Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ නම බැබළූ කෙටිදුර ධාවන ශූරයෝ

මළල ක්‍රීඩා ඉසව් ජවන සහ පිටිය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ අතුරින් ජවන ඉසව් වඩාත් උද්වේගකර ස්වරූපයක් ගන්නවා. එම නිසා ජවන ඉසව් ක්‍රීඩා ප්‍රේක්ෂකයන් අතරේ වඩාත් ජනප්‍රිය යි. ප්‍රේක්ෂකයින් නැරඹීමට කැමැත්ත දක්වන ජවන ඉසව් අතරින් ප්‍රමුඛස්ථානයක් හිමිවන්නේ කෙටිදුර ධාවන ඉසව්වලට යි. සාමාන්‍යයෙන් මීටර් 100, 200, 400 යන ඉසව් කෙටිදුර ධාවන ඉසව් ලෙස සලකනවා. පසුගිය දශක 5ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවෙන් දක්ෂ කෙටිදුර ධාවන ශූරයන් කිහිපදෙනෙකු බිහිවී තිබෙනවා. ඔවුන් ඔලිම්පික් හෝ ලෝක මළල ක්‍රීඩා ශූරතාවය වැනි තරගාවලිවල දී පදක්කම් දිනාගැනීමට අපොහොසත් වුණත්, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු මට්ටමේ ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාමය මළල ක්‍රීඩා පිටිය තුළ බැබළූ කෙටිදුර ධාවන ශූරයන් සිව්දෙනෙකු පිළිබඳව මෙම ලිපිය තුළින් කතා කරනවා. 

වික්‍රමසිංහ විමලදාස 

70 දශකයේ දී ලාංකීය මළල ක්‍රීඩා පිටියේ සිටි දක්ෂතම කෙටිදුර ධාවකයෙකු වුණු වික්‍රමසිංහ විමලදාස 1943 වසරේ දී උපත ලැබුවා. කුඩාකල පටන්ම ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ මොහුට සිය හැකියාවන් ඔප් නංවා ගැනීමට අවස්ථාව උදාවුණේ 1963 වසරේ දී සාමාන්‍ය සෙබලෙකු ලෙසින් ලංකා යුද හමුදාවට එක්වීමත් සමග යි. එලෙස සිය ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනය කරගත් විමලදාස ක්‍රීඩකයා 1964 වසරේ පැවති යුද හමුදා මළල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 සහ 200 ඉසව්වලින් ආධුනික වාර්තා පිහිටුවීමට සමත් වුණා. 

ඉන්පසුව ජාතික මට්ටමේ තරගවලට සහභාගී වුණු ඔහු 1966 වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.9කින් සහ මීටර් 200 ඉසව්ව තත්පර 22.2කින් නිමකරමින් ජාතික වාර්තා පිහිටවනු ලැබුවා. විමලදාස පසුකලෙක මීටර් 100 ඉසව්ව අතහැර මීටර් 400 ඉසව්වට අවතීර්ණ වුණා. ඔහුගේ නියම හැකියාවන් මතු වුණේ මීටර් 400 ඉසව්ව යටතේ තරග කිරීමත් සමග යි. 1968 වසරේ දී මීටර් 400 ඉසව්ව තත්පර 48.9ක කාලයකින් නිමකළ ඔහු එම ඉසව්වේ ජාතික වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කරගත්තා.

ක්‍රීඩා ජිවීතයේ දී දිනාගත් කුසලාන සමග (Sri lanka Olympians)

1970 වසර වන විට විමලදාස මීටර් 400 ඉසව්වෙන් දස්කම් දක්වමින් සිටියා. එවැනි කාලසමයක ඔහු මුල්ම වරට ආසියානු මළල ක්‍රීඩා තරගාවලිය සඳහා ඉදිරිපත් වුණා. එදා මීටර් 400 ඉසව්ව තත්පර 46.7ක කාලයකින් අවසන් කළ විමලදාස රිදී පදක්කම දිනාගැනීමට සමත් වුණා. එය ලාංකීය කෙටිදුර ධාවන ශූරයෙකු ආසියානු ක්‍රීඩා තරගාවලියක දී ලබාගත් මුල්ම පදක්කම ලෙසින් ඉතිහාසගත වුණා. එම කාල වකවානුවේ දී මොහු අඛණ්ඩව දැක්වූ දස්කම් නිසා 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත්තා. මියුනිච් ඔලිම්පික් තරගාවලිය යටතේ පැවති මීටර් 400 ඉසව්වේ දී පළමු වටයෙන් ඉදිරියට යාමට මෙම ක්‍රීඩකයාට හැකියාව ලැබුණා. නමුත් අර්ධ අවසන් පූර්ව වටයේ දී විමලදාසට හිමිවුණේ 5 වැනි ස්ථානය යි.

