මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය පැත්තෙ සංචාරය කරන කාගේත් නෙත ගැටෙන සුන්දරම ඉසව්වක් තමයි කන්තලේ වැව. හබරණ - ත්‍රිකුණාමලය පාර ඇදී යන්නේ මේ වැව් බැම්ම මතිනුයි. රට තුළ පිහිටි මහ සමුදුරක් වගේ රැලි නගන මේ වැව විශාල කුඹුරු ප්‍රමාණයකට දියවර සපයනවා වගේම පානීය ජලයත් ලබා දෙනවා. මේ නිසා වැවේ බෝට්ටු පැදීම වගේ දේවල් නම් තහනම්.

මහා ඛේදවාචකය

වැව බිඳීගිය අවස්ථාව- iekantale.weebly.com

වැඩිහිටියන්ට නම් කන්තලේ වැව කිව්ව ගමන් මතකයට එන්නේ 1986 අප්‍රේල් 20 වැනිදා සිදුවු දුක්බර සිද්ධිය යි. කන්තලේ වැව පහළ ගම්මානයන්හි නිවැසියන් හැමෝම  සුවබර නින්දක සිටින අතර වැව් බැම්ම හදිසියේම කැඩී යාම නිසා, ගම්මාන පිටින් වතුරට බිලිවුණා. ඒක හරියට තවත් සුනාමියක් වගේ. සංඛ්‍යා ලේඛන අනුව එම ඛේදවාචකයේ දී මිනිස් ජීවිත 126ක්, සහ නිවාස 1600ක් විනාශ වූ බව වාර්තා වෙනවා. පොදු දේපොල ද හානි සිදුවුණා. ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය කැඩී ගොස් තිබුණේ සුනාමි ව්‍යසනයේ දී තෙල්වත්තේ දුම්රිය මාර්ගයට හානි සිදුවී තිබූ අයුරින්. වැව් බැම්මේ මීටර් 150ක පමණ කොටසක් ද බිඳී ගියා. පොදු හා පෞද්ගලික දේපලට සිදුවූ හානිය එවක මුදලින් රු. මිලියන 680ක් බව මේ පිළිබඳ විමසුමට පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේ අනාවරණය වුණා. ඉපැරණි සොරොව්ව ආශ්‍රිතව ඉදිකළ පානීය ජල ව්‍යාපෘතියක පොම්පාගාරයේ පාදම සකස් කිරීමේ දී ඇති කළ දෙදරවීම් මෙයට මූලික හේතුව විය හැකි බව ඒ කාලයේ ඉංජිනේරුවන් පැවසුවා.

වැවේ ඉතිහාස කතා

පැරණි සොරොව්ව සංරක්ෂණය කර ප්‍රදර්ශනයට තබාඇති අයුරු- Amazing lanka.com

වැව ඉදිකර ඇත්තේ හුරුළු වනාන්තරයෙන් ඇරඹී ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මුහුදට යන කන්තලේ ඔය හරස් කරමින්. අඹන්  ගඟේ ජලය ගෙන එන ඇළහැර යෝධ ඇළෙන් ද එය පෝෂණය ලබනවා. කන්තලේ වැව පිළිබඳ මහාවංශය සඳහන් කරන්නේ දෙවන අග්බෝ හෙවත් අග්ගබෝධි (ක්‍රි. ව. 604-6014) රජසමයේ ඉදිකළ ගංතලා වැව ලෙසින්. එයට පෙර ක්‍රි. වර්ෂ 274-301 කාලයේ රජ කළ මහසෙන් රජුගේ කාලෙයේ ද මෙය පැවති බවට සාධක තිබෙනවා.  වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු දෙවන අග්බෝ සමයෙහි සිදු කරන්නට ඇති බවට අනුමාන කළ හැකියි. සොරොව්වට යොදා ඇති ගඩොල් අනුව එය මහසෙන් රජ සමයට ආසන්න කාලයක මුලින්ම ඉදිකළ බවට සාධක පවතිනවා. 1986 වර්ෂයේ දී බිඳී ගිය වම් සොරොව්වෙහි කළුගල් බැම්මට යටින් යොදා තිබූ පුරාණ ගඩොල් ස්ථරය මෙම මතය සනාථ කිරීමට යොදාගත හැකි සාධකයක් ලෙස ගත හැකියි.

