Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොල්මන් අවතාර ගැවසෙන ලොව සුපතළ තැන් 6ක්

විද්‍යාත්මක කරුණු මත පදනම් ව තර්ක කරන විට විශ්වාස කිරීමට අපහසු වුවත් හොල්මන් සහ අවතාර පිළිබඳ විශ්වාස දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ මුල්බැස ගෙන තිබේ. සම්භාව්‍ය නවකතා සහ වෙනත් සාහිත්‍ය නිර්මාණවල පවා එවැනි දැ පිළිබඳ කතන්දර නිතර අසන්නට ලැබේ. සුවිශේෂී කරුණක් වන්නේ ශ්‍රී ලංකාව වැනි තරමක් සම්ප්‍රදායානුකුල චින්තනයක් සහිත රටවල පමණක් නොව බටහිර රටවල පවා එවැනි විශ්වාස පැවතීම යි.

බටහිර රටවල ප්‍රසිද්ධ, හොල්මන් – අවතාර පිළිබඳ කතන්දර සහ ඒවා හා බැඳුණු ස්ථාන කිහිපයක් පිළිබඳවයි මේ ලිපිය.

1. ඔහියෝ හි පුනරුත්ථාපන මධ්‍යස්ථානය/ එක්සත් ජනපදය

අමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ හි පිහිටි මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඉදිකිරීමට පෙර එම ඉඩමේ යුද සෙබළුන් රැඳී සිටි කඳවුරක් පිහිටා තිබිණි. පසුකාලීන ව තරුණ වියේ පසු වූ වැරදිකරුවන් පුනරුත්ථාපනය කර ඔවුන්ට වෙළෙඳාම පිළිබඳ ව අවබෝධයක් ලබා දීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය පිහිටුවා තිබේ. 1896 සිට 1990 දක්වා විවෘතව තිබූ මෙම මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 150,000කට වැඩි සංඛ්‍යාවක් පුනරුත්ථාපනය වූ බව කියැවේ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානය -www.history.com

මුල් කාලයේ දී, එහි රඳවා සිටි පුද්ගලයන්ට නිදහසේ කාලය ගත කළ හැකි ආකාරයෙන් මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වූ නමුත් 20 වැනි සියවසේ මැදභාගය වන විට එය දැඩි නීති රීති යටතේ ක්‍රියාත්මක විය. අඩි හතක් පළලින් සහ අඩි නවයක් දිගින් යුතු කුඩා කුටියක පුද්ගලයන් දෙදෙනකු රඳවා තිබිණි. එහි රඳවා සිටි පිරිසට ප්‍රමාණවත් තරම් ඉඩකඩ නොමැති වීම සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම වැනි හේතු මත මධ්‍යස්ථානයේ පරිපාලනයට විරුද්ධ ව පාර්ශව කිහිපයක් නඩු පැවරීමේ ප්‍රතිපලයක් ලෙස 1990 දී මෙය වසා දැමිණි.

වර්තමානයේ දී හොල්මන් පිළිබඳ ව ගවේෂණය කරන පුද්ගලයන් නිතර යන එන තැනක් බවට මෙම ස්ථානය පත් ව ඇත. ඔවුන් පවසන්නේ මෙහි දී හඳුනා නොගත් විවිධ ශබ්ද ඇසෙන බව යි. ඊට අමතර ව කවුරුන් හෝ ඇවිදින ශබ්දය ඇසෙන බවත් ඔවුහු පවසති. මෙහි සැරිසරන අවතාර අතර මෙම මධ්‍යස්ථානයේ භාරකරු ලෙස ක්‍රියාකළ පුද්ගලයකුගේ බිරිය ද වන වන බව පැවැසේ.

