Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෛවමිතික දත්ත අනිසි භාවිතය පිළිබඳව Facebook සමාගමට චෝදනා!

Facebook සමාගම පසුගිය කාලය පුරාවටම විටින් විට විවිධ නඩු හබවලට පැටලුණු හැටි ඔබට මතක ඇති. පසුගිය දිනෙක ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියන 550ක වන්දි මුදලක් ගෙවන්නට එකඟවන්න සිදුවුණා. ඒ, කාලයක් තිස්සේ අධිකරණයේ විභාග වෙමින් පැවති class-action lawsuit (සාර්ව නියෝජන අධිකරණ ක්‍රියාමාර්ගය) එකක් සමථයකට පත් කරගැනීම සඳහා යි. 2015 වසරේ සිට විභාග වෙමින් පවතින මේ නඩුව සඳහා ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවුණේ, ඔබත් මමත් නිතර දෙවේලේ දකින facebook පහසුකමක් නිසාවෙන්ම යි. සාමාන්‍යයෙන් ඔබ පිරිසක් සමග හෝ තව පුද්ගලයෙක් සමග facebook වෙත upload කරන ඡායාරූපයක් වෙත බොහෝ විට ඔවුන්ව ඉබේම tag වෙනවා ඔබ දැකලා ඇති. ඔබට එය වටිනා පහසුකමක් වුණත්, එහි භයානක පැත්තක් තිබෙන බව ඔබට මොහොතකට හෝ සිතුණා ද? ඔබේ අවසරයකින් තොරව ඔබේ මුහුණේ අංගයන් පිළිබඳව scan කර දත්ත වාර්තාවක් ඔවුන් ළඟ ඉතිරි වන බව ඔබට සිතුණා ද? (biometric data) මේ නඩුවට මුලික වෙන්නේ ඒ කාරණය යි. මෙලෙස යම් අයෙකුගේ අවසරයකින් තොරව ජෛවමිතික දත්ත ගබඩා කරගැනීම ඔස්සේ Biometric Information Privacy Act  උල්ලංඝනය වීම සිදුවෙනවා. මේ පනත මඟින් යම් ව්‍යාපාර ආයතනයක්, යම් පුද්ගලයෙකුගේ හෝ කොටසකගේ ජෛවමිතික දත්ත අවසරයකින් තොරව ගබඩා කරගැනීම වළක්වාලනවා. ඔවුන්ට එසේ ගබඩා කර තබා ගැනීමට අවශ්‍ය නම්, අදාළ පුද්ගලයාගේ අවසරය අත්‍යවශ්‍ය වෙනවා. 

2018 වසර වන විටත් මේ නඩුව විභාග වී අවසානව තිබුණේ නම් නැහැ. නමුත්, ඒ වර්ෂයේ දී facebook සමාගම facial recognition වෙත පරිශීලකයන්ගේ අවධානය යම් තරමක් දුරට යොමු කරවන්නට සමත් වුණා. ඔවුන් විනිවිදභාවයකින් යුතුව තමන්ගේ ආයතනය ඔස්සේ facial recognition භාවිත කරන ආකාර සහ ඒ ඔස්සේ පරිශීලකයන් වෙත හිමි වන පහසුකම් පිළිබඳව විවෘතව සඳහන් කළා. ඊටත් අමතරව පරිශීලකයාට කැමති නම් මේ පහසුකම නවතා දමන්නටත් option එකක් ලබාදුන්නා. 2019 වසර වන විට facial recognitionව පරිශීලකයාට අවැසි නම් පමණක් සක්‍රීය කරගැනීමට ඔවුන් පහසුකම් සැලසුවා. ඒ අනුව තවදුරටත් පෙරනිමි සැකසුමක් ලෙස (default settings) ඔවුන් මේ පහසුකම නව පරිශීලකයන් වෙත ලබා දෙන්නේ නැහැ. 

