Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩිය හිතට ගත්තොත් වරදින, ක්‍රිකට් ලොවේ “ස්ලෙජින්”

ලංකාවේ අපේ ජීවිතත් එක්ක ක්‍රිකට් තරම් බද්ධ වුණ වෙනත් ක්‍රීඩාවක් නොමැති තරම්. මේ දවස්වල රටක් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපි ටිකක් අමාරු කාලයක් ගත කළත්, ඉක්මණින්ම අපි ඒ තත්ත්වයෙන් මිදේවි කියන බලාපොරොත්තුව කාගේ කාගේත් හිත්වල කොණක තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසත් හැඳින්වෙනවා. ඒ මහත්මා ගුණය උපරිමයෙන් රැකගත් කීර්තිමත් ක්‍රීඩකයන් විදෙස් රටවල්වල වගේම අපේ රටෙත් ඉන්නවා. නමුත් මේ මහත්මා ගුණය ක්‍රිකට් ක්‍රීඩකයන් අතින් සැමවිටම රැකුණේ නැහැ. තරග පාවාදීම් සහ තරග කරන අතරතුර සිදුවූ යම් යම් සැක සහිත සිදුවීම්වලින් ක්‍රිකට් ඉතිහාසයට කළු පැල්ලම් එක් වී තිබෙනවා.

ඉතින් මේ ලිපිය තුළිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ, ක්‍රිකට් ක්‍රීඩකයන් අතර තිබෙන සෘණාත්මක පුරුද්දක් වන “ස්ලෙජින්” පිළිබඳ විස්තර ඔබ හමුවට ගෙන ඒමට යි. ක්‍රිකට් ලොවේ “ස්ලෙජින්” ගැන ඔබ මීට පෙර අසා තිබෙනවා ද? “ස්ලෙජින්” සෘණාත්මක වුණත්, ඇතැම් අවස්ථාවන්වල යම් ආකාරයකින් ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගනිමින් ද කළ හැකියි. ඒ සඳහා වූ හොඳම උදාහරණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ තිබෙනවා. ලිපිය කියවා ගෙන යන අතරතුර ඔබට ඒ සිදුවීම හමුවේවි. නමුත් බොහෝවිට “ස්ලෙජින්” ක්‍රියාව සිදුවන්නේ පුද්ගලයෙක්ගේ පුද්ගලිකත්වය හෝ පෞරුෂයට ප්‍රහාර එල්ල කරමින්.

මොකද්ද මේ ස්ලෙජින්?

ස්ලෙජින් කියන්නේ, ක්‍රිකට් ක්‍රීඩාවේ දී සමහර ක්‍රීඩකයින් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට අපහාස කිරීමෙන් හෝ වාචිකව බිය ගැන්වීමෙන්, ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳදමා තරගයේ වාසිය තමාගේ පිළට නැඹුරු කරගැනීමට දරනා උත්සාහයට යි. බොහෝ දුරට මේ වාචික ප්‍රහාරයන් එල්ල කෙරෙන්නේ පිතිකරුවාගේ ශ්‍රවණ පරාසයට හසුවන මානයේ සිටින පන්දු රකින්නන්, කඩුළු රකින තැනැත්‍තා, හෝ පන්දු යවන්නන් විසිනුයි.

බොහෝ ක්‍රීඩකයන් මේ වාචික ප්‍රහාර සාමාන්‍ය කරුණක් ලෙස සළකා, එවැනි පීඩනයන්ට අවධානය යොමු නොකර මානසික ඒකාග්‍රතාවය රැකගන්න සමත් වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල දී ක්‍රීඩකයන් මෙම වාග් ප්‍රහාර හමුවේ උරණ වී, වාචිකවම හෝ තම දක්ෂතා තුළින් පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම ස්ලෙජින්වලට කලබල වී ක්‍රීඩකයන් අසාර්ථකත් වෙන අවස්ථා ද නැතුවා නොවෙයි.

