වීම් ප්‍රචාරණයෙන් වාසි ලැබනෙවා. නමුත් ප්‍රථම වරට මෙම දැන්වීම් පළකිරීමට සුදුසුකම් ලබන්නට නම් අතීතයේ චැනල් එකට සම්පූර්ණ views 10,000ක් තිබිය යුතු වුණා. නමුත් දැන් එය තවත් අපහසු කරමින් 2018 ජනවාරියේ සිට, මාස 12ක් ඇතුලත පැය 4000ක ප්‍රේක්ෂක නැරඹුම් කාලයක් තිබීම සහ subscriber සංඛ්‍යාව 1000ක්ව තිබීම අත්‍යාවශ්‍ය බව දන්වා තිබෙනවා.

නමුත්, නිවැරදිව Vlog කරන්නේ කොහොමද? යන ලිපියෙන් අප ගෙන ආ පරිද්දෙන් ඔබ දැනුම බෙදාදීම වැනි වැදගත් දෙයක් කරගෙන යන අතරතුර, මුදල් ඉපැයීම ම අරමුණු කර නොගෙන මහන්සිය පියවා ගන්නට අමතර ආදායමක් උපයන්නට අදහස් කරනවා නම් පහත තිබෙන උසස් මට්ටමේ ක්‍රමවේද භාවිත කිරීමෙන් ඔබට වැඩි විශ්වාසවන්ත බවක් අනුග්‍රාහකයන් සහ ප්‍රේක්ෂකයන් යන දෙපාර්ශවයෙන්ම ලබා ගන්නට හැකි වෙනවා.

අනුග්‍රාහක නිෂ්පාදන නිදැල්ලේ පෙනෙන්නට සැලැස්වීම

2016දී තිරයගතවූ Hush චිත්‍රපටයේ ඇපල් නිෂ්පාදනයක් පෙන්වා ඇති ආකාරය (zisiemporium.blogspot.com)

වීඩියෝව අනුග්‍රාහක නිෂ්පාදනයක් පෙන්වීම සඳහාම නොකළත්, වෙනත් යමක් පිළිබඳව ඔබ ඉදිරිපත් කිරීම කරද්දී ඊට නොගැලපෙන ම ආකාරයේ නිෂ්පාදන අයිතමයක් ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔබේ ඉදිරිපත් කිරීම “කෘත්‍රීම චන්ද්‍රිකාවක් ක්‍රියා කරන්නේ කෙසේද?” නම්, ඒ හරහා දුරකථනයට GPS සංඥා එන බව කියමින් දුරකථනය අතට ගෙන, විවිධ අතට පෙන්වමින් එය වෙළඳ භාණ්ඩයක් ලෙස පෙන්වා දෙන්නට කතාව අතරතුරේම පුළුවන්.

අතීත චිත්‍රපට වලදීත් මේ ක්‍රමය පාවිච්චි වුණා. කාර්යාල හමුවීමක් පෙන්වද්දී, හැක් කරන අවස්ථාවක් පෙන්වද්දී ඇපල් පරිගණකයක් ලඟ තබාගෙන සිටින ආකාරය පෙන්වූවා. වීර චරිත විසින් ඇපල් දුරකථන පාවිච්චි කරන බවට මනසට කාවැද්දුවා. මේ නිසාමයි ඉහළ මිල හැරුණු කොට ඇපල් දුරකථන පාවිච්චි කිරීම උසස් කමක් ලෙස අපේ සිතට දැනෙන්නේ. ප්‍රවෘත්ති කියන අතරතුරේ දී මේසය මත අනුග්‍රාහක නමක් යෙදූ මග් එකක් තියන්නේත් මේ ක්‍රමවේදයටම යි.

නිෂ්පාදන හෝ සේවා නොදැනෙන්න හඳුන්වාදීම

හෝටලයක අවට පරිසරය ගැන මාතෘකාවකින් වීඩියෝවක් කරමින් ඊට ආකර්ෂණයක් ලබා දෙන්නට පුළුවන් (ytimg.com)

කෙටි කාලයක් සඳහා නිෂ්පාදනයක් ලබාගෙන එය අත්හදා බලා ඒ ගැන review කිරීම හරහා නිෂ්පාදන ආයතනයෙන් මුදලක් ලබා ගන්නට පුළුවන්. මෙය තාක්ෂණය සම්බන්ධව phone review කිරීම වැනි දෙයක් ලෙස බහුලව දකින්නට ලැබුණත්, එය බොහෝ ඉසව් කරා විහිදී යනවා. විවිධ ඇඳුම් කඩවලින් ඇඳුම් අරගෙන ඒවා හඳිමින් ගුණ අගුණ පෙන්වාදීම්, විවිධ ප්‍රදේශවල කෑම කඩවල විවිධ විශේෂ මෙනු අයිතම අත්හදා බැලීම්, ෆොටෝ සේවා සපයන ආයතනවල සේවා ගුණාත්මක බව වැනි දේවල් travel ව්ලොග් කරන කෙනෙක්ට පහසුවෙන් අමතර කරුණු වශයෙන් දක්වමින් ආදායමක් ලැබීමට ද පාවිච්චි කරන්නට පුළුවන්.

ඍජුවම වෙළඳ භාණ්ඩයක් ගැන කියනවාට වඩා වෙනත් වැදගත් යමක් කියන අතරතුර එවැන්නක් සඳහා විනාඩි දෙක තුනක් යොදා ගැනීමෙන් ප්‍රේක්ෂකයා වෙහෙසට පත් වන්නේ ද නැති අතර සාර්ථකව භාණ්ඩය හෝ සේවාව හඳුන්වාදීමට ද හැකි වෙනවා.

