Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොළොම්බියාවේ කොකේන් රැජිණ- ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ

දකුණු ඇමරිකානු මහද්වීපයේ පිහිටි කොළොම්බියාව පසුගිය දශක කිහිපය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිසා විනාශයට පත්වුණු රටක්. ’70, ’80, සහ ’90 යන දශකවල පැබ්ලෝ එස්කොබාර් සහ මිගෙල් ඔරෙජුවාලා වැනි මහා පරිමාණයේ කොකේන් ජාවාරම්කරුවන් කොළොම්බියාවේ දේශපාලන බලය හැසිරවීම නිසා එරටේ සිදුවන අපරාධ විශාල වශයෙන් ප්‍රමාණයෙන් වර්ධනය වුණා. එකල කොළොම්බියාව තුළ පැබ්ලෝ එස්කොබාර්ට තිබුණු බලය නිසා ඔහු “කොළොම්බියාවේ කොකේන් රජා” ලෙසින් හැඳින්වුණා. 

එස්කොබාර්ට “කොකේන් රජා” යන අනවර්ථ නාමය පටබැඳෙද්දී, එරට සිටි එක්තරා කාන්තාවක් කොළොම්බියාවේ “කොකේන් රැජිණ” ලෙස ප්‍රකට වුණා. ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ නම් වුණු ඇය  කොකේන් ජාවාරම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ වූ අයෙක්. එනිසා ඇය ලෝකයේ ධනවත්ම අපරාධකාරියක් ලෙස දශකයක් පමණ වැජඹුණා. මෙතැන් සිට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝගේ අපූරු ජීවිත කතාව යි.  

පැබ්ලෝ එස්කොබාර් (Britannica)

ග්‍රිසෙල්ඩාගේ ජීවිතයේ මුල් අවධිය 

1943 පෙබරවාරි 15 වැනිදා කොළොම්බියාවේ උතුරු වෙරළේ කාටජිනාහි උපත ලැබූ ග්‍රිසෙල්ඩා කුඩාකල සිටම දුක්ඛිත ජීවිතයක් ගතකරන්නට සිදුවූ අයෙක්. ඇයගේ මව ගණිකාවක් වුණු අතර ග්‍රිසෙල්ඩා ඇයගේ පියා කවුදැ යි දැන සිටියේ නැහැ. එනිසා ඈ හැදී වැඩුණේ කිසිවෙකුගේ ආරක්ෂාවක් නොමැතිව යි. 

වයස අවුරුදු 3ක් පමණ වන විට ග්‍රිසෙල්ඩාට මෙඩලින් නුවර මුඩුක්කු පරිසරයක පදිංචියට යන්නට සිදුවුණා. මවගෙන් සිදුවුණු තාඩන පීඩන විඳ දරාගෙන ජීවත්වුණු ග්‍රිසෙල්ඩාට අවට පරිසරයෙන් ලැබුණේ යහපත් සිරිත් විරිත් නොවෙයි. කිසිවෙකුගේ රැකවරණයක් නැතිව ජීවත්වුණු ඇයට 9 හැවිරිදි වියේ දී නිවසින් පැනයන්නට සිදුවුණේ මවගේ පෙම්වතාගෙන් එල්ල වුණු ලිංගික අඩන්තේට්ටම්වලින් බේරීම සඳහා යි. 

මෙඩලින් නගරයේ මුඩුක්කු (Borgen Project)

මුල්ම රැකියාව 

වයස අවුරුදු 9 දී නිවසින් පැනගිය ග්‍රිසෙල්ඩා ඉබාගාතේ ඇවිදිමින් සිටිය දී එක්තරා පුද්ගලයෙකුට ඇය හමුවුණා. එම ආගන්තුක පුද්ගලයා කුඩා ග්‍රිසෙල්ඩාව ඔහුගේ නිවසට රැගෙන ගියා. වෘත්තියෙන් ගැට කපන්නෙකු වුණු ඔහු ග්‍රිසෙල්ඩාත් ඔවුන්ගේ කල්ලියට සම්බන්ධ කරගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ග්‍රිසෙල්ඩා 11 හැවිරිදි වියට පත්වන විට පළපුරුදු ගැට කපන්නියක බවට පත්ව සිටියා. නගරය තුළ ඇවිදිමින් වසර කිහිපයක් ගැට කපන්නියක ලෙසින් රැකියාව කළ ඇය එමඟින් ලැබුණු ආදායම ගැන සෑහීමකට පත්වුණේ නැහැ. 

