නව යුගයේ තාක්ෂණ භීතිකාව

තාක්ෂණය හොඳ ද නරක ද යන ප්‍රශ්නය තරමක් සරල වැඩියි. අපි දන්නවා තාක්ෂණය සහ එහි දියුණුව හොඳ සහ නරක යන දෙයාකාරයට ම සමාජයට බලපෑම් එල්ල කළ හැකි බව. ගැටලුව වෙන්නේ අපි තාක්ෂණය ගැන අවශ්‍ය තරමට සැලකිල්ලක් දක්වනවාද? කොයි තරම් දුරකට සැලකිලිමත් විය යුතු ද? යන්නයි. මාතෘකාව කියවපු ගමන් ඔබ හිතන්නේ මේ තාක්ෂණයේ හොඳ හෝ නරක ගැන කතා වෙන ලිපියක් කියලා නම් මේ එහෙම එකක් නොවෙන බව මුලින් ම කියන්න ඕනේ. තාක්ෂණය හොඳ ද නරකද සහ තාක්ෂණයේ හොඳ නරක ගැන ඕනෑ තරම් සංවාද කතා බහ ගැන ලිපි ඔබ දැකලා ඇති. හැබැයි මේ ලිපියෙන් දිග හැරෙන්නේ නව යුගය සමඟ ලෝකයේ ඇති තාක්ෂණ භීතිකාව ගැනයි.

කොයි තරම් නම් දුරකට අපි තාක්ෂණය ගැන සැලකිලිමත් ද?

2020 දී ඇරඹෙන්නේ ලෝකයේ තාක්ෂණික පෙරළියේ හැරවුම් ලක්ෂයක් සටහන් කරපු නව යුගයක්. Blade Runner හරි The Jetsons වගේ රසිකයෙක් නම් ඒවා යේ වගේ පියාඹන car සහ අඟහරු මත ගෙවෙන නිවාඩු දවස් තවමත් අපිට නැති වුණාට 1960 දශකයේ කෙනෙක් කාලය හරහා (කාල යන්ත්‍රයකින්) වර්තමානයට ආවොත් අද අපි ළඟා කරගෙන තිබෙන දේවල් එක්ක මවිතයට පත් වෙන බව නම් සක් සුදක් සේ පැහැදිලියි. පැය කිහිපයකින් මගීන් විශාල ගණනක් රැගෙන ලෝකයේ අනෙක් කෙළවරට පියාඹන විශාල යකඩ කුරුල්ලෝ. ලියුම් එනකම් දවස් ගණන් නො ඉඳ එක බොත්තමක් එබූ සැණෙන් තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව ඔවුන් මවිත කරවාවි. ඒ යුගයේ නිර්මාණය වුණු නව නිර්මාණ අද ලෝකය හැඩගැස්වූ ආකාරය ගැන ආඩම්බර වේවි.

The Jetsons පියාඹන පවුලේ වාහන – Pinterest.com

 

අපිට තාක්ෂණය සමඟ තියෙන්නේ Love–hate relationship එකක් කිව්වොත් නිවැරදියි. අපි තාක්ෂණයේ හොඳ පැත්තට කොච්චර ආදරේ කරනවද? කැමතිද කියනවා නම් අපි එය අපේ ජීවිතයේ කොටසක් කර ගන්නවා. අපිට අමතක වෙනවා අපි එහෙම තාක්ෂණික දේවල් භාවිත කරන බව. ඒත් අපිට ඒක ආයේ මතක් වෙන්නේ මොකක් හරි හේතුවකට ඒ දේවල් වැඩ කරන එක නැවතුණාම. මේ අර්බුද කාලය අපිට තාක්ෂණය සහ තාක්ෂණික උපකරණවල අගය හොඳාකාරව ම පෙන්නුවා. ඒවා කොයි තරම් අපිට වැදගත් ද කියන එකත් පෙන්නුවා. අපි කවරදාකටත් වඩා තාක්ෂණය එක්ක දැන් මුහු වෙන්න පටන් අරගෙන. කවදාවත් තාක්ෂණය භාවිත කරන්න නොහිතපු, භාවිත කරන්න මැලිකමක් දක්වපු අපේ වැඩිහිටියන්ට තාක්ෂණය ඉගෙන ගන්න මේ අඳුරු කාලය මගින් බල කෙරුණා.