2. ආර්.එම්.එස්. ක්වීන්මේරි නෞකාව/ කැලිෆෝනියාව

ස්කොට්ලන්තයේ දී 1930 වසරේ නිෂ්පාදනය කළ මෙම නෞකාව 1936 සිට අත්ලාන්තික් සාගරය හරහා මගී ප්‍රවාහන කටයුතුවල නිරත විය. අඩි 1,019ක දිගින් යුතු මෙහි මගින් 1,900කට ගමන් කළ හැකි විය. මෙම නෞකාව මගී ප්‍රවාහන කටයුතු ආරම්භ කළ මුල් කාලය තුළ හොලිවුඩ් නළු නිළියන් සහ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් වැනි සුවිශේෂී පුද්ගලයන් පවා එහි ගමන් කළ බව කියැවේ.  

දෙවැනි ලෝක යුද්ධය ඇති වූ කාලයේ මෙය යුද නෞකාවක් ලෙස යොදා ගත් අතර එය අළු පැහැයෙන් වර්ණ ගන්වා තිබිණි. ඒ නිසා ම බොහෝ දෙනකු අතර මෙය ප්‍රසිද්ධ වූයේ ‘Grey Ghost’ යන අන්වර්ථ නාමයෙනි. ලෝක යුද්ධය පැවති සමයේ දී යුද සෙබළුන් 765,000කට වැඩි ප්‍රමාණයක් මෙම නෞකාවේ ගමන්ගෙන තිබේ. මේ නෞකාවඅයර්ලන්ත මුහුදු සීමාවේ දී තවත් නෞකාවක  1942 දී ගැටීම නිසා සිදු වූ අනතුරකින් මෙහි සිටි පුද්ගලයන් 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් විය.

ක්වීන්මේරි නෞකාව – www.wikipedia.org

1967 දී අත්ලාන්තික් සාගරය හරහා මගී ප්‍රවාහන ගමන්වාර 1,001ක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ක්වීන්මේරි නෞකාව විශ්‍රාම ගන්වා කැලිෆෝනියාවේ ‘Long Beach’ හි නැංගුරම් ලා තිබේ. ඊට වසර කිහිපයකට පසු මෙය නැරඹීමට මහජනතාවට ද අවස්ථාව ලැබිණි. නැරඹීමට පැමිණි බොහෝ දෙනෙක් මෙම නෞකාවේ හොල්මන් තිබෙන බව පවසා තිබේ. නෞකාවේ ඇති, ජලය සිඳී ගිය පිහිනුම් තටාකය දෙසින් ජලය සෙලවෙන හඬ සහ උදව් ඉල්ලා කෑ ගසන පුද්ගලයන්ගේ හඬ නිතර ඇසෙන බව කියැවේ.

3. ස්ටැන්ලි හෝටලය- කොලරාඩෝ

ස්ටීවන් කින්ග් රචිත ‘The Shining’ ත්‍රාසජනක නවකතාවේ සඳහන් වන ස්ටැන්ලි හෝටලය 1909 දී විවෘත විය. එහි මුල් හිමිකරු වූ එෆ්. ඕ. ස්ටැන්ලිගේ නමින් එය නම් කර ඇත. ක්ෂය රෝගයෙන් පිඩා විඳි ඔහු, කඳුකර ප්‍රදේශයක ජීවත් වීමෙන් රෝග තත්ත්වය තරමක් හෝ අඩු වේ යැයි සිතා 1903 දී මෙම හෝටලය පිහිටි ප්‍රදේශයට මුලින් ම පැමිණ තිබේ. එහිදී අයර්ලන්ත ජතිකයකුගෙන් මිල දී ගත් ඉඩමකහෝටලය ඉදිකිරිම  ඔහු ආරම්භ කළේ 1907 දී ය.

1974 ඔක්තෝබර් මස අග භාගයේ දී ස්ටීවන් සහ ඔහුගේ බිරිය මෙම හෝටලයේ නවාතැන් ගත් අතර ඒ කාලය තුළ එහි නවාතැන් ගෙන සිටි එකම අමුත්තන් දෙදෙනා ඔවුන් දෙදෙනා වේ. ඔවුන් මෙහි නවාතැන්ගත් දින කිහිපය තුළ මුහුණ දුන් අත්දැකීම්, වාර්තා තබමින් අලෙවි වූ ‘The Shining’ නවකතාවට පාදක වූ බව කියැවේ.