ලින්ක් ලබාදීම

tmimgcdn.com

කිසියම් කර්තව්‍යයක් පිළිබඳව හඳුන්වා දෙමින් එය කරගන්නට නම් පහත ලබා දී ඇති ලින්ක් එකට පිවිසෙන්නට යැයි කියා ඒ වෙනුවෙන් ආදායමක් ලබා ගන්නට පුළුවන්. මෙහිදී අනුග්‍රාහකයකුගෙන් ඍජුව ඔබට සම්බන්ධතාවක් අවශ්‍ය වන්නේ නැහැ. ඇතැම් අන්තර්ජාල වෙළඳසල් මගින් referrer link ලබා දෙන නිසා එය හරහා කෙනෙක් පිවිසුණු විට ඔවුන් මිලදී ගන්නා භාණ්ඩ සඳහා පාරිභෝගිකයාට වට්ටමක් මෙන්ම ඔබේ ලින්ක් එකෙන් පිවිසුණු නිසා ඔබටත් ඉන් ලාභයක් ලබා දෙන්නට කටයුතු කරනවා. එවන් දෑ භාවිත කරමින් වීඩියෝවට ඔබ යොදාගත් දෙය මිලදී ගන්නට ප්‍රේක්ෂකයාව පොළඹවන්නට පුළුවන්.

උදාහරණයක් ලෙස, “මුළුතැන්ගෙය පහසුවෙන් පවිත්‍ර කරගන්නේ මෙහෙමයි” වීඩියෝවකින් එය පිරිසිදු කිරීමට අවශ්‍ය සෝදන ද්‍රව්‍ය, ස්පොන්ජ් වැනි විවිධ දේවල් මිලදී ගැනීමට හැකි ලින්ක් එකක් ලබා දෙන්නට පුළුවන්. එවිට එය ඍජු වෙළඳ ප්‍රචාරණයක් නොවනවා මෙන්ම ඒවා නිවසටම ගෙන්වා ගැනීමට ප්‍රේක්ෂකයාටත් පහසුවක් වෙනවා.

ටී ෂර්ට් වැනි දෑ අලෙවි කිරීම

shopify.com

වැඩිය දකින්නට නොමැති ආකාරයේ design තිබෙන ටී ෂර්ට් අඳින්නට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. එසේම තමා කැමතිම විෂයයට සම්බන්ධ ඒවා අඳින්නටත් වැඩි දෙනෙක් කැමතියි. තාක්ෂණික වීඩියෝ කරන චැනල් එකක් හරහා විවිධ කේත, quotes වැනි දෑ මුද්‍රණය කළ ටී ෂර්ට්, මග්, තොප්පි ආදිය විකුණා ඉන් ආදායමක් ලබා ගන්නට පුළුවන්. මෙය හරහා ඔබට අතට මුදලක් මෙන්ම චැනල් එකට නොමිලේම වෙළඳ ප්‍රචාරණයක් ලබා ගන්නත් පුළුවන්. මුලදී එක්වරම කිසිවෙකුත් ඔබේ ටී ෂර්ට් මිලදී ගන්න එකක් නැහැ. එනමුත් යම් මට්ටමක ප්‍රසිද්ධියකට පැමිණීමෙන් පසු තරගයක් පවත්වා නොමිලේ ටී ෂර්ට් තුන-හතරක් ලබාදී ඒවා ලබාගැනීමට අපහසු ඒවා බව ඒත්තු ගැන්විය යුතුයි. ඉන් අනතුරුව සීමිත ප්‍රමාණයක් පමණක් ඇති බව පෙන්වා දී අලෙවිය අරඹන්නට පුළුවන්.

පරිත්‍යාග මත යැපීම

wildapricot.net

මුදල් ඉපයීම ඔබේ මූලික අරමුණ නොවන බව ප්‍රේක්ෂකයාට පැහැදිලි වූ පසු වීඩියෝව කිරීම සඳහා මුදලක් වැය වන බව පෙන්වා දිය යුතු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණ කර පෙන්වන කෙනෙක් නම් එම රසායනික ද්‍රව්‍ය මිල දී ගැනීමට, අවශ්‍ය උපකරණ මිල දී ගැනීමට මුදල් වැය වෙනවා. මේ නිසා ඊළඟ වීඩියෝවේ දී මෙවන් ආකාරයේ විශේෂ පර්යේෂණයක් කිරීමට මුදල් පරිත්‍යාග කරන්නැයි නොබියව ඉල්ලා සිටින්නට පුළුවන්. එවිට ඔබට මෙතෙක් කරගෙන ආ ලෙස අතින් වියදම් කරගෙන වීඩියෝ තනන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඔබට පරිත්‍යාග හරහා ලැබෙන මුදල් විවෘතව පෙන්වා දී ඒවායේ අතිරික්තයෙන් දානමය කටයුත්තක් හෝ තවත් අතිරේක අත්හදාබැලීමක් වැනි ප්‍රේක්ෂකයාගේ විශ්වාසය රඳවා ගන්නා ආකාරයේ යමක් කරන්නට පුළුවන් නම් එය වඩාත් සිත්ගන්නා සුළු වෙනවා.

ආ! තව දෙයක්. Roar සිංහලත් දැන් YouTube එකේ ඉන්නවා!

කවරයේ ඡායාරූපය: yugtechnology.com

Related Articles