Lock down කාලයේ ජීවිතවලට පණ දුන්නේ තාක්ෂණය

Lock down කාලයේ ලෝකයේ ම ජීවිතවලට පණ දුන්නේ තාක්ෂණය සහ එහි විශ්වකර්ම නිර්මාණයි. ව්‍යාපාර සහ විවිධ ක්ෂේත්‍රවල ඉඳලා ඔබෙත් මගෙත් නිවස දක්වා අපි හැමෝට ම තොරතුරු දැනුම වගේ ම අපේ stress එක පිට කරගන්න සහ නිවා ගන්න entertainment, අපිට මගහැරෙන සමාජ සම්බන්ධතා ගොඩ නැගුණේ තාක්ෂණයෙන්. තාක්ෂණයෙන් මිනිසා තනි කරනවා කියන මාතෘකාව දිහා අවඥාවෙන් බලන්න පුළුවන් වෙන මට්ටමට මේ කාලයේ තාක්ෂණය අපේ සමාජ සම්බන්ධතාආරක්ෂා කළා. මේ තාක්ෂණයේ දියුණුව එක්ක තමයි අපිට මෙතරම් ඉක්මනින් Vaccination වගේ දේවල් නිර්මාණය කරගන්න හැකියාව ලැබුණේ. ලෝකය පුරා ඒවා ඔබ ළඟට ම එන්නෙත් ඒ තාක්ෂණය නිසාම තමයි.

ඒත්, ගෙවුණු අවුරුදු කිහිපය අපිට වැඩ වඩාත් හොඳින් ඉගැන්නුවා කොයි තරම් ඉක්මනට මේ තාක්ෂණයේ සුබවාදී බව කනපිට ගැහෙන්න පුළුවන් ද කියන එක. 2010-11 කාලයේ ලෝකයේ හැමෝ ම කතා වුණේ අරාබි වසන්තය ගැන. සමාජ ජාලා කොහොමද අනාගතයේ ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න උපකාරී වෙන්නේ, සමාජ මාධ්‍යයේ බලය කොයි තරම් ද වගේ දේවල්. අවාසනාවකට වුණේ ඒක නම් නෙමෙයි. වසන්තයක් කොහොම වෙතත් ISIS වගේ අන්තවාදී දේවල් ප්‍රචාරය වුණේත් මේ සමාජ මාධ්‍යයෙන්, ලෝකය ම භීතියෙන් ඇළලිලා මරණය කොයි මොහොතේ උදාවෙයි ද කියලා බයෙන් ඉන්න වෙලාවක Vaccination ගැන වගේම තව බොහොමයක් දේවල් ගැන Fake News හා බොරු ප්‍රචාර පතුරවන්න භාවිත වුණේත් මේ සමාජ මාධ්‍ය, Viewsවලට likesවලට දැනටමත් අඩියේ ඉතුරු වෙලා තියෙන මනුස්සකම් විකිණුනේ මේ සමාජ මාධ්‍යයේ.

මල් නොපිපුණු අරාබියේ වසන්තය – history.com

 

අපි තේරුම් ගන්න ඕනේ අපි වෙයි කියලා බලාපොරොත්තු වුණා දේවල් සහ ඇත්තට ම වුණ දේවල් අතර නොසෑහෙන්න වෙනසක් තියෙන බව. අපි අවබෝධ කර ගන්න ඕනේ ඕනෑම කෙනකුට කෙස් පැහෙන තර්ක, ලස්සන සුරංගනා මතවාද එක්ක අහස මාලිගා මවන්න පුළුවන් බව. අපි මතක තියා ගන්න ඕනේ ඒ මත්තේ අපි දකින යුටෝපියානු හීන කොයිම හෝ මොහොතක අපිත් එක්කම බිමට පත බෑවෙන්න පුළුවන් බව. හැම වෙලේ ම අපි නොදකින එහෙම නැති නම් අනපේක්ෂිත ප්‍රති විපාක අපේ දැක්ම හැම වෙලේ ම අපි තාක්ෂණය ගැන දකින විදිහ හිතන විදිහ වෙනස් කරනවා. මිනිස්සු කාලයෙන් කාලයට තාක්ෂණයේ හොඳ නරක ගැන මේ තරම් කතා කරන්නේ අන්න ඒ නිසයි.