යටත් විජිත කාලේ

ඉංග්‍රීසි සමයේ ප්‍රතිසංස්කරණය ගැන සඳහන් කුලුනක්- Amazing lanka.com

අනුරාධපුර පොළොන්නරු යුගවලින් පසු කැඩිබිඳී ගියත් එහි වතුර යම් ප්‍රමාණයක් රඳා පැවතුණා. ඒ වතුරෙන් ගොවිතැන් කරන සුළු පිරිසක් ද හිටියා. කන්තලේ වැව පිළිබඳ නැවත අවධානය යොමු වන්නේ ලන්දේසි යුගයේ දී බව පෙනෙනවා. ටොන්බවර් නම් ලන්දේසි ඉංජිනේරුවා සිදු කළ මිනුම් අනුව කන්තලේ වැව ප්‍රතිසංස්කරණය කිරීම ගැන ඔහුගේ යෝජනා කොළඹ ආණ්ඩුකාරවරයා වන ජේකබ් විල්හෙල්ම්ට 1793 දී දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලබාගත් ප්‍රතිපාදන යොදවා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ බව සඳහන් වෙනවා. එම වාර්තාවේ මෙසේ සඳහන් කරනවා: 

වැව සම්පූර්ණයෙන්ම ස්වභාවිකව සැදුනකි. කඳු බෑවුම් ජලයෙන් සේදීයාම වැළැක්වීමට නොකැපූ ගලින් බැමි දෙකක් සාදා තිබෙත්. මෙයින් වැවේ වතුර පහළට ගලා යයි. සෙරොව් විශාල කැපූ ගල්වලින් සාදා තිබෙන බව පිටතට පෙනෙන්ට තිබේ. මේ ගල් නොසෙල්වී එකට අලවා තැබීමට සිමෙන්ති ජාතියක් යොදා නැත. ගල්වල බරින්ම ඒ සියල්ල නොසෙල්වී තිබෙත්

(ලංකාවේ පුරාතන වාරිමාර්ග 1 කොටස - ආර්. එල්. බ්‍රොහියර්)

වැවේ වාන් දොරටුවලින් නිකුත් වන ජල කඳ - Greenholidaytraverls.com

මෙම පිළිසකර කිරීමෙන් පසුව වැවෙන් සපයන දියවරින් වැඩි කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දූ බව යි පෙනෙන්නේ. වර්ෂ 1788 වසරේ දී පාරා (ලන්දේසි ධාන්‍ය මිනුමක්) 1395ක් ලෙස වාර්තා වූ කන්තලේ ප්‍රදේශයේ වී අස්වැන්න, 1792 වනවිට පාරා 4060 දක්වා වර්ධනය කිරීමට ලන්දේසි ප්‍රතිසංස්කරණය සමත් වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරටට දැරිය යුතු වියදම අවම කර ගැනීමට සුදු පාලකයන් සහල් නිෂ්පාදනයේ ස්වයංපෝෂිත භාවය ගැන උනන්දු වුණා. පොළොන්නරුවේ මින්නේරිය, අනුරාධපුර කලාවැව වගේම  ත්‍රිකුණාමලයට නුදුරු කන්තලේ වැව ප්‍රතිසංස්කරණය කිරීමටත් ඉංග්‍රීසින් කටයුතු කළා.

1802 දී ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆ්‍රෙඩ්රික් නෝත් සමග ගමන්කළ තෝමස් ක්‍රිස්ටිගේ සටහනක මෙසේ කන්තලේ වැව ගැන කියනවා

කන්තලේ වැව ඉතා විශාල ය. එහි විෂ්කම්භය සැ. 20ක් පමණ වේ. තරමක් උස්වූ කඳුවලින් වටවූ තැනිතලාවක එය පිහිටා තිබේ. කඳු එකට යාවී නැති පැත්තේ විශාල කැපූ ගල්වලින් සෑදූ ඝනකම ඇති බැම්මක් තිබේ. මෙම විස්මයජනක කර්මාන්තය සෑදීමේ දී ශිල්පීන් බොහෝ වෙහෙස මහන්සී වී ඇති බවත්, ඔවුන් වාරි තාක්ෂණය මනාව දැන සිටින්නට ඇති බවත් පැහැදිලි ය. 