ග්‍රිසෙල්ඩා 14 හැවිරිදි වියේ දී ගණිකා වෘත්තියට පිවිසුණා. එම රැකියාවෙන් සැලකිය යුතු ආදායමක් ලැබුණු නිසා ග්‍රිසෙල්ඩා තව තවත් මුදල් සෙවීමට උනන්දු වුණා. ඒ වන විට ලැජ්ජාව සහ බය යන දෙකම පිළිබඳව තැකීමක් නොකළ ග්‍රිසෙල්ඩා යහමින් මුදල් සෙවීම සඳහා ඕනෑම අභියෝගයක් භාරගැනීමට සූදානමින් සිටියා. ඇයව අපරාධ ලෝකයට තල්ලු වුණේත් පමණට වඩා මුදල් සෙවීමට යාම නිසා යි. 

ග්‍රිසෙල්ඩා නව යොවුන් අවධියේ දී (Biographon)

අපරාධ ලෝකයට පය තැබීම 

1963 වසරේ දී කාලෝස් ටෘජිලෝ නම් පුද්ගලයා සමගින් විවාහ දිවියට ඇතුළත් වුණු ග්‍රිසෙල්ඩා ඉන් පසුවත් සිය අසම්මත රැකියාව දිගටම කරගෙන ගියා. ඒ අතරතුර ග්‍රිසෙල්ඩාට සිය සැමියාට දාව දරුවන් තිදෙනෙකු ද ලැබුණා. දරුවන් ලැබීමෙන් පසුව පැරණි රැකියාව අතහැර දැමූ ඇය ඊට වඩා මුදල් සෙවිය හැකි මාර්ගයක් පිළිබඳව උනන්දු වුණා. 

දරුවන් තිදෙනා සමග කාලය ගෙවමින් සිටි ග්‍රිසෙල්ඩාට එක්තරා දිනයක සිය සැමියාගේ මිතුරෙකු හඳුනාගන්නට ලැබුණා. ඇල්බර්ටෝ බ්‍රාවෝ නමින් හැඳින්වුණු ඔහු ග්‍රිසෙල්ඩාගේ නිවසට නිතරම යන්නට එන්නට පටන් ගත්තා. එනිසා ඔහු සහ ග්‍රිසෙල්ඩා අතර සමීප මිතුදමක් ගොඩනැගුණා. 

බ්‍රාවෝ දිනක් ඔහුගේ රැකියාව පිළිබඳව ග්‍රිසෙල්ඩාට අනාවරණය කළා. ඒ වන විට කුඩා පරිමාණයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක යෙදෙමින් සිටි බ්‍රාවෝ ඉන් ලබන ආදායම ගැන ග්‍රිසෙල්ඩාට විස්තර කළා. බ්‍රාවෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙන් ලබන ආදායම ගැන ඇසීමෙන් ග්‍රිසෙල්ඩාටත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වීමට අවශ්‍ය වුණා. ඇය එය බ්‍රාවෝට පවසා සිටියා. ග්‍රිසෙල්ඩා නිර්භීත ගැහැණියක් බව ඒ වන විට බ්‍රාවෝට ඒත්තු ගොස් තිබුණා. එනිසා ඔහුගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මහා පරිමාණයෙන් සිදුකරගෙන යාම සඳහා ග්‍රෙසිල්ඩාගෙන් සහාය ලැබෙනු ඇති බවට බ්‍රාවෝ අනුමාන කළා. 

එම කාල සමය වන විට ග්‍රිසෙල්ඩා සහ බ්‍රාවෝ අතර අනියම් සබඳතාවයක් ඇතිව තිබුණා. එනිසා ඔවුන් දෙදෙනා හොර රහසේම විවාහ වී නීති විරෝධී අයුරින් ඇමරිකාවට සංක්‍රමණය වුණා. නිව්යෝක්හි ක්වීන්ස් නම් ප්‍රදේශයේ පදිංචි වුණු ග්‍රිසෙල්ඩා සහ බ්‍රාවෝ කොළොම්බියාවේ සිට ඇමරිකාවේ නිව්යෝක්, මයෑමි, සහ කැලිෆෝනියා ජනපදය වෙත කොකේන් ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ මත්ද්‍රව්‍ය වෙළඳාමට පිවිසියේ එසේ යි.

ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ (readthetrieb.com)

කොකේන් වෙළඳාමෙන් නොසිතූ ලාභයක් 

එදා ග්‍රිසෙල්ඩා සහ ඇගේ සැමියා උපක්‍රමශීලීව කොළොම්බියාවේ සිට ඇමරිකාව වෙත කොකේන් ප්‍රවාහනය කිරීම සිදුකළා. ඒ සඳහා ඔවුන් විශේෂයෙන්ම සකස් කරන ලද යට ඇඳුම් භාවිතා කළා. එම යට ඇඳුම් ග්‍රිසෙල්ඩාගේ උපදෙස් මත නිර්මාණය වුණා. කොකේන් ප්‍රවාහනය සඳහා යොදාගත් පිරිස අතරේ සුරූපී යුවතියන් ද සිටියා. 