විමලදාස 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියේ දී (Sri lanka Olympians)

විමලදාසගේ ක්‍රීඩා ජීවිතයේ අමතක නොවන තරගාවලිය බවට පත්වුණේ 1974 වසරේ ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවති ආසියානු තරගාවලිය යි. එම තරගාවලිය යටතේ පැවති මීටර් 400 ඉසව්ව තත්පර 46.21කින් නිමකළ විමලදාස, නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගත්තා. එසේම විමලදාස වික්‍රමසිංහ, සුනිල් ගුණවර්ධන, කෝසල සහබන්දු, සහ ඒ. ප්‍රේමචන්ද්‍ර යන ක්‍රීඩකයන් සිව්දෙනා මීටර් 400 සහාය දිවීමේ ඉසව්ව නව තරග වාර්තාවක් පිහිටුවමින් ජයග්‍රහණය කළා. විමලදාස මෙරට මළල ක්‍රීඩාවේ උන්නතිය සඳහා කළ සේවාව වෙනුවෙන් 1978 වසරේ දී ඔහුට දේශබන්දු සම්මානය පිරිනැමුණා. ඉන් වසර 2කට පසුව ඔහු සිය මළල ක්‍රීඩා දිවියට සමුදෙන විට මීටර් 400 ඉසව්වේ ආසියානු ශූරයා ලෙස වැජඹෙමින් සිටියා. 

විමලදාස මීටර් 400 තරගයක ඉදිරියෙන්ම ධාවනයේ යෙදෙමින් (Sri lanka Olympians)

ශ්‍රියන්ත දිසානායක

1969 වසරේ දී උපත ලැබූ ශ්‍රියන්ත දිසානායක කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවෙක්. ඔහු පාසල් කාලයේ සිටම මීටර් 100 සහ 200 ඉසව්වල දී දස්කම් දැක්වීමට සමත් වුණා. මෙම කෙටිදුර ධාවන ශූරයා මුල්ම වරට සිය දස්කම් දැක්වීමට සමත් වුණේ 1989 වසරේ දී පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවති සිව්වන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී යි. එදා මීටර් 100 ඉසව්ව තත්පර 10.73කින් නිමාකරමින් රිදී පදක්කම දිනාගත් ශ්‍රියන්ත, මීටර් 200 ඉසව්ව තත්පර 21.73කින් නිමාකරමින් ලෝකඩ පදක්කම දිනාගත්තා. එහි දී මීටර් 100 පිරිමි ඉසව්වෙන් දකුණු ආසියාතික පදක්කමක් දිනාගත් මුල්ම ලාංකීය ක්‍රීඩකයා ලෙසින් ඔහු ඉතිහාසගත වුණා.  

1982 සහ 1986 වසරවල පැවති ආසියානු තරගාවලි 2 දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු පදක්කමක් ලබාගැනීමට හැකිවුණේ නැහැ. ආසියානු තරගාවලි පදක්කම් ඉඩෝරයකට හසුව සිටි ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1990 වසරේ පැවති බීජිං ආසියානු තරගාවලියට සහභාගි වුණේ පදක්කම් කිහිපයක් දිනාගැනීමේ අරමුණ ඇතිව යි. එදා ආසියානු තරගාවලි පදක්කම් ඉඩෝරයට පොද වැස්සක් එකතු කළ මෙම දක්ෂ ක්‍රීඩකයා  පදක්කම් 2ක් දිනාගැනීමට සමත් වුණා. එහි දී මීටර් 200 ඉසව්ව තත්පර 21.17කින් අවසන් කරමින් රිදී පදක්කම දිනාගත් ශ්‍රියන්ත මීටර් 100 ඉසව්ව තත්පර 10.64කින් නිමාකළේ ලෝකඩ පදක්කමට උරුමකම් කියමින්.

1991 සහ 1993 වසරවල පැවති දකුණු ආසියානු තරගාවලිවල දී මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කම් 2කුත් මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කමකුත් ලබාගත් මෙම ක්‍රීඩකයා 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලබාගත්තා. නමුත් එම තරගාවලියේ දී සැලකිය යුතු දස්කම් පෙන්වීමට ඔහු සමත් වුණේ නැහැ. ඔහු මෙරට මළල ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය සඳහා 1992 වසරේ දී දේශබන්දු සම්මානය හිමිවුණා.

1991 දකුණු ආසියානු තරගාවලියේ දී (Sri lanka Olympians)

සුගත් තිලකරත්න

1973 වසරේ ජූලි මස 30 වන දා මෙලොව එළිය දුටු සුගත් තිලකරත්න, පසුකලෙක විදුලිපුර ධාවකයා ලෙසින් ප්‍රසිද්ධ වුණේ ශ්‍රී ලංකා නාමය ලෝක මළල ක්‍රීඩා පිටිය තුළ බැබැළවූ නිසා යි. 90 දශකයේ මුල් භාගය වන විට සිය හැකියාවන් වර්ධනය කරගෙන සිටි සුගත් තිලකරත්න 1993 දකුණු ආසියානු තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ඔහු තත්පර 46.58ක කාලයකින් මීටර් 400 ඉසව්ව නිම කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. එසේම ඉන් වසර 2කට පසුව මදුරාසියේ දී පැවති 7 වන දකුණු ආසියානු තරගාවලියේ දී එම වාර්තාව යළි අළුත් කළේ තත්පර 46.12ක කාලයකින් මීටර් 400 ඉසව්ව අවසන් කරමින්. 

