Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇඩොල්ෆ් අයික්මාන්ව​ අල්ලාගත් මොසාඩ් ඔත්තුකරු – රෆී එයිතාන්

1960 මැයි 11 වන දා සැඳෑ යාමයේ ආර්ජන්ටිනාවේ බුවෙනෝස් අයර්ස් අගනුවර බස් නැවතුමක් අසළ ඊශ්‍රායල මොසාඩ් ඒජන්තයින් පිරිසක් රැකවල් ලා ගෙන සිටියේ එක්තරා පුද්ගලයකු පැමිණෙන තුරු යි​. රිකාර්ඩෝ ක්ලෙමන්ට් නම් වූ මේ පුද්ගලයා සාමාන්‍යයෙන් සිය වැඩ නිමවා අංක 203 බසයෙන් පැමිණ එම බස් නැවතුමෙන් බසින්නේ සවස 7.40ට යි​. නමුත් මෙදින ඔහු 7.40ට එහි පැමිණියේ නැහැ​. සවස 8 වනතෙක් රැකගෙන සිටිය ද, බස් රථ කිහිපයක් එතැනින් නැවතුණ ද​, රිකාර්ඩෝ ක්ලෙමන්ට් පැමිණියේ නැහැ​.

මොසාඩ් කණ්ඩායම ක්‍රියාත්මක කළේ අතිශයින්ම අවදානම් මෙහෙයුමක්. එය ගැස්සී යාමට ඕනෑ තරම් ඉඩ තිබුණා. ඔවුනට උපදෙස් ලැබී තිබුණේ සවස 8 වනතෙක් පමණක් එතැන රැඳී සිටින්නට යි​. නමුත් එම කණ්ඩායමේ ප්‍රධානියා වූ රෆී එයිතාන්, 8.30 වනතෙක් එහි රැඳීමට තීරණය කළා​. මේ තීරණය ලෝක ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් වෙනස් කිරීමට සමත් වුණා.

මොසාඩ් සංවිධානය ගැන මෙතැනින් වැඩිදුර විස්තර කියවන්න​: ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවය පිළිබඳ හැඳින්වීමක්

සවස 8.05ට රිකාර්ඩෝ ක්ලෙමන්ට් බසයෙන් පැමිණ බැස්සා. මොහොතකින් මොසාඩ් අත්අඩංගුවට පත් වූ ඔහු, එනම් ඇඩොල්ෆ් අයික්මාන්, දින දහයක් පමණ ආර්ජන්ටිනාවේ රහස් ස්ථානයක රඳවා තබා ගනු ලැබූයේ ඔහුව පිට කිරීමේ අවස්ථාවක් එනතුරු යි. පවුලේ අය මෙන්ම අරක්ෂක අංශ ද අතුරුදහන් වූ ක්ලේමන්ට් හෙවත් අයික්මාන් සොයාගැනීමට උත්සාහ කරන පසුබිමක මෙසේ දින ගණනක් ඔහු රඳවා ගැනීම අවදානම් සහගත කරුණක් වුණා. නමුත් අවසානයේ ඔහු එරටින් පිට කිරීමට මොසාඩ් පිරිස සමත් වුණා. අයික්මාන් තම ජීවිතය නිමා කළේ 1962 ජූනි 1 වන දා එල්ලා මරනු ලැබීමෙන්.

අයික්මාන් ඊශ්‍රායල අත්අඩංගුවේ දී (Der Spiegel)

අයික්මාන් අල්ලාගැනීමට ගිය කණ්ඩායමට නායකත්වය දුන් රෆී (රෆයෙල්) එයිතාන් මාර්තු 23 වන දා මියගියා. අප මේ ලිපියෙන් විස්තර කරන්නේ ඔහු ගැන යි. අයික්මාන් අල්ලාගත් අයුරු සවිස්තරාත්මකව ඔබට පහත ලිපි පෙළින් කියවන්න පිළිවන්.

අයික්මාන් 1: මොසාඩ් සංවිධානය විසින් නාසි ඇඩොල්ෆ් අයික්මාන් සොයාගැනීම

අයික්මාන් 2: මොසාඩ් සංවිධානයෙන් ඇඩොල්ෆ් අයික්මාන් පැහැරගැනීම

අයික්මාන් 3: ඇඩොල්ෆ් අයික්මාන් ඊශ්‍රායලයට ගෙන ඒම සහ දඬුවම් පැමිණවීම

රෆී එයිතාන් නම් බුද්ධි නිලධාරියා

රෆී එයිතාන් උපන්නේ 1926 නොවැම්බර් 23 වන දා එවකට බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ පලස්තීනයේ කිබුට්සයක යි. ඔහු යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීමේ සටනට දායක වුණා. හගානා සංවිධානයට ගැටවර වියේ දීම බැඳුණ ඔහු මුලින්ම බ්‍රිතාන්‍ය හමුදාවන්ට එරෙහිව විවිධ මෙහෙයුම්වලට දායක වුණා. එමෙන්ම ඔහු යුරෝපයෙන් නීති විරෝධීව සංක්‍රමණය වන යුදෙව්වන්ට සහාය වීම ද සිදු කළා. 1948 දී අරාබි-ඊශ්‍රායල් යුද්ධයට සම්බන්ධ වූ ඔහු එහිදී තුවාල ලැබුවා. හමුදා සේවයෙන් අනතුරුව ඔහු ඊශ්‍රායලයේ අභ්‍යන්තර බුද්ධි අංශය වූ ශින් බෙට් සංවිධානයට එකතු වුණා. පසුව එය සහ මොසාඩ් සංවිධානය අතර ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කළා.

