Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශාන්ත පීතරයෙන් බිහිවුණු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දායාද කළ පාසල් අතරින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. 1975-2021 කාල සමය තුළ ටෙස්ට් ක්‍රිකට් වරම් ලබාගත් ක්‍රීඩකයන් 7ක් ද, එක්දින සහ 20/20 තරග වරම් ලබාගත් ක්‍රීඩකයන් 3ක් ද ශාන්ත පීතර විද්‍යාලයෙන් බිහි වී තිබෙනවා. එලෙස ශාන්ත පීතරයෙන් බිහිවුණු ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා රැසකට උරුමකම් කියනවා. එම වාර්තා අතරින් ඇතැම් ඒවා අදටත් නොබිඳී පවතිනවා. මේ ලිපියෙන් ඔබට කියන්නේ 70 දශකයේ සිට අද දක්වා ශාන්ත පීතර විදුහලෙන් ජාත්‍යන්තර පිටියට පිවිසි ක්‍රීඩකයන් ගැන යි. 

70 දශකය 

70 දශකයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි දෙකකට සහභාගි වුණා. එම තරගාවලි සඳහා සහභාගි වුණු ඩේවිඩ් හයින්, ටෝනි ඕපාත, සහ රෝයි ඩයස් යන ක්‍රීඩකයන් තිදෙනා ශාන්ත පීතර විදුහලෙන් සිප්සතර හදාරා තිබුණා. ඒ අතුරින් වඩාත් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණු රෝයි ඩයස්ගේ නම ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා රැසක් ලියැවී තිබෙනවා. 

රෝයි ඩයස් 

80 දශකයේ මුල් භාගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු මැෂිම බවට පත්ව සිටියේ මෙම පිතිකරුවා යි. සෑම විටම ඉතාමත් නිවැරදි පිතිකරණ තාක්ෂණයක් අනුගමනය කරමින් රෝයි එල්ලකළ පහරවල් අතිශයින්ම දැකුම්කළු වුණා. එදා සුනිල් ගවස්කාර් වැනි සුපිරි පිතිකරුවන් පවා රෝයිගේ පෙර පාදයේ ඩ්‍රයිව් පහරවල් පිළිබඳව වර්ණනා කළා. 

1979 ලෝක කුසලාන තරගාවලියේ දී එක්දින වරම් ලබාගත් රෝයි නවසීලන්තයට එරෙහිව සහභාගි වුණු මංගල එක්දින තරගයේ දී ලකුණු 25ක් ලබාගත්තා. ඉන් අනතුරුව ඉන්දියාව සමග පැවති තරගයේ දී මෙම පිතිකරුවා අගනා ලකුණු 50ක් ලබාගනිමින් සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළා. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් මංගල එක්දින තරග ජයග්‍රහණය සඳහා ද රෝයිගේ ලකුණු 50 උපකාරී වුණා. එසේම 1982 වසරේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් ලබාගත් රෝයි පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගියත්, දෙවන ඉනිමේ දී හැඩකාර ලකුණු 77ක් වාර්තා කළා. 

1979-1987 කාල සමය තුළ එක්දින පිටියේ රැඳී සිටි මෙම ක්‍රීඩකයා ඉනිම් 55ක දී පන්දුවට පහරදෙමින් ලකුණු 1573ක් ලබාගැනීමට සමත් වුණා. ඔහුගේ පිත්තෙන් ශතක 2ක් සහ අර්ධ ශතක 11ක් වාර්තා වුණා. 1982-1987 කාල සමය තුළ ටෙස්ට් පිටියේ රැඳී සිටි රෝයි තරග 20ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. එම තරග 20 දී ඉනිම් 36ක් ක්‍රීඩාකළ මෙම පිතිකරුවා ලකුණු 1285ක් ලබාගත්තා. ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 8ක් ඇතුළත් වුණා.

රෝයි ඩයස් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කිහිපයකට උරුමකම් කියනවා.

1) 1982 වසරේ ඉන්දියාවට එරෙහිව ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී ලකුණු 102ක් ලබාගෙන, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට පත්වුණා.

2) ශ්‍රී ලංකාව වෙනුවෙන් පිට පිටම පැවති එක්දින තරග දෙකක දී ශතක 2ක් ලබාගත් පළමු පිතිකරුවා බවට පත්වුණා.

102- ඉන්දියාවට එරෙහිව ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී  (1982)

121- ඉන්දියාවට එරෙහිව එම් චින්නස්වාමී ක්‍රීඩාංගණයේ දී (1982)

3) 1984 වසරේ දී නවසීලන්තයට එරෙහිව SSC ක්‍රීඩාංගණයේ දී ලකුණු 109ක් ලබාගෙන, ශ්‍රී ලංකාව වෙනුවෙන් මව්බිමේ දී ටෙස්ට් ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට පත්වුණා.