අපි කාලය හරහා යමු

එන්න අපි හෙමිහිට අතීතය දිහාවට ගිහින් ටිකක් විපරම් කරලා බලමු. වික්ටෝරියානු යුගය කියන්නේ ශීඝ්‍ර තාක්ෂණික පෙරළියක් සිදු වුණු කාල වකවානුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. පසු කාලයේ ලෝකය සම්පුර්ණයෙන් ම පාහේ වෙනස් කරපු නව නිපැයුම් සෑහෙන්න බිහි වුණේ මේ කාලයේදීයි. මිනිස්සු පුරුදු වෙලා හිටියේ නැහැ දැනගෙන හිටියේ නැහැ අස්සයන්ට වඩා වේගයෙන් යන්න පුළුවන් දෙයක් ගැන. පණිවිඩ හුවමාරු කරගන්න විදිහක් දැනගෙන හිටියෙත් නැහැ ඉතා වේගවත් ව. හැබැයි ඒ හැමදේ ම වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ දෙය ම අදත් අපිට බලාගන්න පුළුවන්. හිතා ගන්න බැරි තරම් වේගයකින් Generations ගාණක් පහු කරන එන පරිගණක තාක්ෂණය එක්ක.

මිනිසුන් නව තාක්‍ෂණයට එරෙහි වන්නේ ඇයි?

ඒ කාලේ මේ තාක්ෂණ පෙරළියට මිනිස්සු දක්වපු ප්‍රතිචාරයි අද මිනිස්සු දක්වන ප්‍රතිචාරයි සංසන්දනය කළොත් ඒවායේ මහා වෙනසක් නැති බව ඔබට වැටහේවි. බෝහොමයක් මිනිස්සු මේ ශීඝ්‍රගාමි තාක්ෂණ විප්ලවයට කොහොමටවත් කැමති වුණේ නම් නැහැ. Luddite වරු බිහි වෙන්නේ මෙන්න මේ කාලයේයි. ඔවුන් තමයි ලෝකය කාර්මීකරණයට එරෙහිව පෙරට ආව පිරිස බවට පත් වුණේ. ඔවුන් සටන් කළා රෙදිපිළි කර්මාන්තයට ආව නව තාක්ෂණයට විරුද්ධව. ඔවුන් කරපු විප්ලවය සාධාරණ ද? ඔවුන් ඇත්තටම තාක්ෂණයට විරුද්ධවාදීන් ද ? ඒ ගැන මීළඟ ලිපියෙන් ඔබට කියවන්න පුළුවන්.

තාක්ෂණය සහ එහි දියුණුව සබැඳි ව අප පළ කළ තවත් ලිපි පහතින් කියවන්න.

2020 වෙනකොට අහසින් යන්න සැරසෙන uber taxi

COVID-19ට එරෙහිව සටන් වදින නවීන තාක්ෂණය

කොරෝනා වසංගතයට එරෙහිව පෙළගැහෙන තාක්ෂණික ලොව දැවැන්තයෝ

තාක්ෂණික ලෝකයට වැළඳුණ කොරෝනා වෛරසය

අරාබි වසන්තයෙන් පසු මල් පිපුණා ද?

අරාබි වසන්තයෙන් බලයෙන් පහ කළ ටියුනීසියාවේ බෙන් අලී

කවරය - information-age.com

මූලාශ්‍ර:
Emarketer.com
Economist.com
History.com
Theguardian.com
Nytimes.com
History.com

Related Articles