(ලංකාවේ පුරාතන වාරිමාර්ග 1 කොටස - ආර්. එල්. බ්‍රොහියර්)

සොරොව්ව පිහිටි ස්ථානය-  Gatewaytoeast.com

වර්ෂ 1818ට ආසන්න කාලයේ මේ වැව දුටු ඉංග්‍රීසි ජාතික ජෝන් ඩේවි මෙසේ සඳහන් කරනවා

මේ වැවේ ජලය රඳවාගන්නා වැව් බැම්ම සැතපුම් එක යි තුනෙන් එකක් දිග ය. මෙය එක් කෙළවරක පිහිටි ගල් කඳුගැටයක් සිට අනෙක් කෙළවරේ උස් ගල්වැටියක් තෙක් සම්පූර්ණයෙන්ම පාහේ සෘජුව පිහිටියේ ය. එහි සෘජු උස අඩි 20ක් පමණ විය හැකි ය.

මේ වැවට සොරොව් දෙකකි. ප්‍රධාන සොරොව්ව ගල්වැටියට යාර 100ක් ඈතින් පිහිටියේ ය. මෙහි මැදින් නිරතුරු ගඟක් ගල යි. අනෙක් සොරොව්ව වැව් බැම්මේ ප්‍රතිවිරුධ කෙළවර අසල පිහිටියේ ය. එය නිරතම පාහේ වියළි ය. ඉන් වතුර පිටවන්නේ වැවේ ජල මට්ටම බෙහෙවින් උස් විට පමණි. 

(ඩේවි දුටු ලංකාව- පරි. ඇල්ලේපොල එච්. එම්. සෝමරත්න)

සුද්දන්ගේ වාර්තා

සමුදුරක් වන් ජල තලය- Wikipedia.org

1855 දී ඇලෙක්ස් යංග් ඇඩම්ස්, ජෝන් චර්චිල් හා ජේ. බේලි යන ඉංග්‍රීසි නිලධාරීන් ඉදිරිපත් කර තිබූ “මාතලේට නුදුරු ඇළහැර සිට මින්නේරිය දක්වාත්, අනතුරුව ත්‍රිකුණාමලයට නුදුරු ගන්තලාව දක්වාත් ජලය ගෙනගිය ඇළ මාර්ග” යන මාතෘකාවෙන් ඉදිරිපත් කළ වාර්තාවේ කන්තලේ වැව පිළිබඳ මනා විශ්ලේශණයක් ඉදිරිපත් කර තිබෙනවා.

ආණ්ඩුකාර හෙන්රි වෝඩ් ගේ උපදෙස් අනුව කන්තලේ වැවෙහි තත්ත්ව වාර්තාවක් හා එයින් ජලය ලබා ගන්නා ගොවීන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් රාජකීය ඉංජිනේරු කැප්ටන් චාල්ස් සිම් විසින් 1856 අප්‍රෙල් 22 දිනැතිව ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කර තිබෙනවා.

වෙනත් වැව් සඳහා මුදල් යෙදවීමට වඩා කන්තලේ වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුදල් යෙදවීම වඩාත් යෝග්‍ය බව කැප්ටන් සිම්ගේ වාර්තාව රජයට යෝජනා කරන කරුණක්. තඹලගම ගංගාව (එකල කන්තලේ ආරු හැඳින්වූ අයුරු) දෙපස දැනට වගා කරන ස්වදේශිකයින් මේ සඳහා දක්වන උනන්දුව දිරිමත් කරනසුළු බව ඔහු ලියා තිබෙනවා.