4) 1985 වසරේ දී ඉනිම් 27කින් එක්දින ලකුණු 1000 සම්පූර්ණ කළ රෝයි, ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම් ගණනක දී එක්දින ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයා බවට පත්වුණා. 

5) 1985 වසරේ දී ඉනිම් 23කින් ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ රෝයි, ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම් ගණනක දී ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයා බවට පත්වුණා.  

(නමුත් පසුකලෙක මයිකල් වැන්ඩෝට් සහ ධනංජය ද සිල්වා මෙම වාර්තාව සම කළා)

6) 1987 වසරේ එංගලන්තයට එරෙහිව පූනේහි නේරු  ක්‍රීඩාංගණයේ දී ලකුණු 80ක් ලබාගෙන සිය අවසන් එක්දින ඉනිමේ දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවා බවට ඉතිහාසගත වුණා.

එලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් වාර්තා කිහිපයකට උරුමකම් කියන මෙම පිතිකරුවාගේ නම ඉදිරියේ අමිහිරි වාර්තා 2ක් ද සටහන් වී තිබෙනවා.

1) ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමක දී ලකුණු නොලබා දැවීගිය පළමු පිතිකරුවා බවට පත්වුණා. 

(1982 වසරේ දී එංගලන්තයට එරෙහිව පී සරා ඕවල් පිටියේ දී)

2) එක්දින තරගයක දී Hit Wicket ආකාරයට දැවීගිය පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වුණා. 

(1982 වසරේ දී එංගලන්තයට එරෙහිව SSC පිටියේ දී)

රෝයි ඩයස් 

ටෝනි ඕපාත 

1975 සහ 1979 වසරවල පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිවල දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. තරග 5කට සහභාගි වුණු මෙම වේග පන්දු යවන්නා කඩුලු 5ක් ලබාගැනීමට සමත් වුණා. 1979 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව ලබාගත් 31/3 ඕපාතගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. එම පන්දු යැවීම ශ්‍රී ලංකාවට මංගල එක්දින ජයග්‍රහණය ලබාගැනීම සඳහා ද උපකාරී වුණා.

ටෝනි ඕපාත (Emerging Cricket)

ඩේවිඩ් හයින් 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු දක්ෂතම පන්දු රකින්නෙකු වුණු ඩේවිඩ් හයින් 1975 ලෝක කුසලාන තරගාවලියේ දි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. නමුත් ඔහුට පිත්තෙන් අපේක්ෂිත දස්කම් දැක්වීමට හැකිවුණේ නැහැ. එම නිසා ඔහුගේ ක්‍රිකට් දිවිය අකාලයේ අවසන් වුණා. 

1975 ලෝක කුසලාන ශ්‍රී ලංකා- නවසීලන්ත පුහුණු තරගයේ දී පන්දු රකිමින් (gettyimages)

80 දශකය 

80 දශකයේ දී ශාන්ත පීතර විදුහලෙන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු බිහිවුණා. රුමේෂ් රත්නායක, අමල් සිල්වා, සහ විනෝදන් ජෝන් එම ක්‍රීඩකයන් ත්‍රිත්වය යි. මෙම ක්‍රීඩකයන් තිදෙනාම එකම ටෙස්ට් තරගාවලියක දී ටෙස්ට් වරම් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

රුමේෂ් රත්නායක

80 දශකයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බිහිසුණුම වේග පන්දු යවන්නා බවට පත්වුණේ රුමේෂ් රත්නායක යි. වයස 18 දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද මෙම වේග පන්දු යවන්නා 1982 ඉන්දු-ලංකා එක්දින තරගාවලියේ දී සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කිරීමට වරම් ලබාගත්තා. එසේම 1983 නවසීලන්ත සංචාරයේ දී ටෙස්ට් වරම් ලබාගත්තා. එදා රුමේෂ්ට අඩු වයසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණේ 1982 වසරේ අග භාගයේ දී බන්දුල වර්ණපුර ඇතුළු පිරිස තහනම් දකුණු අප්‍රිකානු සංචාරයක නියැළීම හේතුවෙන් තරග තහනමකට ලක්වීම නිසා යි. 