ග්‍රිසෙල්ඩාගේ කල්ලියට සම්බන්ධ වී කොකේන් ප්‍රවාහනය කළ උදවියට ඇය මනා පෙර පුහුණුවක් ලබාදුන්නා. එනිසා වසර කිහිපයක් යන විට ග්‍රිසෙල්ඩාගේ කොකේන් ව්‍යාපාරය විශාල ලෙස ව්‍යාප්ත වුණා. එමගින් ඇය විශාල ධනයකට උරුමකම් කීමට හැකිවුණා. එසේම ඒ වන විට ඇය කොළොම්බියාවේ “කොකේන් රැජිණ” ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටියා.

මයෑමිවලට සංක්‍රමණය වීම 

ග්‍රිසෙල්ඩාගේ කොකේන් ව්‍යාපාරය පිළිබඳව අවධානයෙන් පසුවුණු බලධාරීන් වැටලීම හරහා ඔවුන්ගේ කල්ලිය සතුව තිබුණු කොකේන් කිලෝග්‍රෑම් 150ක් අත්අඩංගුවට ගත්තා. අනතුරුව ග්‍රිසෙල්ඩා ඇතුළු තවත් 30 දෙනෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ඝාතන පිළිබඳව අධි චෝදනා ගොනුකළා. නමුත් ඒ අතරතුර ග්‍රිසෙල්ඩා හොර රහසේම කොළොම්බියාවට පැනගත්තා.  

කොළොම්බියාවට පැමිණි ඇය වැඩිකල් එහි රැඳුණේ නැහැ. සති කිහිපයකින් පසුව ඇමරිකාවේ මයෑමි ප්‍රදේශය වෙත සංක්‍රමණය වුණු ග්‍රිසෙල්ඩා එහි සිට සිය කොකේන් ව්‍යාපාරය කරගෙන ගියා. 

තෙවන සැමියා සහ සමග (fettitv)

මයෑමිවල පැතිර වූ භීෂණය 

මයෑමිහි ජීවත්වෙමින් කොකේන් ව්‍යාපාරය පවත්වාගෙන ගිය ග්‍රිසෙල්ඩා වටා මැර හමුදාවක් සිටියා. ග්‍රිසෙල්ඩාගේ වැඩවලට එරෙහි වුණු ඕනෑම කෙනෙකු පරලොව යැවීමට ඇය දෙවරක් සිතුවේ නැහැ. එනිසා මයෑමි ප්‍රදේශයේ සිදුවුණු මිනිස් ඝාතන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගියා. එසේම එම ප්‍රදේශයේ නිතරම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණා. ආරක්ෂක අංශ ග්‍රිසෙල්ඩාගේ කල්ලිය අල්ලාගැනීමට උත්සාහ කළත් එය සිතන තරම් ලෙහෙසි පහසු වුණේ නැහැ. 

කෲරතර ගති පැවතුම් 

ඉතාමත් දරුණු හිතක් තිබුණු ගැහැණියක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ග්‍රිසෙල්ඩා අමානුෂික අන්දමේ ක්‍රියාවන් සිදුකළා. කිහිපවරක් විවාහ දිවියට ඇතුළත් වුණු ග්‍රිසෙල්ඩා ඇයගේ මුල් සැමියන් තිදෙනාම ඝාතනය කළා. එකල සැර මත්කුඩු වර්ග පානය කර නිතරම සමාජශාලාවලට ගිය ග්‍රිසෙල්ඩා උඩුකය නිරුවත් කාන්තාවන්ට වෙඩි තැබීම විනෝදාංශයක් කරගෙන සිටියා. ගැබිනි කාන්තාවන්ට වෙඩි තැබීම ද ඇයගේ හොඳම විනෝදාංශයක් වුණා. 

සල්ලාල ජීවිතයක් ගතකළ ග්‍රිසෙල්ඩා තුවක්කුවේ බලයෙන් ඇය කැමති ඕනෑම පිරිමි හෝ ගැහැණු කෙනෙකු සමග ලිංගිකව හැසිරුණා. එනිසා ඇය සමග ලිංගිකව හැසිරීමට අකමැති වුණු පිරිමින්ට සහ කාන්තාවන්ට ද වෙඩි කෑමට සිදුවුණා. අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා විවිධ රෝගයන්ට ගොදුරු වුණු ග්‍රිසෙල්ඩා අධික ලෙස වේදනා නාශක ඖෂධවලට ද ඇබ්බැහි වී සිටියා.