ක්‍රිකට් ඉතිහාසයේ අප දන්නා ස්ලෙඩ්ජින් සිදුවීම්වලට වඩා, නොදන්නා ස්ලෙජින් සිදුවීම් වැඩි වෙන්න පුළුවන්. එයට හේතුව වන්නේ, මෙය බොහොම සූක්ෂමව සහ වැඩි දෙනෙකුගේ අවධානයට පාත්‍ර නොවන අයුරින් සිදුකිරීමට ඇතැම් ක්‍රීඩකයන් දක්ෂ නිසා යි.

ඉතින් ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ප්‍රසිද්ධ සහ රසවත් ස්ලෙජින් සිදුවීම් කිහිපයක් ඔබ හමුවට ගෙන ඒමට යි මේ සූදානම් වන්නේ. නමුත් මේ සිදුවීම් ලිපිය තුළ දක්වන්නේ තරමක් දුරට තෝරලා බේරලා. මොකද බොහෝ දුරට මේ ස්ලෙජින් සිදුවෙන්නේ ප්‍රසිද්ධියේ දැක්වීමට නොහැකි, කෙනෙකුගේ පුද්ගලිකත්වයට හෝ පෞරුෂත්වයට හානි වන අයුරින් වීම යි. හැබැයි ඇතැම් ස්ලෙජින් සිදුවීම් පසුකලෙක ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ඉතා රසවත් මතක සටහන් ලෙස ඉතිරි වූ බව නම් සඳහන් කළ යුතුම යි.

සර් විවියන් රිචඩ්ස් සහ ග්‍රෙග් තෝමස් අතර වූ සිදුවීම

ක්‍රිකට් ලොව පුරාවෘත්තයක් බඳු සර් විවියන් රිචඩ්ස්/rediff.com

 

සර් විවියන් රිචඩ්ස් කියන්නේ ක්‍රිකට් ලොව තුළ පුරාවෘත්තයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ (ඔහු ගැන තොරතුරු රැසක් මෙන්න: ක්‍රිකට් පිටියේ කළු සිංහයා- ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්). ඉතින් මේ ස්ලෙජින් අවස්ථාව සිදුවන්නේ එක්තරා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයක දී යි. එහිදී ග්‍රෙග් තෝමස් එවූ පන්දු කිහිපයක් විවියන් රිචඩ්ස්ට හඳුනාගැනීමට නොහැකි වී ඔහුගේ පිත්තෙන් මඟහැරෙනවා. මෙයින් ඔද වැඩුණු ග්‍රෙග් තෝමස්, මේ මහා ක්‍රිකට් පුරාවෘත්තයට අපහාසයට මෙන් මෙලෙස පැවසුවා.

“ඒක වටකුරුයි, රතුපාට යි, බර අවුන්ස පහක් විතර වෙනවා. දැන්වත් ඒකට ගහපන්..!”

මුවින් නොබැණ මේ අපහාසය නිහඬවම දරා ගත් ස‍ර් විවියන් රිචඩ්ස්, ග්‍රෙග් තෝමස් විසින් එවූ ඊළඟ පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කළා.

“උඹ දන්නවනේ ඒක මොන වගේ ද කියලා? දැන් ගිහින් ඒක හොයාගෙන වරෙන්!”

සර් විවියන් රිචඩ්ස් ක්‍රියාවෙන් වගේම වචනයෙන් ද පිළිතුරු සැපයූවේ එලෙස යි.

ඩැරල් කලිනන් සහ ෂේන් වෝන් අතර වූ සිදුවීම

කලිනන් සහ වෝන් අතර වූ ස්ලෙජින් කිරීම අන්තර්ජාලයේ උපහාසාත්මක අයුරින් පළ වී තිබුණේ මෙලෙස යි/triplem.com.au

 