1982-1993 කාල සමය තුළ එක්දින පිටියේ රැඳී සිටි රුමේෂ් තරග 70ක දී කඩුලු 75ක් දවාගැනීමට සමත් වුණා. 1990 වසරේ සාජා පිටියේ දී පාකිස්ථානයට එරෙහිව ලකුණු 32කට ලබාගත් කඩුලු 5 ඔහුගේ හොඳම පන්දුයැවීම ලෙසින් සටහන් වුණා. එසේම 1983-1992 කාල සමය තුළ ටෙස්ට් පිටියේ රැඳී සිටි මෙම පන්දුයවන්නා තරග 23ක දී කඩුලු 74ක් ලබාගත්තා. 1989 වසරේ බෙලරීව් ඕවල් පිටියේ දී ඕස්ට්‍රේලියාවට  එරෙහිව ලකුණු 66කට ලබාගත් කඩුලු 6 ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිමක පන්දුයැවීම ලෙසින් සටහන් වුණා. ටෙස්ට් තරගවල දී පිත්තෙන් ද දස්කම් දැක්වූ රුමේෂ් අර්ධ ශතක 2ක් ලබාගැනීමට සමත් වුණා. එහි දී 1991 ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී ලබාගත් අර්ධ ශතකය අමතක නොවන එකක්. 

1992 වසරේ දී රුමේෂ් ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබාගත් පන්දුයවන්නා බවට පත්ව සිටියා. මෙම පන්දු යවන්නාගේ ක්‍රිකට් දිවිය අකාලයේ විනාශ වුණේ විවිධ ආබාධයන්ට ලක්වීම නිසා යි. එසේ නොවුණා නම් ඔහුට තවත් දස්කම් දැක්වීමට අවස්ථාව තිබුණා. රුමේෂ්ගේ ක්‍රිකට් දිවිය තුළ පෑ සුවිශේෂී දස්කම් කිහිපයක් මෙලෙස දක්වන්නට පුළුවන්. 

1) ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමක් කඩුලු 6ක් ලබාගත් මුල්ම පන්දු යවන්නා මොහු යි.

2) 1985 වසරේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ රුමේෂ් තරගය පුරාවටම කඩුලු 9ක් දවාගත්තා.

3) ඕස්ට්‍රේලියානු බිමේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ටෙස්ට් ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ රුමේෂ් ලකුණු 66කට ලබාගත් කඩුලු 6 යි.

4) ලෝඩ්ස් පිටියේ දී ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් ලබාගත් එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා වීමේ ගෞරවය හිමිකර ගත්තේ රුමේෂ් රත්නායක නම් පන්දුයවන්නා යි.

5) මොහු සිය මංගල ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කළේ 1983 වසරේ දී නවසීලන්තය සමග යි. එම තරගාවලිය යටතේ වෙලිංටන් නුවර බේසින් රිසව් පිටියේ පැවැත්වුණු ටෙස්ට් තරගයේ දී රුමේෂ් යැවූ පන්දුවක් ජෝන් රයිට්ගේ නාසයේ වැදීම නිසා ඔහුගේ නාසය බිඳීයාම සුවිශේෂී සිදුවීමක් වුණා.

රුමේෂ් රත්නායක 1991 ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී පන්දු යවමින් (gettyimages)

විනෝදන් ජෝන් 

1982-1987 කාල සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මෙම පන්දු යවන්නා ටෙස්ට් තරග 6කට  සහ එක්දින තරග 45කට සහභාගි වුණා. එම තරගවල දී මෙම පන්දු යවන්නා ටෙස්ට් කඩුලු 28ක් සහ එක්දින කඩුලු 45ක් බිඳ දැමුවා. 

1983 වසරේ නවසීලන්තයට එරෙහිව වෙලිංටන් හිදී ලකුණු 60කට ලබාගත් කඩුලු 5 මොහුගේ ටෙස්ට් ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. 1984 වසරේ  නවසීලන්තයට එරෙහිව අස්ගිරිය පිටියේ දී ලකුණු 86කට කඩුලු 5ක් දවාගනිමින් ජෝන් පෑ දස්කම ද අමතක කරන්නට බැහැ. 

එසේම අවශ්‍ය අවස්ථාවන්වල දී පිත්තෙන් ද දස්කම් පෑ මෙම ක්‍රීඩකයා 1984 වසරේ නවසීලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දී ජයන්ත අමරසිංහ සමග එක්ව අවසන් කඩුල්ලට ලකුණු 60ක් එකතු කළා. එය එම අවධියේ දී ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් ටෙස්ට් තරගයක අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සබඳතාවය බවට පත්ව තිබුණා. තව ද, විනෝදන් ජෝන් එක්දින තරගයක දී යැවූ පන්දුවාරයක් හමුවේ ලාන්ස් කෙයාන්ස් නම් නවසීලන්ත පිතිකරුවා ලකුණු 26ක් ලබාගත් බව ද මෙහිදී සඳහන් කළ යුතු යි. 