ගතකළ සුඛෝපභෝගි ජීවිතය 

ග්‍රිසෙල්ඩා කුඩා කාලයේ දී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් වින්ඳ නින්දා අපහාස නිසාම මුදල් ලැබුණු පසුව ඇයට සැපවත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය වුණා. එනිසා ඇය රත්තරන්, දියමන්ති, මැණික් භාවිතා කරමින් සෑදූ වටිනා ආභරණ පැළඳුවා. එසේම සුඛෝපභෝගි අයුරින් නිර්මාණය කර තිබුණු නිවසක වාසය කරමින් සැපවත් ජීවිතයක් ගතකළා. අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලූ සැනින් සැපයීමට සේවක සේවිකාවන් ඇගේ නිවසේ සිටියා. එසේම ඇයට අවශ්‍ය අනිකුත් සේවාවන් සැපයීමට ද වෙනම පිරිසක් නිවසේ නවාතැන් ගෙන සිටියා. ඒ අයුරින් සුඛෝපභෝගි ජීවිතයක් ගතකළ ග්‍රිසෙල්ඩාට දිගු කලක් එම සතුට විඳීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ග්‍රිසෙල්ඩා සහ ඔහුගේ පුත්‍රයා මයිකල් (VH1)

දිගු කාලයක් සිරබත් කෑම 

1984 වසර වන විට ග්‍රිසෙල්ඩාට මයෑමි ප්‍රදේශය තුළ කොකේන් ව්‍යාපාරය කරගෙන යාමට අසීරු වුණේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වුණු තර්ජන නිසා යි. එනිසා ග්‍රිසෙල්ඩා කැලිෆෝනියාවට පළාගියා. නමුත් ඇයට කැලිෆෝනියාවේ වැඩි කලක් යහතින් ජීවත්වීමට හැකිවුණේ නැහැ. 1985 පෙබරවාරි 18 වැනිදා සිය නිවස තුළ දීම පොලිස් අත්අඩංගුවට පත්වුණු ග්‍රිසෙල්ඩාට දිගුකාලීන සිරදඬුවමක් හිමිවුණා. නමුත් ඇය මයිකල් නම් පුත්‍රයා ලවා දිගටම කොකේන් ව්‍යාපාරය කරගෙන ගියා.  

ග්‍රිසෙල්ඩාගේ අවසානය 

2004 වසරේ දී බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසුව ග්‍රිසෙල්ඩාව කොළොම්බියාව වෙත පිටුවහල් කෙරුණා. ඉන් අනතුරුව ඇය සැඟවුණු ජීවිතයක් ගත කළා. එම යුගයේ දී ඇය ආගම කෙරෙහි නැඹුරු වුණු බව ද පැවසෙනවා. වසර ගණනාවක් සැඟවී සිටීම නිසා බොහෝ දෙනෙකු ග්‍රිසෙල්ඩා මියගිය බවට අනුමාන කළා. 

ඒ අයුරින් රහසිගත ජීවිතයක් ගතකළ ග්‍රිසෙල්ඩාගේ ජීවිතයේ අවසානය ළඟාවන වුණේ 2012 සැප්තැම්බර් 3 වැනිදා යි. එදින රාත්‍රියේ දී ඇය මෙඩලින් නගරයේ 29 වන වීදියේ කෙළවර තිබුණු කාඩිසෝ නම් මස් කඩය වෙත ගියා. මස් මිල දී ගෙන ආපසු පැමිණෙමින් සිටි ග්‍රිසෙල්ඩාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබුවා. ඔළුවට සහ උරහිසට එල්ල වුණු වෙඩි පහරවල් නිසා ග්‍රිසෙල්ඩා ජීවිතයෙන් සමුගත්තා. 

ග්‍රිසෙල්ඩාගේ ජීවිත කතාවෙහි තිබුණු අපූර්වබව නිසා ඇය මියගිය පසුව ඇයගේ ජීවිත කතාව යොදාගෙන චිත්‍රපට, රූපවාහිනි කතා මාලා, නව කතා, සහ රැප් ගීත පවා නිර්මාණය වුණා. 

කවරයේ ඡායාරූපය- ග්‍රිසෙල්ඩා 1980 වසරේ දී (A&E)

මූලාශ්‍රයයන්- biography.com   

                        miamiherald.com 

Related Articles