දකුණු අප්‍රිකානු පිතිකරු ඩැරල් කලිනන්, සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු සාමාන්‍යය 44ට වඩා ඉහළින් තබා ගන්න සමත් වූ ක්‍රීඩකයෙක්. නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ඔහුගේ ලකුණු සාමාන්‍යය දැක්වුණේ 12.75ක් ලෙසට යි. එයට බලපෑ ප්‍රධාන කරුණක් වූයේ දක්ෂ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන් (වෝන්ගේ විස්මිත පන්දු යැවීම ගැන දැනගන්න: අළුබඳුන තරග ඉතිහාසයේ ෂේන් වෝන්ගේ විස්මිත පන්දුයැවීම්) ඉදිරියේ ඔහු කිහිප වතාවක්ම අසාර්ථක වීම යි. කෙසේ නමුත් ආබාධ‍යක් හේතුවෙන් දිගු කලක් පිටියට නොපැමිණි කලිනන්ට බොහෝ කාලයකට පසු නැවතත් ෂේන් වෝන්ගේ පන්දුවට සිය මව්රටේ දීම මුහුණ දීමට සිදු වුණා. 

“උඹේම රටේ එවුන් ඉස්සරහා උඹට අවමන් කරන්න මම අවුරුදු දෙකක් බලා ගෙන හිටියා.”

ෂේන් වෝන් තමා ඉදිරියේ වාර කිහිපයක දීම අසාර්ථක වූ ඩැරල් කලිනන්ට එලෙසින් අපහාස කළා. නමුත් ඒ වනවිට ෂේන් වෝන් ද ශාරීරික වශයෙන් තරමක් වෙනස් වී තරබාරු ස්වභාවයක් ගෙන තිබුණා.

“පේන විදිහට උඹ ඒ අවුරුදු දෙකේම කන එක ඇරෙන්න වෙන දෙයක් කරලා නෑ වගේ…”

කලිනන් හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන්නා!

ස්ටීව් වෝග් සහ පාර්තිව් පටෙල් අතර වූ සිදුවීම

2004 වර්ෂයේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ස්ටීව් වෝග් පැමිණෙන්නේ ඔහුගේ අවසාන තරගය ක්‍රීඩා කිරීම සඳහා යි. නමුත් ඔහුගේ සමුගැනීම සුන්දර අවස්ථාවක් බවට පත් නොකරමින් ප්‍රතිවාදී ඉන්දීය පිළේ ක්‍රීඩක පාර්තිව් පටෙල් විවිධාකාර‍යේ ස්ලෙජින් ක්‍රියාවන් සිදුකොට ස්ටීව් වෝග්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳ දැමීමට උත්සහ කළා. එයට ප්‍රතිචාරයක් වශයෙන් ස්ටීව්ගේ පිළිතුර බොහොම සරල එකක් වුණා.

“පොඩ්ඩක් ගරුසරු ඇතුව කතාකරපන්… මම මගේ පළවෙනි ටෙස්ට් මැච් එක ගහන කාලේ උඹ නැපි අඳිනවා..!’

සර් ඉයන් බොතම් සහ රොඩ්නි මාර්ෂ් අතර වූ සිදුවීම

1982/1983 අතර කාලයේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන සුප්‍රසිද්ධ අළු බඳුන තරගාවලියේ දී තමයි මේ රසවත් සිදුවීම සිද්ධ වෙන්නේ. එම තරගය අතරතුර ඕස්ට්‍රේලියානු පිළේ ක්‍රීඩක රොඩ්නි මාර්ෂ් අනපේක්ෂිත අයුරින් ඉයන් බොතම්ගෙන් මෙහෙම අහනවා.

“උඹේ ගෑණියි යි, මගේ ළමයි ටික යි සනීපෙන් ඉන්නව ද?”

එයට ඉයන් බොතම්ගෙන් ලැබෙන්නේ බොහොම සැර පිළිතුරක්.

“ගෑණි හොඳින්, ළමයි ටික නම් මොංගල්”

(බොතම්ගේ දස්කම් ගැන කියවන්න: 1981 අළුබඳුන තරගාවලියේ බොතම්ගේ සුපිරි දස්කම්)