විනෝදන් ජෝන් (gettyimages)  

අමල් සිල්වා 

මුල් යුගයේ දී මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ අමල් පසුකලෙක ශාන්ත පීතර විදුහලට ඇතුළත් වුණා. 1983-1988 කාල සමය තුළ කඩුලු රකින්නෙකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මෙම ක්‍රීඩකයා ටෙස්ට් තරග 9කට සහ එක්දින තරග 20කට සහභාගි වුණා. එම තරගවල දී ටෙස්ට් ලකුණු 353ක් සහ එක්දින ලකුණු 441ක් ලබාගැනීමට මොහුට හැකියාව ලැබුණා. 

1985 වසරේ ඉන්දියාවට එරෙහිව පී සරා ඕවල් පිටියේ දී  ලබාගත් ලකුණු 111, මොහුගේ ටෙස්ට් දිවියේ හොඳම ඉනිම  ලෙසින් සටහන් වුණා. එම ඉනිම ශ්‍රී ලංකාවට මංගල ටෙස්ට් ජයග්‍රහණය ලබාගැනීම සඳහා උපකාරී වුණා. එසේම 1984 වසරේ එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්  පිටියේ දී නොදැවී ලබාගත්  ලකුණු 102ක අමල්ගේ මංගල ටෙස්ට් ශතකය ලෙසින් සටහන් වුණා. 

එක්දින තරගවල දී ශතක ලබාගැනීමට අසමත් වුණු මෙම පිතිකරුවා අර්ධ ශතක 3ක් වාර්තා කළා. ඒ අතරින් හොඳම ඉනිම බවට පත්වුණේ 1985 වසරේ කොදෙව්වන්ට එරෙහිව පර්ත් පිටියේ දී ලබාගත් ලකුණු 85යි. එසේම කඩුලු රකින්නෙකු ලෙස ද දස්කම් පෑ අමල් 1985 ඉන්දු-ලංකා ටෙස්ට් තරගාවලියේ දී උඩ පන්දු 21ක් ලබාගෙන විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් ජයග්‍රහණය ලබාගත් තරගයේ දී අමල් දවාගැනීම් 9කට දායකත්වය ලබාදීම අමතක නොවන සිදුවීමක්.

අමල් සිල්වා ලෝඩ්ස් පිටියේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)  

90 දශකය 

90 දශකයේ දී ශාන්ත පීතර විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේ රසල් ආනල්ඩ් පමණ යි. නමුත් ඔහු දිගු කලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටීමට සමත් වුණා.

රසල් ආනල්ඩ් 

1997-2007 කාල සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රසල් ආනල්ඩ් සීමිත ඕවර තරග සඳහා වඩාත් උචිත ක්‍රීඩකයෙකු ලෙසින් නම් දරා සිටියා. එසේම මොහු හොඳම තරග අවසන්කරන්නෙකු ලෙස ද නමක් දිනාගෙන සිටියා. මොහු ජාතික කණ්ඩායමට පිවිසීමට උත්සාහ කළ කාල සමය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සිටියා. එම නිසා මොහුට සිය ස්ථානය තහවුරු කරගැනීමට පහසු වුණේ නැහැ. 1999 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රසල් ආනල්ඩ් වැනි තරුණයන්ට කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් වෙන් වුණා. එදා සිට ආනල්ඩ් දැක්වූ දස්කම් නිසා අඛණ්ඩව වසර 8ක පමණ කාලයක් එක්දින කණ්ඩායම නියෝජනය කළා.

ඒ අනුව වසර 10ක පමණ කාලයක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි ආනල්ඩ් එක්දින තරග 180ක්, ටෙස්ට් තරග 44ක් සහ 20/20 තරගයක් ක්‍රීඩා කර තිබෙනවා.එහි දී ඔහු ශතකයක් සහ අර්ධ ශතක 28ක් සමගින් එක්දින ලකුණු 3950ක්, ශතක 3ක් සහ අර්ධ ශතක 10ක් සමගින් ටෙස්ට් ලකුණු 1821ක් ලබාගෙන තිබෙනවා. එසේම එක්දින කඩුලු 40ක් සහ ටෙස්ට් කඩුලු 11ක් ආනල්ඩ්ගේ නම ඉදිරියේ සටහන් වී තිබෙනවා. 