ස්ටැන්ලි හෝටලය – www.pinterest.com

බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ස්ටැන්ලිගේ සහ ඔහුගේ බිරිය වූ ෆ්ලෝරාගේ අවතාර මෙහි සැරිසරන බව යි. 1911 වසරේ එක්තරා දිනක දැල් වූ ඉටිපන්දමක් අතැති ව පැමිණි සේවිකාවක් මෙම හෝටලයේ 217 වැනි කාමරයට ඇතුළු වූ අතර එම කාමරයේ තිබූ ගෑස් කාන්දුවක් නිසා ඇය බරපතල තුවාල ලැබුවා ය. තුවාල ලැබූ ඇය දශක ගණනාවක් තිස්සේ මෙම හෝටලයේ ම සේවය කර මිය ගියා ය. එතැන් පටන් 217 වැනි කාමරයේ නවාතැන් ගත් අමුත්තන් කිහිප දෙනකු ඇගේ අවතාරය දැක තිබේ. ඊට අමතර ව මෙම හෝටලය තුළ කුඩා ළමයින් දිවයන හඬ ඇසීම, විදුලි බල්බ දැල්වීම් සහ නිවාදැමීම් සහ යම් යම් භාණ්ඩ එහා මෙහා වීම් ද සිදුවන බව පැවැසේ.

4. මිෆ්ලින් බළකොටුව- පෙන්සිල්වේනියාව

එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ පිහිටා ඇති මිෆ්ලින් බළකොටුව 1771 දී ඉදි කර ඇත. එතැන් පටන් දීර්ඝ කාලයක් තිස්සේ හමුදා මුරපොළක් ලෙස ක්‍රියාත්මක වූ මෙම බළකොටුවට 1777 දී බ්‍රිතාන්‍ය හමුදා ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය අතරතුර සිදු වූ බෝම්බ පිපිරීම් නිසා එය විශාල වශයෙන් විනාශ විය. පසුකාලීනව අවස්ථා කිහිපයක දී ප්‍රතිසංස්කරණයට ලක් වූ මෙම බළකොටුව, පළමු සහ දෙවැනි ලෝක යුද සමයේ දී පතරොම් ගබඩාවක් ලෙස භාවිත විය. දෙවැනි ලෝක යුද්ධය නිමා වීමෙන් ටික කලකට පසු, එනම් 1954 දී මෙය වසා දැමිණි.

මිෆ්ලින් බළකොටුවේ දැකිය හැකි ගොඩනැගිල්ලක් – www.globalphiladelphia.org

මේ වන විට සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක් වන මෙම බළකොටුවේ හොල්මන් තිබෙන බව බොහෝ දෙනෙක් කියති. මිෆ්ලින් බළකොටුවේ රඳවා සිටි සිවිල් යුද සිරකරුවකු වූ බිලී හෝව් නම් පුද්ගලයා බළකොටුව තුළ එල්ලා මරා දමා ඇති බවත්, මෙහි සැරිසරන හොල්මන් අතර ඔහුගේ අවතාරය ද වන බවත් පැවැසේ. ඊට අමතර ව හිසක් නැති මිනිසකු මෙම ස්ථානය ආසන්නයේ සැරිසරන ආකාරය දුටු බව තවත් සමහරුන් පවසා ඇත.

5. බෝනික්කන්ගේ දූපත/ මෙක්සිකෝව

ඇළ මාර්ගවලින් වට වූ කුඩා දූපතක් වන මෙහි ගස්වල බෝනික්කන් රැසක් එල්ලා තිබෙන අයුරු දැකිය හැකි ය. මෙම දූපත ආසන්න ප්‍රදේශයක ජීවත් වූ දොන් ජූලියන් නම් පුද්ගලයෙක් මිට දශක කිහිපයකට පෙර එහි ඇළ මාර්ගයක් අසළ තිබූ දැරියකගේ මළසිරුරක් දැක තිබේ. ඇය දියේ ගිලි මිය ගොස් සිටි අතර ඇය අසල තිබී බෝනික්කකු සොයාගැනීමට ද ඔහුට හැකි විය. පසුව ඔහු එම දැරිය සිහිවීම සඳහා එම බෝනික්කා අසල තිබූ ගසක එල්ලුවේ ය.