ෂේන් වෝන් සහ බ්‍රයන් මැක්මිලන් අතර වූ සිදුවීම

ෂේන් වෝන් කියන්නේ ස්ලෙජින්වලට නම් දරාපු ක්‍රීඩකයෙක්/sportskeeda.com

ෂේන් වෝන් ස්ලෙජින්වලට නම් දරාපු ක්‍රීඩකයෙක්. ඒවායින් ඔහු සාර්ථක වූ අවස්ථා වගේම හොට බිම ඇන ගත්තු අවස්ථාත් එමට යි. මේ සිදුවීම සිද්ධ වෙන්නේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයක් අතරතුරේ දී යි. එහිදී දිගින් දිගටම ෂේන් වෝන්ගේ වාග් ප්‍රහාරවලට දකුණු අප්‍රිකානු ක්‍රීඩක බ්‍රයන් මැක්මිලන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉවසීමේ සීමාව ඉක්මගිය තැන බ්‍රයන් මැක්මිලන් ෂේන් වෝන්ට පිළිතුරු දෙන්නේ උපහාසය තුළ යම් තර්ජනාත්මක බවක් ද ගැබ් කරමින්.

“මේ අහපන්! මේ රටේ දී ඕනේ තරම් මිනිස්සු දවසගානේ අතුරුදහන් වෙලා යනවා. ඊළඟ සැරේ මම මාළුබාන්න යද්දී උඹව තමයි ඇමට අරන් යන්නේ”

මෙම ස්ලෙජින් කිරීම “ඕනෑවට වඩා වැඩි” සිදුවීමක් බවත් සැළකෙනවා. එහිදී බ්‍රයන් මැක්මිලන් තුවක්කුවක් අතට ගෙන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සිටි ක්‍රීඩාගාරයට පිවිසි බවත්, එය ඔහු කළ විහිළුවක් බව තේරුම්ගත් පසු සියළු දෙනාම මහ හඬින් සිනාසී, මැක්මිලන්ව ඔවුන් හා බියර් එකක් බීමට එක්කරගත් බවත් කියැවෙනවා.  

ෂෝන් පොලොක් සහ කුමාර් සංගක්කාර අතර සිදුවීම

මේ ස්ලෙඩ්ජින් සිද්ධිය, ක්‍රිකට් ලොව තුළ දෙදෙනාගේම මහත්මා ගුණය රැක ගනිමින්, කිසිදු පුද්ගලික අපහාසයක් හෝ එකිනෙකාගේ පෞරුෂත්වයට හානියක් නොවන ලෙස සිදුකෙරූ ස්ලෙජින් කිරීමක් ලෙස සැළකෙනවා. නමුත් ස්ලෙජින් කිරීමක දී බලාපොරොත්තු වන අරමුණු සියල්ලම මේ වචන තුළ මනාව ගැබ් වී තිබෙන බව ඕනෑම කෙනෙකුට තේරුම් යාවි. මේ සිදුවීම සිද්ධ වෙන්නේ, 2003 වර්ෂයේ දී දකුණු අප්‍රිකාව ද ඇතුළත්ව කෙන්යාව සහ සිම්බාබ්වේ යන රාජ්‍යයන් හවුලේ සත්කාරකත්වය දැරූ ලෝක කුසලාන තරගාවලිය අතරතුර යි.

සංගක්කාර ස්ලෙජින් කිරීමට යාම එතරම් නුවණට හුරු දෙයක් නෙවෙයි/espncricinfo.com

ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 268ක ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ෂෝන් පොලොක් පිටියට පිවිසෙන විට ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 145ට කඩුළු පහක් ලෙසට යි. එහිදී ෂෝන් පොලොක්ගේ පීඩනය නිරීක්ෂණය කළ කුමාර් සංගක්කාර මේ ආකාරයෙන් පොලොක්ව ස්ලෙජින් කිරීමකට ලක් කරනවා (සංගක්කාර ගැන අප කලකට පෙර ලියූ ලිපියක්: ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා සලකුණ – කුමාර් සංගක්කාර).