1999 වසරේ පාකිස්ථානයට එරෙහිව පැවති ටෙස්ට් තරගයක දී වාර්තා කළ ලකුණු 123 ආනල්ඩ්ගේ ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ලෙසින් සටහන් වුණා. එසේම 1999 වසරේ ම සිම්බාබ්වේට එරෙහිව පැවති ටෙස්ට් තරගයක දී වාර්තා කළ ලකුණු 103 ඔහුගේ හොඳම එක්දින ඉනිම බවට පත්වුණා. ඊට අමතරව ආනල්ඩ්ගේ නම ඉදිරියේ අවාසනාවන්ත පිතිකරණ වාර්තාවක් ද සටහන් වී තිබෙනවා. ඒ ටෙස්ට් ඉනිමක ලකුණු 99කට දැවීගිය පළමු ලාංකීය පිතිකරුවා ලෙසින් තැබූ වාර්තාව යි. ඔහු එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණේ 2000 වසරේ දී පාකිස්ථානයට එරෙහිව පැවති ටෙස්ට් තරගයක දී යි. සිය ක්‍රිකට් ජීවිතය තුළ ජයග්‍රහණය රැසක් ලබාගත් ආනල්ඩ් 2007 ලෝක කුසලාන අනුශූරතාවය සහ 2002 ශූරයන්ගේ කුසලාන සම ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම්වල සාමාජිකයෙකු බවට පත්වුණා.

රසල් ආනල්ඩ් (gettyimages)  

2000-2009 යුගය 

මෙම කාල සීමාවේ දී කෞෂාල් ලොකුආරච්චි සහ මලින්ද වර්ණපුර ශාන්ත පීතර විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසුණා. නමුත් ඔවුන් දෙදෙනාට වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ.

කෞෂාල් ලොකුආරච්චි 

2003-2012 කාල සමයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ රැඳී සිටි මෙම ක්‍රීඩකයා එක්දින තරග 21ක්, ටෙස්ට් තරග 4ක් සහ 20/20 තරග 2ක් ක්‍රීඩා කර තිබෙනවා. එම තරගවල දී දකුණත් පා දඟපන්දු යවන්නෙකු ලෙසින් ක්‍රීඩා කළ කෞෂාල් එක්දින කඩුලු 31ක්, ටෙස්ට් කඩුලු 5ක්, සහ 20/20 කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා. එසේම බංග්ලාදේශයට එරෙහිව පැවති එක්දින තරගයක දී ලකුණු 69ක් වාර්තා කළා. මෙම පන්දු යවන්නා අඛණ්ඩව දස්කම් අතර නොසිටි නිසා ඔහුට වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ.

කෞෂාල් ලොකුආරච්චි (gettyimages)  

මලින්ද වර්ණපුර 

2007-2009 කාල සමය තුළ ජාතික කණ්ඩායමේ රැඳී සිටි මලින්ද ටෙස්ට් තරග 14ක් සහ එක්දින තරග 3ක් ක්‍රීඩාකර තිබෙනවා. එහි දී ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් සමගින් ටෙස්ට් ලකුණු 821ක් ලබාගත් මෙම පිතිකරුවා එක්දින තරගවල දී ලබාගත්තේ ලකුණු 35ක් පමණ යි. ශ්‍රී ලංකාව කොදෙව් දේශයේ දී මුල්ම ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළේ 2008 වසරේ දී යි. එම තරගයේ දී දස්කම් අතරට පැමිණි මලින්ද ලකුණු 120ක් සහ 62ක් ලබාගත්තා. එලෙස ලබාගත් ලකුණු 120 ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම ලෙසින් වාර්තා වුණා. එම වසරේ දීම මොහු ඉන්දියාවට එරෙහිව ලකුණු 115ක් ලබාගත්තා. දිගින් දිගටම දස්කම් අතර රැඳී සිටීමට නොහැකි වුණු නිසා මොහුට කණ්ඩායමේ ස්ථානය අහිමිව ගියා.

මලින්ද වර්ණපුර (gettyimages)  

2010 වසරේ සිට වර්තමානය දක්වා 

2010 වසරේ සිට මේ දක්වා ශාන්ත පීතර විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක් වුණේ ඇන්ජලෝ පෙරේරා පමණ යි.

ඇන්ජලෝ පෙරේරා 

2013 වසරේ සිට මේ දක්වා වරින් වර ජාතික කණ්ඩායම නියෝජනය කළ මෙම ක්‍රීඩකයා එක්දින තරග 6ක ට සහ 20/20 තරග 6කට ක්‍රීඩා කර තිබෙනවා. ඔහුට ලබාගැනීමට හැකිව ඇත්තේ එක්දින ලකුණු 52ක් සහ 20/20 ලකුණු 59ක් පමණ යි. 

ඇන්ජලෝ පෙරේරා (gettyimages)

 

කවරයේ ඡායාරූපය- රසල් ආනල්ඩ් (gettyimages)

Related Articles