වැව් ඉස්මත්තේ දසුනක්-  picture.com

ජෝන් ඩේවි 1818 දී සඳහන් කරන්නේ එවකට කන්තලේ ගමේ ගෙවල් 16ක් පමණක් තිබුණු බව යි. 1850 වන විට කන්තලේ වැවෙන් ජලය ලබා ගොවිතැන් කරන පවුල් සංඛ්‍යාව වැඩිවී තිබෙනවා.  වැව අසල පිහිටි කන්තලේ ගමේ පවුල් 30ක්  හා ගංගාවෙහි පහළ කෙළවරෙහි පිහිටි තඹලගම ග්‍රාමයෙහි සිටි 300-400ක් පමණ වූ පවුල්වලට අයත් වූ ගොවි පිරිසක් වාසය කර තිබෙනවා. කන්තලේ ග්‍රාමයෙහි වී අමුණු 250ක් (එනම් අක්කර 500ක වපසරියක්) හා තඹලගම ග්‍රාමයෙහි අමුණු 2500ක් (එනම් අක්කර 5000ක වපසරියක්) වගාවට යොදවමින් සිටි බවත් සිම්ගේ වාර්තාවේ දැක්වෙනවා. 1880 වර්ෂයේ දී ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ දී වැවෙහි ධාරිතාව අක්කර අඩි 37,000ක් ලෙස වර්ධනය වුණා. ඒ සමගම ඉන් වගාකළ හැකි කුඹුරු ප්‍රමාණය ද ඉහළ ගියා.

මෑත අතීතය

වැව් බැම්ම- Greenholidaytraverls.com

ඓතිහාසික පැරණි දකුණු සොරොව්වේ හටගත් යම් තාක්ෂණික දෝෂ හේතුවෙන් ඒ වෙනුවට නව සොරොව්වක් ඉදිකිරීම සිදුවුණේ  1950 දශකයේ දී යි. එය වර්තමාන වාරි තාක්ෂණය භාවිතයෙන් මුල් වරට ලංකාවේ ඉදිකළ උමං සොරොව්ව ලෙස සැලකෙනවා. එය සැලසුම් කිරීම හා ඉදිකිරීම සිදු කළ මොන්ටානා නම් විදේශික ඉංජිනේරුවරයා සිහිවීම පිණිස දකුණු සොරොව්ව ඔහුගේ නමින් නම් කොට තිබෙනවා.

බැම්ම මතින් යන මහ පාර- Greenholidaytraverls.com

1950 දී කළ පිළිසකර කිරීමේ දී වැවෙහි ධාරිතාව අක්. අඩි 87,000ක් දක්වා වැඩි වුණා. 1957 ගංවතුරින් විශාල වැව් බොහෝමයක් බිඳී ගිය බැවින් ආරක්ෂිත පියවරක් ලෙස මෙම ජලාශයේ පිට වාන සඳහා අරීය ගේට්ටු සවි කළා. වැවෙහි ධාරිතාවය අක්. අඩි 110,000 දක්වා ද ඉහළ නැංවුණා. 1986 වැව බිඳීයාමෙන් පසුව සිදුකළ ප්‍රතිසංස්කරණ යටතේ ජල ධාරිතාවය අක්. අඩි 114000 දක්වා වැඩි කිරීමටත් කටයුතු කර තිබෙනවා. මෙහි ජල තලය වර්ග කි. මී. 23ක පැතිරී තිබෙනවා.

ප්‍රධාන බැම්මේ දිග කි. මී. 2.5 යි. වැවෙහි ජල ධාරා ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 200ක්. පිටවානේ සවිකර තිබෙන අරීය දොරටු සංඛ්‍යාව 10ක්.  ඒවා උසින් අඩි 8ක් ද පළලින් අඩි 15ක් ද වෙනවා. වැව් බැම්මේ උස අඩි 56ක්. නැගෙනහිර පළාතේ කුඹුරු අක්කර 15,200කට මෙහි ජලය සැපයෙනවා. මේ සුන්දර ජල තලය අද සංචාරක ආකර්ශනයක් ලෙසින් ද ප්‍රකට වී තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

ඩේවි දුටු ලංකාව- පරි. ඇල්ලේපොල එච්. එම්. සෝමරත්න

එච්. ටී. බස්‌නායක- පුරාණ ශ්‍රී ලංකාවේ ජල ශිෂ්ටාචාරය 

ලංකාවේ පුරාතන වාරිමාර්ග- 1 කොටස, ආර්. එල්. බ්‍රොහියර්්‍

Amazing lanka.com

කවරය- කන්තලේ වැව ගුවනේ සිය- Greenholidaytraverls.com