1995 වසරේ දී ජකාර්තා නුවර පැවති ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සුගත්ට හැකියාව ලැබුණා. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ මෙම ක්‍රීඩකයා එහි දී කාගේත් අවධානය දිනාගත්තා. ඒ මීටර් 400 ඉසව්ව යටතේ පැවති මූලික වටයේ තරගයක දී ඇමරිකානු ධාවන ශූරයෙකු වුණු මයිකල් ජොන්සන්ව පරාජය කිරීම නිසා යි. 

1998 වසර සුගත්ගේ මළල ක්‍රීඩා දිවියේ දීප්තිමත්ම වසර බවට පත්වුණා. එම වසරේ දී ඔහු ආසියානු ක්‍රීඩා තරගාවලිය, පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සහ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය යන තරගාවලිවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. පහත දක්වා තිබෙන්නේ සුගත් එම තරගාවලිවල දී පදක්කම් ලබාගත් ආකාරය යි. 

* පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය- මීටර් 400 පිරිමි- ලෝකඩ (තත්පර- 44.64)

* ආසියානු ක්‍රීඩා තරගාවලිය- මීටර් 400 පිරිමි- රන් (තත්පර- 44.64)

                                         මීටර් 400 පිරිමි- ලෝකඩ (තත්පර- 20.69)

* ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය- මීටර් 400 පිරිමි- රන් (තත්පර- 44.61)- නව තරග වාර්තාවක් 

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ශූරතාවය දිනාගත් අවස්ථාව (gettyimages)

2002 සහ 2003 වසරවල පැවති ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලිවල දී මීටර් 400 සහාය ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙකු බවට පත්වීමට ඔහුට අවස්ථාව ලැබුණා. 1996 සහ 2000 ඔලිම්පික් තරගාවලිවලට සහභාගි වුණු සුගත් 1997-2003 කාල සමයේ පැවති ලෝක මළල ක්‍රීඩා ශූරතාවලි 4කදී ශ්‍රී ලංකාව නියෝජනය කළා. නමුත් එහි දී ඔහුට කැපී පෙනෙන දස්කම් දැක්වීමට හැකිවුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම කෙටිදුර ධාවන ශූරයන් කිහිපදෙනා අතරේ සුගත්ගේ නම තවමත් රැඳී පවතිනවා. 

1998 ආසියානු තරගාවලියේ දී තරගය ජයග්‍රාහීව අවසන් කළ මොහොත (gettyimages)

රොහාන් ප්‍රදීප් කුමාර 

1975 වසරේ දී උපත ලැබූ රොහාන් ප්‍රදීප් කුමාර 90 දශකයේ අග භාගයේ දී ජාත්‍යන්තර මළල ක්‍රීඩා පිටියට අවතීර්ණ වුණා. 1999 කත්මණ්ඩු දකුණු ආසියාතික තරගාවලියේ දී දස්කම් අතරට පැමිණි මෙම ක්‍රීඩකයා තත්පර 45.77ක කාලයක් වාර්තා කරමින් මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. එහි දී ඔහු නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. එසේම 2004 සහ 2006 වසරවල පැවති දකුණු ආසියාතික ක්‍රීඩා තරගාවලිවල දී මීටර් 200 සහ 400 ඉසව්වලින් රන් පදක්කම් හතරක් දිනාගැනීමට මොහුට හැකියාව ලැබුණා. 2004 තරගාවලියේ දී ඔහු මීටර් 200 ඉසව්ව තත්පර 20.99ක කාලයකින් නිම කරමින් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටවනු ලැබුවා. එලෙස ඔහු තැබූ වාර්තා දෙකම අදටත් නොනැසී පවතිනවා. 

රොහාන් 2002 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කම දිනාගත්තා. එහි දී ඔහු වාර්තා කළ කාලය තත්පර 45.06ක් ලෙසින් සටහන් වුණා. ඊට අමතරව මොහු ආසියානු ක්‍රීඩා තරගාවලිය සහ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය වැනි තරගාවලිවල දී මීටර් 400 සහාය ඉසව්වෙන් රන් සහ ලෝකඩ පදක්කම් දිනාගෙන තිබෙනවා. මෙම ක්‍රීඩකයා 2000 සහ 2004 ඔලිම්පික් තරගාවලිවල දී ශ්‍රී ලංකාව නියෝජනය කළ බව ද සඳහන් කළ යුතු කාරණයක්.

රොහාන් 2004 දකුණු ආසියානු තරගාවලියේ දී තරගවදිමින් (gettyimages)

කවරයේ ඡායාරූපය- සුගත් 1998 ආසියානු ශූරතා තරගාවලියේ දී රන් පදක්කම දිනාගත් මොහොත (getty)

මූලාශ්‍රයයන්- ලාංකේය මළල ක්‍රීඩා ඉතිහාසය- සම්පත් බණ්ඩාර

Related Articles