“ආ… ලොකු පීඩනයක් නේද දරන්න වෙලා තියෙන්නේ කොල්ලනේ? මුළු රටම පරාද කරවන්න වගේ යන්නේ, නේ? හප්පා… මිනිස්සුන්ගේ අපේක්ෂාවන් ගොඩ යි කොල්ලනේ. මුළු රටක අපේක්ෂාවන්වල බර කොල්ලනේ. මිලියන 42ක් රසිකයෝ මේ අපේ ෂෝන් ගැන යි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ”

කිසිදු අපහාස කිරීමකින් තොරව තරගයේ පීඩනය සූක්ෂම ලෙස පොලොක්ගේ කරපිට පැටවූ මේ ස්ලෙජින් කිරීම පසු කලෙක ක්‍රිකට්ලෝලීන් අතර නොමඳ ගෞරවයට ලක් වුණා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල ෆේස්බුක් පිටුව හරහා මේ  සිදුවීම පළවීමත් සමග මෙම ස්ලෙජින් කිරීමට නිල පිළිගැනීමක් ද ලැබුණා. එම වීඩියෝව ඔබට මෙතනින් නැරඹිය හැකියි. බොහෝ කාලයකට පසුව මෙම ස්ලෙජින් කිරීමට ප්‍රතිචාර දැකිවීමට ෂෝන් පොලොක්ට අවස්ථාව ලැබෙනවා. එම ප්‍රතිචාරය ද ෂෝන් පොලොක් දක්වන්නේ බොහොම විනීත අයුරකින්. නමුත් ප්‍රති ප්‍රහාරයට අවශ්‍ය සියළුම දේවල් ෂෝන් පොලොක්ගේ ප්‍රතිචාරය තුළත් අඩුවක් නැතුව දක්නට ලැබුණා.

සාමන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වාග් ප්‍රහාර එතරම් ගණනකට නොගෙන, එහි යටි අරමුණ මනාව තේරුම් ගෙන තම ඉලක්කය වෙත සාර්ථකව ළඟා වෙන්න සමත් කණ්ඩායමක් ලෙස ලෝකය පුරා පිළිගැනීමට ලක්ව තිබෙනවා. ඒ වගේම අවශ්‍ය විටෙක, අදාළ ප්‍රතිචාරය ප්‍රතිවාදීන්ගේ මනස අවුල් වෙන ලෙස වචනයෙන් හෝ ක්‍රීඩාවෙන් ලබා දෙන්නට සමත් කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. විශේෂයෙන්ම මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඉදිරියේ කට පරිස්සම් කරගන්න විදෙස් ක්‍රීඩකයන් ප්‍රවේශම් වූ බව පැවසෙනවා. සංගක්කාර නීතිඥයෙකු ද වන නිසා ස්ලෙජින් හමුවේ දැක්වෙන ඔහුගේ ප්‍රතිචාරවල බිඳිය නොහැකි තර්කයන් සහ හාස්‍ය රසය තිබෙන බව කියවෙනවා.

“මහත්වරුන්ගේ ක්‍රීඩාව” ලෙස හඳුන්වන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳා පවතින්නේ කලහකාරී හැසිරීම් තිබෙන අය මත නොවෙයි. අනෙක් අතට ස්ලෙජින් යනු ක්‍රිකට් ක්‍රීඩාව තුළ තිබෙන සොඳුරු අභියෝගාත්මක දෙයක් විදිහටත් අපට දකින්න පුළුවන්. නමුත් පුද්ගලික කරුණු අරඹයා සිදුකරන වාග් ප්‍රහාර නම්, ක්‍රීඩාවේ ජීව ගුණයට බරපතල ලෙස හානි කරනවා. ඇතැම් ස්ලෙජින් සිදුවීම් මෙම ලිපියේ දැක්වීමට නොහැකි වන්නේ ඒ නිසා යි. නමුත් ඔබට ඒ පිළිබඳව කුතුහලයක් ඇත්නම්, ඒවා ගැන විස්තර හොයා ගන්න එක එතරම් අපහසු දෙයක් නොවෙයි.

 

*මෙහි සඳහන් සියලු කියුම් Roar සිංහල හෝ රචකයාගේ අදහස් නොව, හුදෙක් එම සිදුවීම් එම අයුරින්ම වාර්තා කිරීම පමණක් බව සලකන්න.

Cover photo: youtube.com/watch?app=desktop&v=JQupTOyrSqk

මූලාශ්‍රයයන්:

cricketcountry.com

bleacherreport.com

cricketaddictor.com

news24.com

ESPN

Related Articles