යම් අයෙකුගේ අවසරයකින් තොරව ජෛවමිතික දත්ත ගබඩා කරගැනීම වරදක්- arstechnica.com

කොහොම වුණත්, මේ සිදුවීම මෙතරම් දුර රැගෙන ආ යුතු එකක් නොවන බව තමයි තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙකුගේ මත ය. 2019 වසරේ අග භාගයේ දී facebook සමාගම සිදුකළ ඉල්ලීම් සියල්ල අධිකරණයේ දී ප්‍රතික්ෂේප වීමත් සමගම, මේ නඩුව අවසන් කිරීමට තිබූ බව තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. 2019 වසරේ අගෝස්තුව අවසානයේ පැවති නඩු විභාගයේ දී facebook සමාගම සිදුකළ ෆෙඩරල් අභියාචනයන් 3-0 ලෙස ප්‍රතික්ෂේප වුණා.  

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව මේ ඇමරිකානු ඩොලර් මිලියන 550 අතරට සමස්ත නඩුවේ නීති ගාස්තු පවා ඇතුළත් වෙනවා. ඒ වගේම මෙයින් ඉතිරි කොටස සුදුසු පරිශීලකයන් වෙත යොමු වේවි. මේ ඇමරිකානු ඩොලර් මිලියන 550 විශාල මුදලක් ලෙස ඔබට දැනුණත්, එය facebook සමාගමට එතරම් දැනෙන මුදලක් නොවන බව තමයි theverge.com වෙබ් අඩවිය සඳහන් කරන්නේ. පසුගිය වසරේ, එනම් 2019 වසරේ හතරවන කාර්තුව වෙද්දී ඔවුන්ගේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 21ක්. Biometric Information Privacy Act එක නිසාවෙන් සමාගම් වෙත නඩු පැවරුණු පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ද ලෝකයේ අතිශය කතාබහට ලක් වූ Google සමාගම වෙත පැවරුණු නඩුව ඔබට මතක ඇති. 2016 google වෙත ජෛවමිතික දත්ත අනිසි භාවිතය පිළිබඳව නඩු පවරෙන්නට හේතු වුයේ පරිශීලකයන්ගේ ඡායාරූප අනිසි ලෙස උඩුගත කරමින්, ඔවුන්ගේ මුහුණුවල දත්තවලින් කෘතීම බුද්ධිමය වැඩසටහන් පුහුණු කිරීම යන චෝදනාව යටතේ යි. කොහොම නමුත්, මේ නඩුව 2018 වසරේ නිෂ්ප්‍රභා කිරීමට ඇමරිකානු අධිකරණය තීරණය කළා. ඒ පැමිණිලි කරුට සෘජුව හානියක් සිදුවන ලෙස කිසිවක් සිදුව නැති බව පවසමිනුයි. මීට අමතරව වරක් Snapchat වෙතත් මෙවැනි ජෛවමිතික දත්ත අනිසි භාවිතය පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන බව arstechnica.com වෙබ් අඩවියත් සඳහන් කර තිබුණා. නමුත්, ඒ නඩුවත් පසුකාලීනව සමථයකට පත් කරගන්නට පැමිණිලි පාර්ශවයට සහ සමාගමට හැකි වූ බව තමයි දැනගන්නට ලැබෙන්නේ. 

කවර හෝ සමාජ ජාලයකට වඩ වඩාත් ඡායාරූප ඇතුළත් කිරීම අද වෙද්දී අතිශය භයානක දෙයක් බවට පත්ව තිබෙන බව ඔබ දන්නවා ද? ඒ පිළිබඳව අපි පසුගිය නව දශකය සහ Deep Fake භීතිකාව යන ලිපිය ඔස්සේ කතාබහ කළා. ඒ ලිපියත් ඔබ කියවිය යුතුම ලිපියක් ලෙසට අපි යෝජනා කරනවා. මේ ලිපිය ගැනත් ඔබේ අදහස් comment කරන්න අමතක කරන්න එපා!

Related Articles