අයික්මාන් අල්ලා ගැනීමේ මෙහෙයුමෙන් පසු එයිතාන් තවත් මෙහෙයුම් කිහිපයක නියැළුණා. මේ අතර ඇමරිකාවේ න්‍යෂ්ටික බලාගාරයකින් යුරේනියම් අතුරුදහන් වීමේ සිද්ධියකට ද ඔහු සම්බන්ධයැ යි ඇතැමුන් සැක කරනවා.

එයිතාන්ගේ පැරණි සේයාරුවක් (richardsilverstein.com)

එයිතාන් 1972න් පසු පූර්ණ කාලීනව බුද්ධි කටයුතුවල නිරත නොවූ බව යි සඳහන් වන්නේ. නමුත් ඔහු 1981 දී ඊශ්‍රායලය විසින් ඉරාකයේ ඔසිරාක් න්‍යෂ්ටික ප්‍රතික්‍රියකයට පහර දුන් මෙහෙයුම සඳහා සැලසුම සකස් කර ක්‍රියාවට නැගීමේ කටයුතු සඳහා දායක වුණා. පසු කාලීනව​, 1985 දී පමණ​, ජොනතන් පොලාර්ඩ් නම් ඇමරිකානුවා හැසිරවීමේ ඒජන්තවරයා ලෙස එයිතාන් කටයුතු කළා. පොලාර්ඩ් ඊශ්‍රායලය වෙනුවෙන් තොරතුරු ලබා දුන් අතර, ඔහුගේ අදහස වූයේ ඇමරිකාව තම මිත්‍ර රටක් වන ඊශ්‍රායලයට අත්‍යාවශ්‍ය තොරතුරු ලබා නොදීමෙන් එම රටේ ආරක්ෂාව අවදානමේ හෙලන බව යි.

එයිතාන් යනු පොලාර්ඩ් හැසිරවූ ඒජන්තයා බව​ හෙළි වූ පසු ඇමරිකාවේ FBI ආයතනය එයිතාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ද නිකුත් කළා. පොලාර්ඩ් ජීවිතාන්තය දක්වා බන්ධනාගාර​ගත​ කරනු ලැබුණා. මෙම සිද්ධිය ඇමරිකානු – ඊශ්‍රායල සබඳතාවලට ද අයහපත් ලෙස බලපෑවා. එයිතාන් කියා සිටියේ තමා කටයුතු කළේ තම ප්‍රධානීන්ගේ උපදෙස් අනුව බව යි. එහෙත් ඔහුට බුද්ධි සේවා කටයුතුවලින් ඉවත් වීමට සිදු වුණා.

එයිතාන් සම්බන්ධ වූ බුද්ධි කටයුතු පිළිබඳ අදට ද කරුණු බොහොමයක් සාමාන්‍ය ජනතාව නොදන්නා බව වත්මන් මොසාඩ් ප්‍රධානී යොසී කොහෙන් සඳහන් කළා. ඊශ්‍රායල රාජ්‍යයේ මූලාරම්භක සමයේ දී රෆී එයිතාන් විසින් කරන ලද කාර්යයන්, මොසාඩ් සංවිධානයේ වර්ධනයට අත්තිවාරමක් වූ බව කොහෙන් කියා සිටියා.

පසු කාලීන කටයුතු

බුද්ධි අංශ කටයුතුවලින් පසුව එයිතාන් ව්‍යාපාරික කටයුතුවල නිරත වුණා. මේ අතරින් එක් වැදගත් ආයෝජනයක් වූයේ කියුබාවෙහි කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ කළ ආයෝජන යි. 1990 දශකයේ මුල් කාලයේ, එනම් සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු, එයිතාන් කියුබාවේ ව්‍යාපාරික කටයුතු ඇරඹුවා.

මීට කලකට පසු, 2006 දී, එයිතාන් ඊශ්‍රායල විශ්‍රාමිකයන්ගේ පක්ෂය හෙවත් ගිල් පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට පැමිණියා. එම පක්ෂය ආසන 7ක් දිනා ගැනීමට සමත් වූ අතර එය බලාපොරොත්තු වූවාට වඩා හොඳ ප්‍රතිඵලයක් වුණා. එයිතාන් ඊශ්‍රායලයේ විශ්‍රාමිකයන් පිළිබඳ අමාත්‍ය ධුරයට පත් වුණා. 2009 දී ගිල් පක්ෂය පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට සමත් වූයේ නැහැ.

එයින් පසු එයිතාන්ගේ දේශපාලන කටයුතු නිමා වුණා. ගිල් පක්ෂය ද ඉන්පසු පැවති මැතිවරණවල දී සාර්ථක වූයේ නැහැ.

Cover Image: රෆී අයිතාන් (Reuters)

Related Articles