එතැන් පටන් තැන් තැන්වලින් හමු වන හිස සහ කකුල් කැඩී ගිය බෝනික්කන් එකතු කළ ඔහු ඒවා ද මෙම දූපතේ ඇති ගස්වල එල්ලුවේ ය. දීර්ඝ කාලයක් තිස්සේ ඒ අයුරින් බෝනික්කන් එකතු කළ ඔහු 2001 දී පෙර කී දැරිය ගිලුණු ඇළෙහි’ම ගිලී මිය ගියේ ය. මෑතකදී මෙම දූපතට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙක් තමන් හොල්මන් සහ අවතාර දුටු බවත්, ගස්වල එල්ලා ඇති බෝනික්කන් එකිනෙකාට කතා කරන හඬ ඇසුණු බවත් පවසා තිබේ.

ගස්වල එල්ලා ඇති බෝනික්කන් – www.nypost.com

6. ‘වේලි හවුස්’- කැලිෆෝනියාව

කැලිෆෝනියාව එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් බවට පත් වී වසර හතකට පසු, එනම් 1857 දී, වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වූ තෝමස් වේලි සිය පවුලේ අය සඳහා මෙම දෙමහල් නිවස ඉදි කළේ ය. ඔහු මෙම නිවස ඉදි කිරීමට ප්‍රථම මෙම ඉඩමේ සොරකම් කිරීමේ චෝදනා මත යැංකි ජිම් රොබින්සන් නම් පුද්ගලයකු එල්ලා මරා දමා ඇත.

නිවසේ පදිංචි වී ඉතා කෙටි කලකින් තෝමස්ට සහ පවුලේ අයට අවාසනාවන්ත සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදු විය. 1858 දී ඔහුගේ බාල පුතා උණ රෝගයක් වැලඳී මිය ගිය අතර එම වසරේදී ම නිවසේ එක කොටසක් ගින්නක් හේතුවෙන් සම්පූර්ණයෙන් ම විනාශ විය. අසාර්ථක විවාහයක් නිසා සිත් තැවුලෙන් සිටි තෝමස්ගේ දියණිය 1885 දී මෙම නිවස තුළ දී ම සියදිවි නසා ගත්තා ය.

නිවසේ වර්තමාන තත්ත්වය – www.commons.wikimedia.org

ඊට ටික කලකට පසු තෝමස් සහ ඔහුගේ බිරිය ද අකල් මරණවලට ගොදුරු වූ අතර එතැන් පටන් ඔවුන් දෙදෙනාගේ සහ රොබින්සන්ගේ අවතාර මෙම නිවස අවට සැරිසරන බව සමහරු කියති. තවත් සමහරුන් පවසන්නේ තෝමස්ගේ නිවසේ සුරතලයට ඇති කළ සතුන්ගේ අවතාර ද එහි සැරිසරන බව යි. ඊට අමතර ව දොරවල් විවෘත වීම සහ මහ හඬින් වැසි යාම වැනි අද්භූත සිදුවීම් මෙහි සිදුවන බවත් පැවැසේ. 1950 දශකය වන තෙක් තෝමස්ගේ ඥාතීන් සතුව පැවති මෙම නිවස මේ වන විට කෞතුකාගාරයක් ලෙස ක්‍රියාත්මක වේ.

කවරයේ ඡායාරූපය- චිත්‍රපටයක් සඳහා රූගත කළ හොල්මන් දර්ශණයක්/ www.npv.org

මූලාශ්‍ර:

www.history.com/Elizabeth Nix

www.nypost.com

www.bcc.com

Related Articles